උණු කඳුළු විකුණනු ලැබේ! | දිනමිණ

උණු කඳුළු විකුණනු ලැබේ!

රන්ජන් අමරරත්න
ප්‍රීති රන්දෙණිය

“ගිනි” නවකතාව ඔස්සේ ස්ත්‍රීවාදී සාහිත්‍යයක ගතිකයක් ද දැකගත හැකි ය. ස්ත්‍රීවාදී සාහිත්‍යය සැලැකිය හැක්කේ දේශපාලන ප්‍රපංචයක් හැටියට ය. 19 වන සියවසෙහි මාක්ස්වාදී දේශපාලන චින්තනය ඔස්සේ මීට අදාළ ප්‍රවාද ගොඩනැඟිණි. ධනපති සමාජයේ දේශපාලන, ආර්ථික හා සමාජයීය සාධක ස්ත්‍රීන් කෙරෙහි බලපාන ආකාරය මෙයින් විග්‍රහ විය.

අපේ පවුල් සංස්ථාවේ අවුල දීර්ඝ කාලයක සිට සංවාදයට ලක්වෙයි. එයත් හරියට ජනවාර්ගික ගැටුම වගේ යැයි කියන්නට පුළුවන. සංවාද බොහෝ අර්ථවත්ය. උණුසුම් ය. එහෙත් විසැඳුම් බොහෝදුරය. අවුල්සහගත ය. උසාවි, සමථ මණ්ඩල හා පොලිසි තුළදී දයා විරහිත ලෙස මේවා විභාග වෙයි. උපදේශන සභා තුළදී ප්‍රායෝගික නොවන උපායමාර්ග මේ සඳහා යෝජනා වෙයි. ජනමාධ්‍ය මේවා ලුණු - ඇඹුල් ඇතිව වාර්තා කරයි. එහෙත් ගැටලුව එතැනම ය. එය උත්සන්න වෙමින් පවතින බව ද පෙනෙයි.

තත්ත්වය මෙසේ තිබියදී ප්‍රීති රන්දෙණිය මහත්මිය පවුල් සංස්ථාවේ අවුල කේන්ද්‍රකොට නව ප්‍රබන්ධයක් ගොතා තිබේ. එය හඳුන්වා ඇත්තේ “ගිනි” නමින් ය. “ගිනි” යන පදය විවිධාර්ථවත් ය. ඇවිලීම, දැවීම, දුක, වේදනාව යන අර්ථ එක පැත්තකින් ධ්වනිත වෙයි. මේ ජීවිතයේ වේදනාව හා සාංසාරික වේදනාව තව අතෙකින් ධ්වනිත වෙයි. කතුවරිය මේ සියල්ල සංගෘහිත කොට නවකතාව රචනා කර තිබේ. එහි බෞද්ධ ආකල්ප ද පවතී.

රටට වැදගත් ප්‍රධාන සමාජ සංවාද දෙකක් මේ කතාව ඔස්සේ ගොඩනඟාගත හැකිය.

I. පවුල තුළ ස්ත්‍රී භූමිකාව

II. සෙනෙහස අහිමි දරුවන්ගේ අනාගතය

ශ්‍රී ලාංකේය පවුල තුළ නිල නොලත් ගෘහ මූලිකයා බවට පත්ව ඇත්තේ අම්මා ය. පවුලක් පවත්වාගැනීම සඳහා අම්මා කෙනකු දරන වීරිය, කැපකිරීම හා වෙහෙස පුරුෂයකු වෙතින් කිසිකලෙකත් අපේක්ෂා කළ නොහැකි ය. එහෙත් මේ උදෙසා ඇයට ලැබෙන ප්‍රතිලාභය වේදනාව හා දුකම පමණක් විය හැකි ය.

ප්‍රබන්ධය ආරම්භ වන්නේ අතිශය ප්‍රබල අවස්ථා නිරූපණයකින් ය. එහි පියවර දෙකක් තිබේ. එක පියවරක් වන්නේ විවාහක තරුණ ස්ත්‍රියක දකින භයානක හා ඛේදනීය දර්ශනය සජීවී ලෙස නරඹන්නට ප්‍රධාන චරිතයට අවස්ථාව ලබාදීම ය. ප්‍රධාන චරිතය වන විමලාවතී එක්තරා රාත්‍රියකදී දකින්නේ තමන්ගේ බීමත් සැමියා තම නිවසේදීම ඥාති කාන්තාවක සමඟ අඹු - සැමියන් ලෙස හැසිරෙන අන්දම ය. එය එක අතෙකින් උද්වේගකර ය. තව අතෙකින් තීරණාත්මක ය. අනෙක් පියවර වන්නේ විමලා සිය සිඟිති දරුවා ද රැගෙන සියදිවි නසාගැනීම සඳහා පිටත්ව යෑම ය.

