අත්‍යවශ්‍ය නොවන සහ ‍සෞඛ්‍යයට අහිතකර සියලු ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නතර කරනවා | දිනමිණ

අත්‍යවශ්‍ය නොවන සහ ‍සෞඛ්‍යයට අහිතකර සියලු ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නතර කරනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළුතර බෝඹුවලදී කියයි

අත්‍යවශ්‍ය නොවන සහ ‍සෞඛ්‍යයට අහිතකර සියලු ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නතර කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේය.

අත්‍යවශ්‍ය නොවන මෙන්ම සෞඛ්‍යයට අහිතකර සියලු ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමට ජාතික ආර්ථික සභාව හරහා ඉදිරියේදී පියවර ගැනීමට බලාපො‍රොත්තුවන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව ‘සරු දිවියට කෘෂි සවිය’ මැයෙන් කළුතර බෝඹුවල කෘෂිකර්ම සංස්කරණ අභ්‍යාස ආයතනයේ පැවැති බස්නාහිර පළාත් කෘෂිකර්ම සහ සත්ව පාලන ප්‍රදර්ශණයේ ආරම්භක දිනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

මෙහිදී පූජ්‍ය හල්වතුරේ අස්සජී නාහිමියන් පිරිස පංචශීලයෙහි පිහිටවූ අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

මෙම ආයතනයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට ලැබීම ගැන මා පළමුව සතුටු වෙනවා. ප්‍රදර්ශනය පැවැත්වෙන දින තුනෙන් කුමන දිනයක හෝ ඊට සහභාගි වන්නට මට දැඩි උවමනාවක් තිබුණා. මෙය උතුම් ජාතික වැඩසටහනක්.

මා එක්සත් ජාතීන්ගේ සැසිවාරයට ‍ගොස් පැමිණි පසුව සහභාගි වන පළමු රැස්වීම මෙයයි. ඒ සැසිවාරය ගැන මා ලබා දෙන පණිවුඩයට කරුණු දෙකක් ඇතුළත්.

ඉන් එකක් වන්නේ ශ්‍රී ලංකා රජයට හා ජනතාවට ජාත්‍යන්තරයේ හොඳ හිත සමඟ රටේ සංවර්ධන කටයුතු සඳහා සියලු රටවල පූර්ණ ආශිර්වාදය ලැබෙන බවයි. අපට කිසිම සතුරෙකු ජාත්‍යන්තරයේ නැහැ. අපට එරෙහිව ටිකක් කෑ ගැසුවේ එල්ටීටීඊ හිතවාදී සුළු පිරිසක් පමණයි.

අනෙක් පණිවුඩය වන්නේ වහ වහා මේ රට කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීම ජාතික අවශ්‍යතාවයක් බවයි.

රටේ 2/3 ක පමණ ප්‍රමාණයක වසර ගණනක ඉඳල දැඩි නියඟයක් පවතිනවා. කෘෂිකර්ම නිෂ්පාදනවල විශාල අඩුවක් පවතිනවා. වසර 21/2ක පමණ නියඟය හේතුවෙන් ආහාර නිෂ්පාදනය 50%කින් පහත වැටී තිබෙනවා.

නියඟය එසේ තිබියදී රටේ තවත් ප්‍රදේශයක ගංවතුර හා නායයාම්. ඒ අනුව පසුගිය කාලය තුළ ජීවිත, ‍ගේ දොර හා දේපළ රැසක් විනාශ වුණා. ඉන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට දැඩි ලෙස අලාභහානි වුණා. මේ ස්වභාවික විපත් හේතුවෙන් ලොව රටවල් රැසක් බරපතළ ගැටලුවලට මුහුණදී සිටිනවා.

ඉදිරියේදී ජාත්‍යන්තරය තුළ විවිධ බෙදීම් හැල හැප්පිලි හා ගැටුම් වර්ධනය වන්නට පුළුවන්. ඉදිරි මාස කීපය තුළ යුද්ධයක් වුවත් ඇති වන්නට පුළුවන්.

