පළාත් සභා පනත 2/3න් සම්මතයි | දිනමිණ

පළාත් සභා පනත 2/3න් සම්මතයි

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ චමීර ඇල්ලදෙණිය

පළාත් සභා ඡන්ද විමසී‍මේ (සං‍ශෝධන) පනත් ‍කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අතිබහුතරයකින් සංශෝධන සහිතව ඊයේ (20) සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 159ක් ද විපක්ෂව ඡන්ද 34 ලැබුණි. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට සභාවට පැමිණ සිටියේ නැත. ඊයේ උදෑසන පනත් කෙටුම්පත විවාදය ආරම්භ කිරීමෙන් පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කළහ. පනත් කෙටුම්පත නීතිපතිවරයාට යොමු කර තීන්දුව ලබාගෙන නොමැති බවට ඒකාබද්ධි විපක්ෂය චෝදනා එල්ල කළේය.

පාර්ලිමේන්තුවේ නෛතික ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා යොමු කර නොමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය අනුව පළාත් සභාවලට යොමු කළ යුතු බව ද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේය.

මේ අනුව නීතිපතිවරයාගේ හා පක්ෂ නායකයින්ගේ තීරණයන් විමසූ කතානායකවරයා පනත් කෙටුම්පත පළාත් සබාවලට යොමු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව නීතිපතිවරයා තීන්දු කර ඇති බව සඳහන් කළේය. කෙටුම්පත කාරක සබාවලට යොමු කර නිසි ක්‍රියාදාමයට ලක්කර ඇති බව සඳහන් කළ කතානායකවරයා නිතිපතිවරයාගේ තීරණය අනුව කෙටුම්පත සම්මත කිරිමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගත යුතු බව ද සභාවට දැනුම් දුන්නේය.

මේ අනුව රාත්‍රී 8.00 පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ ඡන්දය පැවැති අතර, ඊට පක්ෂව ඡන්ද 154ක්ද විපක්ෂව ඡන්ද 44ක්ද එක් මන්ත්‍රීවරයකු නොපැමිණි බවටද සඳහන් විය. ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව ඇමැති අර්ජුන රණතුංග මහතා ඡන්දයක් ප්‍රකාශ වී නොමැති බවට ප්‍රතිඵලයේ සටහන්වී තිබිණි. එහි දී නැ‍ඟී සිටි රණතුංග මහතා තමන් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව දැනුම්දුන්නේය.

ඒ වන විට කතානාකයවරයාගේ තීන්දුව ප්‍රකාශ කර ඇති බැවින් වෙනසක් කළ නොහැකි බව කරූ ජයසූරිය මහතා නිවේදනය කළේය.

නව අදහස දක්වන්න