මේ පියවර දෙක තුළදී ස්ත්‍රියකගේ සිතෙහි මතුවන කෝපය, කලකිරීම හා වේදනාව බලවත් ය. විමලාගේ මනෝ-භාව නිරූපණය සඳහා කතුවරිය සැලැකිය යුතු පරිශ්‍රමයක් දරා තිබේ. නවකතාවේ ශිල්ප-ධර්ම අනුව සලකා බලන විට ආරම්භය ඉතා වැදගත් ය. නූතන නවකතාවේ විලාසයට අනුව අතිශය ප්‍රබල අවස්ථා නිරූපණයකින් හෝ ගැටුමක උච්චතම අවස්ථාවකින් හෝ ප්‍රබන්ධය පටන්ගැනීම එක්තරා ප්‍රවණතාවකි. ඒ මඟින් පාඨකයා මුළුමනින්ම ආකර්ෂණය කරගනු ලැබේ. රන්දෙණිය මහත්මිය ද පාඨකයා සාකල්‍යයෙන්ම තම ග්‍රහණයට ගනී. විමලාවතීට සිදුවන්නේ කුමක් ද? දරුවන්ට සිදුවන්නේ කුමක් ද? ඇයගේ සැමියා වන මහීපාලගේ ඊළඟ පියවර කුමක් ද? යනුවෙන් කුතුහලය දැනවීමට කතුවරිය සමත් වෙයි.

ජීවත්වීම සඳහා උත්තේජකයක් සපයාදීම ද නවකතාවේ එක් අරමුණකි. අර්නස්ට් හෙමිංවේගේ වීරයා සංකල්පය අපට වැදගත් වන්නේ ද ඒ අනුව ය. මෙහි එන විමලා හෙවත් ප්‍රධාන චරිතය පාඨකයාට ගැම්මක් ලබාදෙයි. සිය සැමියාගෙන් තැලුම්කමින් සැමියාගේ බැණුම් හා තර්ජන දරාගනිමින් දරුවන් උදෙසා කුටුම්භය ආරක්ෂා කරන ගැහැනියක අපට මෙහිදී දැකගත හැකිය. සියදිවි නසාගැනීම සඳහා ගෙදරින් පිටත්වී දරුවන් උදෙසා එම තීරණය අත්හරින ගැහැනියක ද අපට මෙහිදී දැකගත හැකිය. පතිභක්තිය උදෙසා සටන්වදින ගැහැනියක ද දැකගත හැකිය. එලෙස ම තම තීන්දුවෙහි දැඩිව එල්බෙමින් සැමියා වෙත කිසි දින නොයන ගැහැනියක ද අපට මෙහිදී දැකගත හැකි ය. ස්ත්‍රී විෂයයෙහි විවිධ පැතිකඩ විමලාගේ චරිතය ඔස්සේ විශ්ලේෂණය කළ හැකිය.

“සුනිමල් කියද්දීත් ඇය හුළු අත්තක් රැගෙන නො ආයේ තමන් විසින් දිවි තොරකරගන්නට යන ගමනේදී එහි පාපයත් තමන්ගේ කර මතට කඩා වැටෙනවාට වඩා අලියකු විසින් හෝ තමන් මරාදමනවා නම්; එය සැපතක් බව සිහිවීමෙනි. කොයි මොහොතේ හෝ මාන පඳුර අතරින් කංකොට අලියා පැමිණේවි යැයි ඇය සිතුවා ය.”

(පිටුව > 43)

“කසිප්පු බිව්වම හරකට ගහන කෙවිටෙනුත් ගහනවා. ඉණේ බඳින පටියෙනුත් ගහනවා. අතට අහුවෙච්ච හැම දේකින්ම ගහනවා. ඇයි මම මොන වරදක් කළාට ද? මේ මගේ ස්වාමිපුරුෂයානේ කියලා හිත හදාගෙන ඉවසගෙන හිටිය හින්දා ද?”

