පිළිතුරක් වෙනුවට යෝජනාවලියක් | දිනමිණ

පිළිතුරක් වෙනුවට යෝජනාවලියක්

 2017.09.01 දිනමිණ තරුලකුණ අතිරේකය 29 වන පිටුවේ පළවුණු දිනෙන් දින අබලන්වන මොරටුවේ වඩු කර්මාන්තය ලිපියට ඌණ පූර්ණයක් ලෙස පාඨක මහතකු විසින් එවනලද යෝජනාවලියකි.

ශ්‍රී ලංකාවේ දැව ආශ්‍රිත වෘත්තීයවේදීන්ගේ කර්මාන්තය නගා සිටුවීම

දැව ආශ්‍රිත වෘත්තීයවේදීන්ගේ අතිශය වැදගත්කම පිළිබඳව ඉතිහාසයෙන් මෙන්ම වර්තමාන ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයන්හිදී හා සියලුම ක්ෂේත්‍රයන් සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ නිර්මාණය කර ගැනීමේදී මනාව පැහැදිලිවේ.

මෙම ක්ෂේත්‍රයන්ට අදාළ නිෂ්පාදන වර්ගයන් නම්,

• උළුවහු, දොර ජනෙල්, සාමාන්‍ය වහල, ෆිනිෂින් වහල, වඩිම්බු, ලී සිවිලිං, සීට් සිවිලිං, තරප්පුපේලි, අත්වැටවල්, බීරළු පැනල්, මෝල්ඩින්, කර්ටන් බාර් හා වළලු, ලී. පොළව, බිත්ති අල්මාරි, පැන්ට්‍රි කබඩ්, නාන කාමර කබඩ්

• අල්මාරි, කැබිනට්, කණ්ණාඩි මේස, පුටු සෙට්, සෝෆා, කෑම මේස හා පුටු, ඇඳන්, බෙඩ් සයිඩ්, කබඩ්, ටී වී ස්ටෑන්ඩ්, ආලින්ද පුටු, ටීපෝ, ස්ටූල්

• කාර්යාල ලී බඩු හා පාසැල් ලී බඩු උපකරණ

• කොසු ඉදල් මිටි, තීන්ත ආලේප බුරුසු මිටි, ගෘහාශ්‍රිත බුරුසු මිටි

• සෙල්ලම් බඩු

• කැටයම් හා කලාත්මක භාණ්ඩ

• චිප් බෝඩ්, ප්ලයිවුඩ්, එම්ඩීඑෆ් බෝඩ් යන ආදිය ප්‍රධාන වශයෙන් වේ.

මෙම අවශ්‍යතාවයන්ගෙන් 55 - 60% පමණ ප්‍රමාණයක් දේශීය දැව ආශ්‍රිත වෘත්තීයවේදීන්ගෙන් ඉටුවන අතර ඉතිරිය සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක්, අප රට තුළ කළ හැකි දෙයක් සඳහා වැය කිරීම කනගාටුවට කරුණකි.

මෙම කාර්යයන්ගෙන් නිවාස/ ගොඩනැගිලි වහලවල් සඳහා ආනයන දැව භාවිතයට මේ වන විට නැඹුරුතාවය වැඩිවී ඇති අතර, තවමත් උළුවහු, දොර ජනෙල් සඳහා පාරිභෝගිකයා වැඩි කැමැත්තක් දක්වන්නේ කොස්, මිල්ල, හල්මිල්ල වැනි දුර්ලභ දැව සඳහාය.

අනෙක් බොහෝ කාර්යයන් සඳහා දේශීය දැව භාවිතයට දැව ආශ්‍රිත වෘත්තීයවේදීන් උනන්දුවීම ධනාත්මක ලක්ෂණයකි. ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන දැව වර්ගයන් නම්, තේක්ක, මැහෝගනී, පයින්, මයික්‍රෝ, ග්‍රාන්ඩ්ස්, ඇලස්ටෝනියා, ඇල්බීසියා, ලුනුමිදැල්ල, සපු, රබර් වේ.

