පළාත් සභා ඡන්ද 20ට පස්සේ | දිනමිණ

පළාත් සභා ඡන්ද 20ට පස්සේ

නෙල්කා මැදගෙදර

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් පසු අවුරුද්දක කාලයක් තුළදී පළාත් සභා සඳහා නියෝජිතවරුන් තෝරාපත් කර ගැනීමට මැතිවරණය පවත්වන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඊයේ (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

එලෙස මැතිවරණය පැවැත්වීම සඳහා වන සංශෝධන එම පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට යෝජිත බවද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් දහතුනක විභාගය ඊයේ (06) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ කරන  ලද අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව කීය. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, අනිල් ගුණරත්න, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් කැඳවන ලදි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එක්කිරීම සඳහා යෝජිත සංශෝධන කිහිපයක් තිබෙන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

පළාත් සභාවක නිල කාලය අවසන්වීමෙන් මාස 12ක් ගතවීමට පෙර මැතිවරණයක් පැවැත්වීමටත් මාස 48 ක නිල කාලය සම්පූර්ණ කළ නොහැකි වූ පළාත් පාලන ආයතනවලට අදාළව නැවත නව මැතිවරණයක් පැවැත්වීමටත් එමඟින් යෝජනා කර ඇති බව නීතිපතිවරයා මෙහිදි කීය. ඒ අනුව මෙම සංශෝධනය සම්මතවීමෙන් පසු මාස 12ක කාලය තුළ මැතිවරණය පවත්වන බව හෙතෙම කීය.

එම යෝජිත සංශෝධන ඇතුළත් ලේඛන විනිසුරු මඬුල්ල සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් වෙත ලබාදෙන ලදි.

මෙහිදී පළමු පෙත්සම ඉදිරිපත් කර තිබූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම යෝජිත සංශෝධිතයන් සම්බන්ධයෙන් විශ්වාසනීයභාවයක් නොමැති බැවින් දැනට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් තමා කරුණු දක්වන බව හෙතෙම කීය.

සිය කරුණු දැක්වීම සිදුකරමින් හෙතෙම ‍මෙසේ කීය. අප අභියෝග කර ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරන ලද පනත් කෙටුම්පතයි. එහි ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීම අධිකරණයේ ක්‍රියාමාර්ගයයි. එවැනි අවස්ථාවක නීතිපතිවරයා කමිටු අවස්ථාවේදී යෝජිත සංශෝධන ඇති බවට ඉදිරිපත් කළ කරුණු ගැන විශ්වාස කිරීම අසීරුයි. එය කමිටු අවස්ථාවේ ඇති නිසා එය සැබවින්ම සිදුවේද නැද්ද යන්න ගැන විශ්වාස තැබිය නොහැකියි. එබැවින් මෙම සංශෝධනයට එරෙහිව කරුණු දැක්වීම සිදුකරනවා.

දැනට පවතින නීතිය අනුව පළාත් සභාවක නිල කාලය වසර 05 කට සීමාවෙනවා. එය මැතිවරණයක් පවත්වා මුල් දින 5 ඇතුළත සිට වසර පහ තෙක් ක්‍රියාත්මකයි. එම වසර පහක නිල කාලය අවසන්වීමට පෙර පළාත් සභාවක් විසුරුවා හැරීමට අදාළ විකල්ප අවස්ථා පළාත් පාලන මැතිවරණ පනතේ 5A වගන්තියේ දක්වා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවන අයුරින් කටයුතු කිරීමට පළාත් සභාවක සාමාජික සංඛ්‍යාවෙන් අඩක් ක්‍රියා කර ඇති අවස්ථාවක එය විසුරුවා හැරිය හැකි බව එහි දැක්වෙනවා. එසේම මහ ඇමැතිවරයාගේ උපදෙස් මත පළාත් සභාවක් විසුරුවාලීමේ අවස්ථාව ආණ්ඩුකාරවරයාට ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දැක්වෙනවා.

යෝජිත සංශෝධනය අනුව එම නිල කාලය වසර පහ ලෙස පවතින්නේ නැහැ.

එසේම පළාත් සභා සතුව තිබෙන බලය පාර්ලිමේන්තුව වෙත පැවරීමක් යෝජිත සංශෝධනය මඟින් සිදුකෙරෙනවා.

එසේම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව සියලු පළාත් සභාවල ඡන්ද විමසීම එක් දිනකදී පැවැත්වීමට යෝජිතයි. ඒ අනුව දැනට පවතින එක් එක් පළාත් සභාවල නිල කාලය වසර පහකට අධික හෝ අඩු ලෙස වෙනස් විය හැකියි. මහජනතාව පළාත් සභා නියෝජිතයන් තෝරාපත් කර ගන්නේ වසර පහක නිල කාලයක් සඳහා මිස ඊට අඩු හෝ වැඩි කාලයක් සඳහා නොවෙයි. එබැවින් එය සාධාරණ සංශෝධනයක් නොවෙයි.

පවතින නීතිය අනුව පළාත් සභා නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සඳහා එක් එක් පළාත් සභාවලට අදාළව මැතිවරණ පවත්වන්නේ එහි නිල කාලය වසර පහ අවසන්වීමෙන් පසුවයි. එහෙත් යෝජිත සංශෝධනය මඟින් එක් දිනකදී සියලු මැතිවරණයන් පැවැත්වීමට යෝජනා කර තිබීම වැරදියි. එය එක් අතකින් ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක්. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම පවා උල්ලංඝනය සිදුවෙනවා. මෙය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවද හෙතෙම කීය.

වැඩිදුර කරුණු සලකා බැලීම පසුවට කල් තැබිණි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබේ.

මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මහජන එක්සත් පෙරමුණේ මහ ලේකම් තිස්ස ගාමිණී, කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන්, රේණුක පෙරේරා, නීතිඥ රංග දාබරේ, තරුණ නීතිවේදීන්ගේ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ඕමාරේ කස්සප හිමි විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ. 

නව අදහස දක්වන්න