නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න දෙමළ ජනතාව අප සමඟ එකතුවෙලා | දිනමිණ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න දෙමළ ජනතාව අප සමඟ එකතුවෙලා

ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සම්මන්ත්‍රණය ඇමතූ අයුරු.

ජනවාරි 08 පෙරළියට දායක වූ පාර්ශ්වවල අපේක්ෂාව වනුයේ ජාතික එක්සත්කම ඇතිකරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව ද, එවන් ව්‍යවස්ථාවක් සකස්කොට සම්මත කර ගැනීමට උතුරේ ද්‍රවිඩ ජනතාව අපත් සමඟ එකතුවෙලා ආර්. සම්බන්ධන් විපක්ෂයේ නායකයා වී ඉන්න මේ අතරමැදි කාලය තරම් සුදුසු කාලයක් ආයෙත් නම් උදාවෙන්නේ නැතැයි ද, ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ 10 දා වේයන්ගොඩ ජාතික සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සමාජ ක්‍රියාධරයන් වෙත කරුණු පැහැදිලි කිරීමේ සම්මන්ත්‍රණයක් අමතමිනි.

නිදහස ලැබුණු දා සිටම අපේ රට ආණ්ඩු කළ පාලකයන්ට ජාතික එක්සත්කම ඇතිකෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ ප්‍රඥාව, අවංකකම හා වුවමනාව නොතිබුණු බව ද වික්‍රමරත්න මහතා මෙහිදී පැවසීය. වැඩිදුරටත් කරුණු දැක්වූ විමලරත්න මහතා මෙසේ ද කීය.

ව්‍යවස්ථා වෙනසකට හදවතින්ම විරුද්ධ දෙකොටසක් ඉන්නවා. එක කොටසක් තමයි දකුණේ අන්තවාදීන්. ඔවුන් හිතනවා මේ රටේ දේශපාලන බලය තිබිය යුත්තේ බහුතරය වන සිංහල බෞද්ධයන්ටය කියලා. උතුරේ අන්තවාදීන් හිතනවා අපට ඕනෑ වෙනම රාජ්‍යයක්. සම්බන්ධන්ව දුර්වල කරලා රට කඩාගන්න පුළුවන් හොඳම අවස්ථාව මේ තමා කියලා.Ó

මේ අන්තවාදීන් දෙකොටසම උත්සාහ කරන්නේ අඩු දේශපාලන දැනුමක් ඇති බහුතර ජනතාවගේ හැඟීම හා ‍ආවේගයන් අවුස්සලා තමන්ගේ පඩු ආත්මාර්ථකාමී දේශපාලන වුවමනාවන් ඉටුකර ගන්නයි.

සම්බන්ධන් මහත්තයා රටේ ඒකීය භාවය සහ නොබෙදිය හැකි බව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම වගේ කාරණාවලට එකඟවෙලා ඉන්නවා. ඒ නිසා සම්බන්ධන් විපක්ෂයේ නායකයා වෙලා ඉන්න මේ වෙලාවේ මේ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ නැත්නම් ව්‍යවස්ථා ඉතිහාසයේ අපි කරන ලොකුම අත්වැරැද්ද එය වෙනවා යැයි ද කී ජයම්පති වික්‍රමරත්න මහතා, සෝල්බරි ව්‍යවස්ථාවේ තිබූ බලතල බෙදීමේ මූලධර්මය 72' සහ 78' ව්‍යවස්ථාවලින් ඉවත් කිරීම වාර්ගික ගැටලුව උග්‍ර කිරීමට හේතු වූ බව ද පැවසීය.

යෝජිත නව ව්‍යවස්ථාවේ ජාතික එක්සත්කම රැකෙන, පාලකයන්ගේ බලය සීමාවන්ට ලක්කරන යෝජනා ඇතුළත් වන බව කී ජයම්පති වික්‍රමරත්න මහතා, යෝජනා වූ මහජන අදහස් අනුව ජනතාව බලගන්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්මුති ආණ්ඩුවේ වගකීම වන බවද සඳහන් කළේය.

පුරවැසි අයිතීන් ආරක්ෂා කරන ශක්තිමත් යාන්ත්‍රණයක් සහ පාලන ක්‍රමය තුළ බලතල බෙදීමක් රටක් සමඟි කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් තුළ අඩංගු විය යුතු බව ද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ සිරිනිමල් ලක්දුසිංහ මහතා මේ සම්මන්ත්‍රණයේ කැඳවුම්කරු වශයෙන් ක්‍රියාකළ අතර අත්තනගල්ල සමාජ හා සංස්කෘතික සංසදය මෙය සංවිධානය කළේය.

අත්තනගල්ල විශේෂ ජයවීර සුගතපාල

නව අදහස දක්වන්න