(පිටුව > 66)

පළමුවන උපුටනයෙන් හැ‍ඟෙනුයේ දිවි නසාගැනීමට යන ස්ත්‍රියකගේ සංකීර්ණ සිතිවිලිය. දිවි නසාගැනීම නිරූපණය කිරීම දුෂ්කරය. එහෙත් ඊට ආසන්න අවස්ථාවක පසුවන තැනැත්තකුගේ සිතිවිලි හඳුනාගත හැකිය. විමලාවතීගේ අපේක්ෂාව අලියකු පැමිණ පහරදී මරාදැමීමක් ගැන ය. කෝපය, කලකිරීම හා එපාවීම එම නිරූපණවලින් හැ‍ඟෙයි. දෙවන උපුටනයෙන් මතුවන්නේ අපේ විවාහක ස්ත්‍රියගේ සදාකාලික වේදනාවයි. මෙය අතිශයෝක්තියක් නොව; යථාර්ථයකි. රටේ විවාහක ස්ත්‍රීන්ගෙන් බහුතරය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණදෙති. රජරට බොහෝ ගම්වල ස්ත්‍රීහු කුලී වැඩ සිදුකොට දෛනිකව වැටුපෙන් කොටසක් බේබදු සැමියාට ලබාදෙති. එසේ නොවුණහොත් තැලුම් කෑමට සිදුවේ. රන්දෙණිය මහත්මිය අපේ ගැහැනිය පිළිබඳ ඇත්ත හෙළිදරව් කරයි.

මේ ළඟදී දිනෙක රටේ ප්‍රසිද්ධ ලේඛිකාවක මා වෙත ලිපියක් එවමින් අද විඳවන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය විස්තර කර තිබිණි. ඇයගේ නිර්මාණ ඔස්සේ ද එම ප්‍රචණ්ඩත්වයේ ගැඹුර පිළිබිඹු වෙයි. බටහිර මෙන් නොව පෙරදිග ගැහැනිය වේදනාව දරාගෙන කුටුම්භය ආරක්ෂා කරයි. නැතහොත් ආරක්ෂා කිරීමට මහත් වෙහෙසක් දරයි. එය පෙරදිග ශිෂ්ටාචාරයේ එක් ලක්ෂණයක් ලෙස දැකගත හැකිය. ඉන්දියාව දෙස බලනවිට මේ තත්ත්වය හොඳින් පැහැදිලි වෙයි. මේ තත්ත්වයට එරෙහිව ස්වාධීන ගැහැනියක නිර්මාණය කිරීමේ වුවමනාව ද කතුවරියට ඇති බව පෙනෙයි.

“ගෑනු වුණාම නෝන්ජල් වෙලා බැහැ. ඕනෑවට වඩා අහිංසකයි කියලා තේරුණාම පිරිමි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඇසිලින් වගේම තමා දුවත්, කරුමෙ - කරුමෙ කියලා කරුමෙට යටවෙන්නෙ නැහැ. උත්සාහ කළොත් කරුමෙත් ජයගන්න පුළුවන් කියල බුදු බණෙත් තියෙනවානේ.”

(පිටුව > 168)

මේ උපදේශනය ලැබෙන්නේ සිල් මෑණියන් වෙතින් ය. මෙබඳු උපදේශන අපේ කාන්තා පරපුරට අත්‍යවශ්‍ය ය. ඇසිලින්ගේ භූමිකාව ඔස්සේ මතුවන්නේ එහි යථාර්ථයයි.

විවාහක එහෙත් පුරුෂයා අහිමි කාන්තාවක වෙත එල්ලවන පුරුෂ සමාජයේ බලපෑම ද මේ කතාවෙන් විවරණය වෙයි. ඇඟලුම් කම්හලේ කළමනාකරු මයිකල්, නැගනියගේ පුරුෂයා, හෝටලයේ සේවක සේන විමලාට බලපෑම් කරති. ඔව්හු ‍විමලා ගිල ගැනීමට සිටින යක්ෂයන් සේ දිස්වෙති. හෝටලයේ අයිතිකරුගේ ස්වාභාවයෙන් ද පෙනීයන්නේ පුරුෂ සමාජයෙහි ඇති ස්ත්‍රී-ලෝලී ගතියයි. ස්ත්‍රිය කෙළි බඩුවක් සේ සලකා ක්‍රියා කිරීම මේ සමාජයේ සිරිත වී තිබේ.

“ගිනි” නවකතාව ඔස්සේ ස්ත්‍රීවාදී සාහිත්‍යයක ගතිකයක් ද දැකගත හැකි ය. ස්ත්‍රීවාදී සාහිත්‍යය සැලැකිය හැක්කේ දේශපාලන ප්‍රපංචයක් හැටියට ය. 19 වන සියවසෙහි මාක්ස්වාදී දේශපාලන චින්තනය ඔස්සේ මීට අදාළ ප්‍රවාද ගොඩනැඟිණි. ධනපති සමාජයේ දේශපාලන, ආර්ථික හා සමාජයීය සාධක ස්ත්‍රීන් කෙරෙහි බලපාන ආකාරය මෙයින් විග්‍රහ විය. මාගට්ෆුලර්, ජෝන්මිල්, එළිසබත් කෙඩී වැනි අයගේ කෘති මඟින් ස්ත්‍රීවාදී සාහිත්‍යය තවදුරටත් විවරණය වී ඇත. වර්ජිනියා වුල්ෆ් මැතිනියගේ “A Room of One’, Own” (1929) වැනි ප්‍රබන්ධ මීට අදාළ නවකතා ගණයට වැටේ. ස්ත්‍රීවාදී සාහිත්‍යයේ අරමුණ කාන්තා විමුක්තිය යැයි සලකන්නට පුළුවන. රන්දෙණිය මහත්මියගේ කෘතිය ද එවැන්නක් අපේක්ෂා කරයි.