කර්මාන්තය සඳහා අවශ්‍ය දැව සපයා ගැනීම

දැව ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් වුවත්, දැනට ශ්‍රී ලංකාවේ 20%කට වඩා අඩු වන සම්පත් රැක ගැනීමද අත්‍යාවශ්‍ය සාධකයකි. මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරන අතර, දැව ජාවාරම්කරුවන් සඳහා දැඩි දඬුවම් පැමිණවීම සාධාරණය. අගනා වටිනාකමකින් යුත් දැව වර්ග, දැව ආශ්‍රිත කර්මාන්ත සඳහා යොදා ‍ නොගැනීම මෙම කර්මාන්තය නගා සිටුවීමට බාධාවක් නොවන බව වටහා ගත යුතුයි. එසේම රක්ෂිත වනය, දැව ආශ්‍රිත කර්මාන්ත සඳහා දැව සැපයුම් මූලාශ්‍රයක් නොවන බව ද තේරුම් ගත යුතුය.

ප්‍රශ්නයට එක් විසඳුමක් ලෙස රබර් වගාව හැඳින්විය හැක. පරිසර හිතකාමී වගාවක් මෙන්ම රබර් හොඳ වටිනාකමකින් යුත් දැව වර්ගයක් වේ. ස්ථිර ක්‍රමාණුකූල දැව සැපයුමක් රබර් වගාවෙන් අපේක්ෂා කළ හැක. රබර් දැව පදම් කිරීම, දැව සංරක්ෂණ පිළියම් පිළිබඳව දැව කර්මාන්තයේ නියැළෙන්නන් දැනුවත් කළ යුතුය.

ආයෝජන මණ්ඩලයේ අනුමත එම්.ඩී.එෆ් බෝඩ් නිෂ්පාදන හා අපනයන ආයතනයක් ස්ථාපිත වීමෙන් ඉරිය හැකි රබර් දැව කොටන් පවා මෙම ආයතනය මිලදී ගැනීමෙන් සුළු පරිමානයේ රබර් දැව ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතවූ කර්මාන්තකරුවන් අසරණ වූ ඉතිහාසයක් ද අපට ඇත. ඒ එවකට රජය ගත් ප්‍රතිපත්ති තීන්දුවේ දුබලතාවකි. ඊට අමතරව මොරටුව ප්‍රදේශයට එන දැව මිල ඉහළ ගිය බව සත්‍යයකි. මෑතකදී තේක්ක, මැහෝගනී වගාවන් සඳහා පුද්ගලික සමාගම් ආයෝජනය කිරීම දක්නට ලැබේ. මේ සම්බන්ධව නියාමන අධිකාරියක් නොමැති වීමෙන්, මෙවැනි වගාවන් වෙනුවෙන් සමහර පුද්ගලික ආ‍යෝජකයින් පහසුවෙන් රැවටෙන අවස්ථා ද ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිසි කළමනාකරණයක් යටතේ තේක්ක, මහෝගනී, ග්‍රින්වුඩ්ස්, මයික්‍රෝ යන වගාවන් විශාල ප්‍රමාණයෙන් කරනු ලබයි. මෙම දැව, කර්මාන්තකරුවන්ට ලබාගත හැකි වාර්ෂික සැලසුම් කල්තියා දැන ගත හැකිනම්, ඔවුන්ට නිෂ්පාදන සැලසුම් සකසා ගැනීමට පහසුය.

දැව හිඟයට කාලෝචිත තවත් විසඳුමක් නම් ගෙවතු වගාවයි. උදාහරණයක් ලෙස තේක්ක හෝ මැහෝගනී පැළයක් ගෙවත්තේ සිටුවුවහොත් වසර 20කදී පමණ රු. 30,000/=ක පමණ අස්වැන්නකට හිමිකම් ලබයි. නමුත් දැනට පවතින නීති රාමුව තුළ නිසි වටිනාකමට එය අලෙවි කර ගැනීමට බාධාවන් පවතී. මෙම ප්‍රශ්නයෙන් ගොඩඒමට අල්ලස් දීමට ද සිදුවීම තවත් කනගාටුදායක තත්ත්වයකි. තම ගෙවත්තේ තමන් සිටවූ ගස කපා, විකිණීමට තවත් පාර්ශ්වයක අවසරය අවශ්‍යවීම තර්කානුකූල නැත. මේ සඳහා නිදහසක් මහජනතාවට ඇත්නම් ගෙවතු වගාවන්ට මහජනතාව උනන්දුවීමෙන් ඉතාමත් යහපත් දේශගුණික පරිසරයක් නිර්මාණය වනවාට අමතරව දැව ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට මහත් පිටිවහලක් වනු නොඅනුමානය.