මා එක්සත් ජාතීන්ගේ සැසිවාර දහයකට සහභාගිවී තිබෙනවා. ඒ ඇමැතිවරයකු වශයෙන් හත් වරක් සහ ජනාධිපතිවරයා වශයෙන් තුන් වරක් වශයෙන්. එහෙත් කනගාටුවෙන් යුතුව කිව හැකි වන්නේ මෙවර සමුළුව තරම් ජාත්‍යන්තරය තුළ බෙදීම් හා අසමගිටය පෙන්වූ තවත් සමුළුවක් මා දැක නැති බවයි.

ජාත්‍යන්රයේ දේශපාලන සමගියක් නැති සුහදකමක් නැති පසුබිමක් වේගයෙන් ගොඩනැ‍ඟෙමින් තිබෙනවා. එම තත්ත්වයන් ගැටුම්කාරී තත්ත්වයට පත් වුවහොත් ‍ලොව පුරා දැඩි ආහාර හිඟයක් ඇති විය හැකියි. එසේ විය හැකි නිසා අපේ ආහාර හදා ගත යුතු වෙනවා.

එදා 2007 දී මා “අපි වවමු රට නඟමු” වැඩසටහන ආරම්භ කළේත් ඒ නිසයි. අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපි සාමූහිකව ක්‍රියා කළ යුතු වෙනවා.

බඩගින්න දේශපාලන පක්ෂයක්, ආගමක්, භාෂාවක් වශයෙන් බෙදෙන්නේ නැහැ. මිනිසාට මෙන්ම සත්වයාටත් කුසගින්න දැනෙනවා. ඒ කුසගින්න දෙස අප බැලිය යුත්තේ අවිහිංසාවෙන් හා මනුෂ්‍යත්වයෙන් අපට අනතුර පේනවා නම් අප වහාම ක්‍රියාත්මක විය යුතුයි.

ඉදිරියේ දී ජාත්‍යන්තර යුද ගැටුමක් ඇති වුවහොත් තෙල් මිල බඩු මිල ඉහළ යනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විදෙස් වෙළඳ පොළේ පවා නැති වෙන්න පුළුවන්. ඒ අනුව ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළට සියලු අංශ එක්විය යුතු වෙනවා.

වර්තමානයේ අත්‍යාවශ්‍ය ආහාර පිටරටින් ගෙන ඒම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 2500ක මුදලක් වැය වෙනවා. ඒ අතර අත්‍යාවශ්‍ය නොවන ආහාරත් ගේනවා. කෘතිම පළතුරු, අඹ, කෙසෙල් වගේ ඒවා. මේවා අත්‍යවශ්‍ය ඒවා නෙවෙයි. මෑතක පිහිටවූ ජාතික ආර්ථික සභාව හරහා සෞඛ්‍යයට අහිතකර ආහාර ගෙන්වීම නතර කිරීමට ‍වෙළෙඳපොළට අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

වී ගොවිතැන, එළවළු, පලතුරු හා අතිරේක බෝග වගාව මේ රටේ කාටවත් අමුතුවෙන් උගන්වන්නට අවශ්‍ය නැහැ. මෙම ආහාර නිෂ්පාදන වැඩසටහන පොදු ජනතාව සමඟ සමීපව කටයුතු කරන ආයතන සමඟ ක්‍රියාත්මක කරන එකක්. මේ සම්බන්ධව සියලු අංශ වෙත චක්‍රලේඛයක් මඟින් දැනුම්දී තිබෙනවා. පාරට තාර දානවට වඩා ජීවත් වන පුද්ගලයින් වෙනුවෙන් යුතුකම් ඉටු විය යුතුයි.