කෘතියේ ඇති තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ මව්පිය ස්නේහය අහිමි දරුවන් පිළිබඳ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යෑම ය. ශ්‍රී ලංකාව මේ ගැටලුවෙන් තද-බල ලෙස පීඩාවිඳින රාජ්‍යයකි.

මේ කතාවේ එන පියුමි හා රමණී මා-පිය ස්නේහය හා රැකවරණය නිසි අයුරින් නොලබන දරුවෝ වෙති. රමණී විශාල කරදරයකට මුහුණදෙන අතර ඇගේ ළමාවිය හා අනාගතය එයින් විනාශ වෙයි. අබ්බගාතයකු අතින් ඇය අපහරණය වේ. පියුමී මානසික රෝගයකින් පෙළෙන්නේ සිඟිති අවදියේ පටන් මව් සෙනෙහස නොලබන නිසා ය. ඇය ආදරය ඉල්ලා සිටින හා නිතර සැකයෙන් පසුවන ස්ත්‍රියක බවට පත්වෙයි. අවසානයේ දිවි නසාගනී. මේ සිදුවීම් යටින් දිවෙන ප්‍රධාන සාධකය වන්නේ පවුල විසිර යෑම ය.

පවුල් ඒකකය තුළ එකිනෙකා අතර ගොඩනැ‍ඟෙන මානවීය සම්බන්ධතා ජීවිතාන්තය තෙක් තබා‍ගත යුතුය. එය බිඳීයන සෑම විටකම ඛේදවාචකයක් සිදුවෙයි. විමලාගේ චරිතයෙහි තව පැත්තක් වන්නේ ඇය මවට අකීකරුවීම ය. වයස අවුරුදු දාහතේදී මහීපාල සමඟ නිවසින් පැන යන විමලා අවසන් ලෙස මුහුණදෙන්නේ බරපතළ අර්බුදයකට ය. මාපියන්ට අකීකරු වීම ද පාපයක් යැයි විමලා සිතයි. ඇගේ ජීවිත විවරණය ඔස්සේ පැහැදිලි වන්නේ ද ඇය සිය කර්මයේ පව් ගෙවන බවය.

ප්‍රීති රන්දෙණිය මහත්මියගේ ප්‍රබන්ධයෙහි ඇති දුර්වල ලක්ෂණ කිහිපයක් ද පෙන්වාදිය යුතු ය. එක; කතුවරිය බොහෝ තැන්වලදී කතාන්දර කීමට යයි. නවකතාවේ ප්‍රධාන ලක්ෂණය වන රූපණය අමතක කරයි. රූපණය යනු නිරූපණය කිරීම හෙවත් රඟදක්වා පෙන්වීම ය. එහිදී සිද්ධි-චරිත හා අවස්ථාවලට ජීවමාන ගුණය ලැබේ. දෙක; දහය පරිච්ඡේදයේ සිට කතුවරිය කතාව නිමකිරීමට වෑයම් කරයි. ගැටලු ක්ෂණිකව විසඳාගෙන යන ආකාරයක් එතැන් සිට දිස්වේ. කතාවේ රිද්මයට පමණක් නොව අන්තර්ගතයට ද ඉන් හානි සිදුවෙයි. තුන; මේ කතාවේ අවසානය කිසිදු හැඟීමකින් හා අර්ථයකින් තොරය. හදිසියේම කතාව එකවර නවත්වා ඇත. පාඨකයා මෙබඳු නවකතාවලින් විස්මිත අවසානයක් අපේක්ෂා කරයි. එහෙත් එවැන්නක් එහි නැත. හතර; කතුවරියගේ භාෂා භාවිතය ගැන සතුටු විය නොහැකි ය. බොහෝ තැන්වල අක්ෂර වින්‍යාසය වැරැදි ය. ඇතැම් තැනෙක වියරණය ද වැරැදි ය. මේවා පහසුවෙන් මගහැරිය හැකි දේවල් ලෙස සැලැකිය හැකි ය.

කුමක් වුව විමලාවතී නම් ගැහැනියගේ ජීවිත විවරණය කාලයක් යනතුරු පාඨක මනසෙහි හොල්මන් කරනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...