උපන්දිනයන් සමරන්නන් තේක්ක පැළයක් හෝ මැහෝගනී පැළයක් තම ගෙවත්තේ සිටුවීමේ පුරුද්දක් සම්ප්‍රදායක් සමාජ ගත කළ හැකිනම් එය උතුම් කර්තව්‍යයකි.

කර්මාන්තය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය

දැව ආශ්‍රිත කර්මාන්ත සඳහා පමණක්නොව සියලුම කර්මාන්ත ක්ෂේත්‍රයන් සඳහා ශ්‍රමිකයින් සපයා ගැනීම අපහසු තත්ත්වයක් ඇත. එය සංවර්ධනය වෙමින් පවතින රටවලට පොදු ප්‍රශ්නයකි. නමුත් රටේ විරැකියාව ඉහළ ප්‍රතිශතයක් වෙයි. අප රටේ කර්මාන්ත ක්ෂේත්‍රයන් සඳහා ශ්‍රමිකයින් සපයා ගැනීම අපහසු වුවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවී පහත සඳහන් ක්ෂේත්‍රයන්හි සේවාවල නියැළී සිටී.

• දැනට ලංකාවේ 750,000කට අධික පිරිසක් ත්‍රීවීල් ක්‍රියා කරවන්නන්ය. මෙයින් බහුතරයක් තරුණ ජවයයි. නමුත් ඔවුන්ගේ කැපකිරීමට හා ඔවුන් ආයෝජනය කළ දෙයින් ලැබෙන පලය ප්‍රමාණවත් ද?

• ආරක්ෂක සේවාවන්හි දැනට 500,000 පමණ පිරිසක් යොදවා ඇත. මේ පිරිස රටේ කුසලතාවලින් හෙබි ජව සම්පන්න අයයි. මොවුන්ගෙන් ඉතාමත් මුළු ප්‍රමාණයක් තමා නිෂ්පාදන ක්‍රියාවන්හි යොදවා තිබෙන්නේ.

• අප රටේ ජනගහනයෙන් අවම වශයෙන් 1%ක පමණ ප්‍රමාණයක් වගකීමක් ගැනීමට අකමැති රැකියාවක් නොකරන කම්මැලි අලස පුද්ගලයන් සිටිනා බව මා විශ්වාස කරමි.

• අප රටේ ජව සම්පන්න නිරෝගී පුද්ගලයින් ලක්ෂ 15ක් පමණ විදේශ රැකියා සඳහා ගොස් ඇත. ඔවුන්ගෙන් අති බහුතරයක් තම කැපකිරීමට ප්‍රමාණවත් වැටුපක් නොලබන අයයි. මෙම බළකාය අප රටෙහි නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගත්තේනම්, ඔවුන් රැගෙන එන විදේශ විනිමය මෙන් දෙගුණයක් පමණ විදේශ විනිමය අප රටට ලබා දිය හැකිය. ඊට අමතරව ඔවුන්ගේ පවුල් අතර සතුට උපරිම වන අතර, පියා හෝ මව නොමැති පවුල්වල සිදුවන දුක් කම්කටොලු අවම වනවා නොඅනුමානය.

මෙම වෘත්තියට සමාජයේ දී තිබෙන වෘත්තීය නාමය මේ වනවිට තදින් බලපෑ ඇති බව සත්‍යයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ කියනුයේ වඩුවා, වඩ්ඩා ‍හෝ වඩු බාස් ලෙසය. මෙම ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට සමාජ පිළිගැනීමක් ඇති ගෞරවාන්විත තනතුරු නාමයක් නිර්මාණය කළ යුතුය. සේවායෝජකයා දැව ආශ්‍රිත කර්මාන්තයන්හි නියැළෙන්නන්ට සැලකිය යුතු වැටුපක් ගෙවන්නේ නම් හා ඔවුන්ගේ පුද්ගලික නිදහස සේවායෝජකයා අගය කරන්නේ නම් ඉතා යහපත්ය. සේවයට පැමිණීමේදී හා සේවය නිමවී නිවෙස් කරා යාමේදී හොඳ පිළිගත් ඇඳම් ඇඳීමට දිරි ගැන්විය යුතුය.

