සරසවිවල යෝජනා ක්‍රියාවට මිලියන 100ක් ලබා දෙනවා | දිනමිණ

සරසවිවල යෝජනා ක්‍රියාවට මිලියන 100ක් ලබා දෙනවා

ජයසිරි මුණසිංහ
කුරුණෑගල, ගෝනවල, මාකදුර කාර්මික ජනපදයේ පිහිටුවන ලද තාක්ෂණික පෙරවැඩුම් හුවමාරු මධ්‍යස්ථානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) විවෘත කරන ලදී. අැමැතිවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, රිෂාඩ් බදියුදීන් සහ අකිල විරාජ් කාරියවසම් මහත්වරුන්ද සහභාගි වුහ. ජායාරූපය- හිරන්ත ගුණතිලක

විශ්වවිද්‍යාලවල විවිධ සමිති සමාගම් මගින් ලැබෙන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 100ක් ලබා ‍දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

තරුණ සේවා සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නම් කරන අයගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පත් කරන බවත් විශ්වවිද්‍යාලවලින් එම මණ්ඩලයට ලැබෙන යෝජනා සළකා බලා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බව ද අගමැතිවරයා කීය.

විශ්වවිද්‍යාලවල සංගම් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට පසුගිය වසරේ පොරොන්දු වුවත් විශ්වවිද්‍යාලව තිබූ අස්ථාරභාවය සහ ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණයක් නොතිබූ නිසා පසුගිය වසරේ එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වූ බව පැවසූ අගමැතිවරයා මේ වන විට විශ්වවිද්‍යාලවල වාතාවරණය හොඳ මට්ටමකට පැමිණ තිබෙන නිසා එම පොරොන්දුව ඉටු කිරීමේ කාලය එළැඹ ඇතැයිද කීය.

හොඳ යෝජනා සහ සැලසුම් ඉදිරිපත් වුවහොත් අවශ්‍ය මුදල් ලබා දිය හැකි බව ද අගමැති වික්‍රමසිංහ මහතා පැවැසීය.

එ‍සේම සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රක්ෂණ ආවරණය ලබා දීම එළැඹෙන මස ආරම්භ කරන බව ද උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ අයි පෑඩ් ලබා දීමේ වැඩසටහන ලබන වසරේ ක්‍රියාත්මක වන බව ද පැවැසීය. මේ ආකාරයට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කරන බව ද අගමැතිවරයා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල, ගෝනවල, මාකදුර කාර්මික ජනපදයේ පිහිටුවන ලද තාක්ෂණික පෙරවැඩුම් හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (13) සහභාගි වෙමිනි.

විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන තෝරාගත් දිරිමත් ව්‍යවසායක තරුණ තරුණියන් 29 දෙනකුට මුදල් ප්‍රදානය කිරීම, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිවරුන්ට පරිගණක ප්‍රදානය කිරීම ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සම්භාවණීය අමුත්තන් අතින් මෙහිදී සිදු විය.

නව අදහස දක්වන්න