කෝට්ටේ රජමහා විහාර පෙරහරේ කරඬුව අගමැති තැම්පත් කරයි | දිනමිණ

කෝට්ටේ රජමහා විහාර පෙරහරේ කරඬුව අගමැති තැම්පත් කරයි

ශිරෝමි අබයසිංහ

කෝට්ටේ රජමහා විහාරයේ 117 වැනි වරටත් පැවැත්වුණු දළදා පෙරහර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (1) ආරම්භ විය. අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට ද සහභාගි වූ අතර දළදා පෙරහරේ කරඬුව තැන්පත් කිරීම ද සිදු කළේය.

එහිදී කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් අනුශාසනාවක් කරමින් මෙසේ පැවැසූහ.

කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර මෙම ඓතිහාසික ශ්‍රී රජ මහා විහාරය දළදා වහන්සේ වැඩ සිටි පුද බිමක්. කෝට්ටේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මුලස්ථානය වන්නේ ද මෙම විහාරස්ථානයයි. විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනකත්වය යටතේ විහාරස්ථ දායක සභාව ඇතුළු සියලු දෙනාම එක් වී වාර්ෂිකව සංවිධාන කරන ඓතිහාසික දළදා පෙරහර මෙවරත් අති උත්කර්ෂවත් ලෙස සිදු කිරීම සතුටට කරුණක්. මේ සඳහා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ලබා දුන් පූර්ණ දායකත්වය පින් අනුමෝදනාවෙන් සිහිපත් කරන අතර අද මෙම පුන්‍ය කර්මයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වය අපිට මහත් ගෞරවයක්.

කෝට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ හිමි-

අද මෙම විහාරස්ථානයට සපැමිණි අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අපේ විහාරස්ථානයේ නා බෝධිරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා. මා අසනීපයෙන් සිටිය දී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දායක සභාව සමඟ එක් වී මේ පින්කමට මහත් ශක්තියක් ලබා දුන්නා. මේ අවස්ථාවට පැමිණි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, පොලිස්පති පූජිත ජයසුන්දර සහ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ අසේල ඉද්දවෙල මහත්වරුන් ඇතුළු සියලු දෙනාම මේ දළදා පෙරහර සාර්ථක කර ගැනීමට දුන් සහයෝගය පුණ්‍යානුමෝදව සිහිපත් කරනවා.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා-

කෝට්ටේ රජ මහා විහාරයේ රන්දෝලි පෙරහර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට ලැබීම සතුටක්. කෝට්ටේ කරුණු කිහිපයක් නිසා වැදගත් වෙනවා. අතීතයේ දී මෙන්ම ජේ.ආර්.ජයවර්ධන මහතාගේ යුගයේදී මෙම කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගරය බවට පත් කළා. පාර්ලිමේන්තුව මෙහි ඉදි කළා. අප තවදුරටත් කෝට්ටේ සංවර්ධනය කරනවා. අනාගතයේදීත් කෝට්ටේ රාජධානියක් බවට පත් වේවි.

ඡායාරූප- සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න