බල ශක්තිය හා නව තාක්ෂණය

සුළු පරිමානයෙන් පවත්වා ගෙන යන කර්මාන්ත සඳහා විදුලි බල භාවිතය විශාල ප්‍රශ්නයක් නොවුණත් සාමාන්‍යයෙන් කරනුයේ තම නිවසේ විදුලි සැපයුම හරහා තම විදුලි වඩු කාර්මික උපකරණ ක්‍රියා කරවීමයි. නමුත් මෙම ව්‍යාපාරය ලියාපදිංචිකර තම කර්මාන්තය සඳහා වෙනම විදුලි මීටරයක් සවි කරවා ගත්තේනම්, මාසිකව විදුලිබිල විශාල ප්‍රමාණයකින් අඩු වන බව බොහෝ අය නොදන්නා කරුණකි. මෙම කර්මාන්තය ලී ඉරන හා පදම් කරන පරිමානයෙන් පවත්වාගෙන යන්නේනම්, බලශක්තිය ඉතිරි කර ගැනීම හා තම යතුගාන, ඉවතලන කොටස් හා ලී කුඩු නිස්සාරණය කිරීමට එකම පිළියම මේවා දහනයෙන් ලී පදම් කිරීමට බොයිලේරු භාවිතා කිරීමයි.

ක්ෂෙත්‍රයේ බොහෝ අය කැටයත්ත, දිග යත්ත, නියන, අත්කියත, මිටිය, බුරුමය භාවිතා කරමින් කර්මාන්තයේ නියැළෙන්නන්ය. සමහරවිට විදුලි කියතක්, මදින මැෂිමක්, ඩ්‍රිල් එකක් පමණක් භාවිතා කරන අය බොහෝය. මෙම තත්ත්වය තුළ නිෂ්පාදන භාණ්ඩයන්හි අධික ශ්‍රම පිරිවැයක් සමඟ නිෂ්පාදිත මිල අධික වීම වැළක්විය නොහැක. එසේම නිමාව ද උසස් මට්ටමකට ගෙන ආ නොහැක.

පරිගණක අන්තර්පාල පහසුකම් මතත්, ජනතාවගේ ජීවන තත්ත්වය උසස්වීම නිසාත් සාම්ප්‍රදායික ගෘහභාණ්ඩ නිෂ්පාදකයාගේ නිෂ්පාදන සඳහා ඉල්ලුමෙහි සැලකියයුතු අඩු වීමක්ද දක්නට ලැබේ. මේ මත නව ජවයක් ලැබූ ප්‍රධාන පෞද්ගලික ව්‍යාපාර ආයතන ප්ලාස්ටික් ගෘහභාණ්ඩ, යකඩ ආශ්‍රිත ගෘහභාණ්ඩ, චිප් බෝඩ්, ප්ලයිවුඩ්, එම්ඩීඑෆ් බෝඩ් මගින් නිපදවන ලද ගෘහ භාණ්ඩ රටට හඳුන්වා දීමට පියවර ගත්තේය. එය රටට විශාල හානියකි. මෙම තත්ත්වය පාලනය කිරීමට රජය වහාම පියවර ගතයුතු යයි මා විශ්වාස කරමි. එවැනි තීන්දුවකදී ඒ වෙනුවෙන් දේශීය නිෂ්පාදන ධාරිතාව රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා නිෂ්පාදනය කිරීමට හැකි වපසරියක් හා හැකියාවක් ඇත්තවුන් මොරටුව හා අවට ප්‍රදේශයන්හි සිටිනා බව ආඩම්බරයෙන් සඳහන් කරන්නට කැමැත්තෙමි.

යන්ත්‍රානුසාරයෙන් දැව ආශ්‍රිත කර්මාන්ත සිදු කරන්නේනම්, තොග වශයෙන් නිර්මාණය කරන භාණ්ඩවල නිමාව එකම මට්ටමක පවත්වා ගත හැකි අතර, ප්‍රමිතියද උසස් මට්ටමක පවත්වා ගත හැක. ඒ සඳහා මෙම ක්ෂේත්‍රයේ නියැළෙන්නන් දැනුවත් කිරීම රජයේ කාර්යභාරයක් යයි මා විශ්වාස කරමි. එසේම ගෘහභාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය වන්නාවූ විවිධ වර්ගයන්හි ආනයනික ඇණ වර්ග, නට් වර්ග, විවිධ සරනේරු වර්ග, හැඬල් වර්ග පහසුවෙන් මොරටුව ප්‍රදේශයේ මිලදී ගැනීමට ස්ථාන ඇත. ඒවා භාවිතය පිළිබඳව නිෂ්පාදකයින් දැනුවත් කළ යුතුය. එමගින් නිෂ්පාදිත භාණ්ඩයන්හි ප්‍රමිතිය හා එකලස් කිරීමේ පහසුව උපරිම වේ.

ගෘහභාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන ආනයන කරන ලද දේශීය වෙළඳ පොළේ ඇති උපාංග

මෙම කොටස් ආනයනය කිරීම සඳහා ඉතා සුළු ප්‍රමාණයක විදේශ විනිමය ප්‍රමාණයක් වැය වුවත්, එම කොටස් භාවිතා කරමින් ආනයනය කළ ගෘහභාණ්ඩ ප්‍රමිතිය හා සමාන නිෂ්පාදන සැකසීමට දේශීය නිෂ්පාදකයා දිරිගැන්විය යුතුයි.

පිළිගත් ව්‍යාපාරයක් ලෙස නිර්මාණය හා යටිතල පහසුකම්

ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට බොහෝ දෙනා මැළි වනුයේ ඉන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට ලැබෙන්නාවූ පෝරම පිරවීමට නොතේරුම්කම නිසා විය හැක. ඔවුන්ගේ කර්මාන්තයන්හි කාර්යයන්ට බාධාවක් නොවන පරිදි මෙම දෙපාර්තමේන්තු නිලධාරීන් එම ස්ථානයන්ට යවා ඔවුන් දැනුවත් කර නිෂ්පාදකයන් / බදු ගෙවන්නන් රාජ්‍ය ආදායමේ කොටස් කරුවන්යයි සලකා කටයුතු කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු කාලය එළඹ ඇත.

එසේම ඔවුන් කරගෙන යන ව්‍යාපාරය සඳහා සහන පොලී අනුපාතයන්ට ණය ආධාර ලබාදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ද ඔවුන්ගේ කර්මාන්තයන්හි කාර්යයන්ට බාධාවක් නොවන පරිදි රාජ්‍ය බැංකු නිලධාරීන් එම ස්ථානයන්ට යවා ඔවුන් දැනුවත් කර ඔවුන්ගේ වපසරියට ගැළපෙන ණය ආධාර ලබාදීමට යාන්ත්‍රණක් සකස් කළ යුතු කාලය එළඹ ඇත.

කර්මාන්ත කඩා වැටීමට බලපෑ ප්‍රධාන කරුණු

මෙම ක්ෂේත්‍රයේ ප්‍රධාන අංගයක් වූ ගෘහභාණ්ඩ නිෂ්පාදනය කඩා වැටීමට පාදක වූ ප්‍රධාන සාධකයක් නම් ප්ලාස්ටික් ගෘහභාණ්ඩ හා යකඩ පාදක ගෘහභාණ්ඩ ආනයන කිරීමට බාධක නොපැණවීමයි. ප්ලාස්ටික් ගෘහභාණ්ඩ හා යකඩ පාදක ගෘහභාණ්ඩ ආනයනය කිරීමට අවසර දීමට පෙර මෙමගින් මොරටුව ඇතුළු අවට ප්‍රදේශයේ මෙම කර්මාන්තයේ නියැළී සිටින 10,000ක් පමණ වැඩපළවල් කඩා වැටෙන බව අනාථ වන බව තේරුම් නොගැනීම අභාග්‍යයකි. ප්ලාස්ටික් ගෘහභාණ්ඩ දැනට මෙරට නිෂ්පාදනය කරන අතර එමගින් පරිසරයට සිදුවන්නාවූ හානිය විශ්ලේෂණාත්මකව සොයා බැලීම කාලෝචිතය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෞද්ගලික ව්‍යාපාර ආයතන දෙකක් දේශීයව නිපදවන ගෘහභාණ්ඩ වෙළඳාමේ යෙදී සිටී. ඒ එම ආයතනයන්ට අවශ්‍ය ප්‍රමිතීන්ට දේශීය නිමැයුම්කරුවන් කිහිප දෙනෙකු ලවා නිපදවා ගැනීම මගිනි. ඔවුන් තෝරා ගත් දේශීය නිමැයුම්කරුවන්ගේ සැපයුම් ඉල්ලුමට ප්‍රමාණවත් නොවූයෙන්, අවස්ථා කීපයකදී නිමි ගෘහභාණ්ඩ ආනයනය කර ඇත. නමුත් රටේ වාසනාවට එම ආනයනය මගින් හිඟය පුරවා ගැනීම් අසාර්ථකවී ඇත. නමුත් නිමි ගෘහභාණ්ඩ ආනයනය පූර්වාදර්ශය මගින් සුළු වශයෙන් ගෘහභාණ්ඩ ආනයනය කිරීම් කෙරී‍ගෙන යයි. දේශීයව ගෘහභාණ්ඩ නිපදවන්නන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් ලෙස සලකන අතර, ආනයනය කරන ලද ගෘහභාණ්ඩ හා තරගකාරී මිලක් දේශීයව නිපදවන ගෘහභාණ්ඩ සඳහා නොවීම ද ඉතාමත් සැලකිල්ලෙන් යුතුව අධ්‍යයනය කළ යුතු කරුණකි. මන්ද යත් ආනයනය කරන ගෘහභාණ්ඩ වරාය නිෂ්කාශනයෙන් පසු ඒවා එම රටවල්වලින් මිලට ගත් මුදල මෙන් දෙගුණයක් පමණ වන බැවිනි. ඒ නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, තීරුබදු, වැට් බදු, හා අනෙකුත් බදු, භාන්ඩ නිෂ්කාශනය කිරීමට යන පිරිවැය එම ගෘහභාණ්ඩ එම රටෙන් ගත් මිලට එකතු වන නිසාය. එහෙත් එම මිලත්අපේ රටෙහි නිෂ්පාදනය කරන ගෘහභාණ්ඩවල මිලට වඩා අඩු වන්නේ නම් එය සැලකිය යුතු ප්‍රශ්නයක් බව වටහා ගත යුතුයි. අපේ රටෙහි නිෂ්පාදනය කරන ගෘහභාණ්ඩවල මිලට වඩා අඩු වන්නේ නම් එය සැලකිය යුතු ප්‍රශ්නයක් බව වටහා ගත යුතුයි. අපේ රටෙහි නිෂ්පාදනය කරන ගෘහභාණ්ඩවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගැනීමට සැලසුම් කිරීමට අපහසුනම් අපේ රටෙහි නිෂ්පාදනය කරන ගෘහභාණ්ඩ පිටරට පැටවීම අපහසු කාර්යයක් වනු නොඅනුමානය. සමහර දේශීයව ගෘහභාණ්ඩ නිපදවන්නන් ඉතා සුළු ප්‍රමාණයන් ආනයන කර ඒවායෙන් නිර්මාණයන් හා තාක්ෂණයන් උකහාගෙන, ඒ අනුරූප භාණ්ඩ ශ්‍රී ලංකාව තුළ නිපදවන ආයතනයන් ද ඇත. එම තත්ත්වය අගය කළ යුතු කාරණයකි.

විධිමත් පුහුණු ක්‍රම වේදයක්

දැව ආශ්‍රිත කර්මාන්ත පිළිබඳව අ.පො.ස (සා.පෙ) විෂය පථය හරහා ආකර්ෂණීය හැඟීමක් ඇති කරවන අයුරින් කෙටි දැනුවත් කිරීමක් කිරීම යෝග්‍යයි. අ.පො.ස.(සා.පෙ) / අ.පො.ස. (උ.පෙ) පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබන ළමුන්ට ස්වෙච්ඡාවෙන් මෙම කර්මාන්තය තෝරා ගන්නා මට්ටමට එහි විෂය පථයන් විධිමත්කර මෙම කර්මාන්තයට අදාළ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති පුහුණු කිරීම් ආයතනයන් ස්ථාපිත කළ යුතුය. පාඨමාලාව අවසානයේ නිකුත් කරන පාඨමාලා සහතිකය ලංකා - ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සහතිකය හා සමාන හෝ ඉහළ පිළිගැනීමක් ඇති කළ යුතුයි. සහතිකය ලබා ගැනීමෙන් පසු,

• ඩ්‍රොවින් එකක් තේරුම් ගැනීමේ හැකියාව, අවශ්‍ය කොටස්වල සැලසුම් ඇඳ ගැනීමේ හැකියාව

• ගෘහභාණ්ඩයක් හෝ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ කාර්යයක් සඳහා ඇස්තමේන්තුවක් සකස් කිරීමේ හැකියාව (ඉංග්‍රීසි භාෂාවෙන් නම් වඩාත් සුදුසුයි)

• ගෘහභාණ්ඩයක් හෝ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ කාර්යයක් සඳහා එකඟතා ගිවිසුමක් හෝ කොන්ත්‍රාත් ගිවිසුමක් පිළිබඳ අවබෝධයක්

• ලී වර්ග හඳුනාගැනීම, අදාළ කාර්යයට අනුව දැව තෝරා ගැනීම, දැව පදම් කිරීම, දැව ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ අවබෝධය

• කර්මාන්තය සඳහා අවශ්‍ය නව තාක්ෂණික ආයුධ, මැෂින්, යන්ත්‍ර හා උපකරණ පිළිබඳ අවබෝධයක් හා ක්‍රියා කරවීමේ හැකියාව හා ඒවා භාවිතයෙන් නිමි භාණ්ඩයන්හි පිරිවැය තරගකාරී මිලකට අවම කළ හැකි බවට අවබෝධය

• ගෘහභාණ්ඩ හෝ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ කාර්යයන් තමන්ට තනිවම කළ හැකි බවට ආත්ම විශ්වාසයක්

• ගෘහභාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන ආනයනය කරන ලද දේශීය වෙළඳ පොළේ ඇති උපාංග පිළිබඳ දැනුමක්

• කර්මාන්තය සඳහා භාවිතා කළයුතු ආරක්ෂක උපකරණ පිළිබඳ අවබෝධයක්

• නිෂ්පාදනය කරන ලද භාණ්ඩය පොලිෂ් කිරීම හෝ තීන්ත ස්ප්‍රේ කිරීම පිළිබඳව අවබෝධයක්

උපයා ගත හැකි වන පරිදි විෂය හා ප්‍රා‍යෝගික ක්‍රියාකාරකම් සකස්වීම යෝග්‍ය වේ.

විශේෂ පුහුණුවක්

පවත්වාගෙන යන බොහෝ කර්මාන්තශාලා කළමනාකරුවන්ට මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති අතර, වැඩ කරන කාර්ය මණ්ඩලය මත රඳා පවතින තත්ත්වයක් තිබේ. මෙම අයටද විෂය ක්ෂේත්‍රය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කිරීම යෝග්‍ය වේ.

• ඩ්‍රොවින් එකක් තේරුම් ගැනීමේ හැකියාව

• ගෘහභාණ්ඩයක් හෝ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ කාර්යයක් සඳහා ඇස්තමේන්තුවක් සකස් කිරීමේ හැකියාව

• ගෘහභාණ්ඩයක් හෝ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ කාර්යයක් සඳහා එකඟතා ගිවිසුමක් හෝ කොන්ත්‍රාත් ගිවිසුමක් පිළිබඳ අවබෝධය

• දැව පදම් කිරීම, දැව ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ අවබෝධය

• කර්මාන්තය සඳහා අවශ්‍ය නව තාක්ෂණික ආයුධ, මැෂින්, යන්ත්‍ර හා උපකරණ පිළිබඳ අවබෝධයක් හා ක්‍රියාකරවීමේ හැකියාව හා ඒවා භාවිතයෙන් නිමි භාණ්ඩයන්හි පිරිවැය තරගකාරී මිලකට අවම කළ හැකි බවට අවබෝධය

• ගෘහභාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන ආනයන කරන ලද දේශීය වෙළඳපොළේ ඇති උපාංග පිළිබඳ දැනුමක්

• කර්මාන්තය සඳහා භාවිතා කළයුතු ආරක්ෂක උපකරණ පිළිබඳ අවබෝධයක්

මෙම ක්ෂේත්‍රයේ දැනට නියැළී සිටින්නන්ට කර්මාන්තය පිළිබඳව ප්‍රායෝගික දැනුම ඇති හෙයින් ඉහත සඳහන් ක්ෂේත්‍ර කෙරෙහි ඔවුන්ගේ දැනුම පෝෂණය කිරීම හරහා රටේ නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි දායකත්වයක් ලබා ගැනීමෙන් රටේ ආනයන - අපනයන හිඟය අඩු කර ගත හැක.

එච්.එස්.ඒ.ජේ. ප්‍රනාන්දු
(වරලත් ඉංජිනේරු)

නව අදහස දක්වන්න