නියඟය සහ ගංවතුර සමඟ ඇතිවූ අලාභය මකා ගැනීමටත් දේශීය වෙළඳපොළට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගැනීමටත් විදේශ ආහාර හිඟවීම නිසා මිල ඉහළ යාම වළක්වා ගැනීමටත් අප සාමූහිකව ඒකරාශී විය යුතුයි.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගිවී මා නැවත උදේ පැමිණි ගමන් කතා කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාටයි. ඒ දේශීය ගොවීන්ගේ රතුලූනු වෙළඳපොළට එහිදි අඩු මිලට පිටරටින් ගෙන්වූ රතුලූනු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටත් පැමිණ ඇති බව පත්තරවල දුටු නිසයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පිටරටින් ගෙන්වන රට ලූනුවලට සියයට සියයක බදු අය කරන ලෙස මා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට නියම කළා. මේ තීරණයට කැමැති අය වගේම අකමැති අයත් ඇති. ඒත් කවුරු අකමැති වුවත් අපි දේශීය ගොවියා ආරක්ෂා කළ යුතුයි. විදේශීය වෙළඳපොලෙන් ගෙන්වන ආහාර ප්‍රතික්ෂේප කර දේශීය ගොවියාට තැන දිය යුතුයි.

කෘෂිකර්මයට අවශ්‍ය මූල්‍ය පහසුකම් තාක්ෂණය මෙන්ම අස්වනු නෙළන කාලයේදී වෙළෙඳපොළ සකස් කර දීම ද කළ යුතු වෙනවා. දේශීය ගොවියාගේ අතිරේක නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට යැවීමටද එවිට හැකි වෙනවා.

වසර දහස් ගණනක ඉතිහාසය තුළ අප සතුටු වන්නේ අපේ ආහාර අපම වගා කර ගැනීමෙනුයි. අපේ ආහාර අපේ භූමිය හා අපේ සංස්කෘතිය අප රැක ගත යුතු යි. සති කීපයකට පෙර ණය ගෙවා ගන්න බැරුව රට ලූණු ගොවියකු දිවි නසා ගත්තා. ‍මෙම තත්ත්වය වළක්වා ගන්න නිලධාරීන්ට හැකියාව තිබුණා. ඔහුට සමීපව කටයුතු කළා නම් ඔහුගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නට නිලධාරීන්ට හැකියාව තිබුනා. එහෙත් කනගාටුවට කරුණ වන්නේ එසේ නොවීමයි. කෘෂිකර්මයට අවශ්‍ය විද්‍යාත්මක දැනුම නිලධාරීන් ලබාදේවි. ඒත් රට වශයෙන් ගත් කළ සෑම ඉඩමක්ම වගා කිරීම කළ යුතු වෙනවා. වගා නොකරන ඉඩම් වගා කරන කෙනෙකුට දෙනවා. ඒ අනුව සෑම ඉඩමක්ම වගා කිරීමට අනිවාර්ය කරුණක් බවට පත් වෙනවා. මනුෂ්‍යයින් විදියට කුසගින්න සහ දරිද්‍රතාවය ගැන අප සිතිය යුතුයි.

ඕනෑම ‍ක්ෂේත්‍රයකට පුහුණුව නැතිකම ප්‍රශ්නයක්. එසේ නම් පුහුණු කටයුතු විධිමත් කර ගන්නේ කොහොමද කියල කල්පනා කළ යුතුයි.

පුහුණුවූ නිලධාරියකු වෙන තැනකට ගියා කමක් නැහැ. ඔහු එතැන ඒ වැඩේ හරියට කරාවි. ඒත් ඊට වඩා භයානක කරුණ වනුයේ පුහුණු නොවූ නිලධාරීන් හා කාර්ය මණ්ඩල ආයතනයක සිටීමයි.

ජපානය තම රටේ ජාතික ආදායමෙන් 25% ක් පුද්ගලයන් පුහුණු කිරීම සඳහා වැය කරනවා. අපේ රටවල ඒ තත්ත්වය අවමයි. සමහර වසරවල පුහුණු හා පර්යේෂණ යන අංශවලට මුදල් වෙන් නොකළ අවස්ථා තිබුණා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා-අළුත් තාක්ෂණය සමඟ‍ ලෝකය ඉදිරියට ගොස් සිටියත් දේශීය වශයෙන් අප පසුබෑමකට ලක්වී සිටිනවා. මෙම ආහාර නිෂ්පාදන තිරසාර වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා සියලු පළාත් සභාවලට පුළුල් වගකීමක් පැවරෙනවා. අද ‍මෙම ස්ථානය එකම කෘෂිකර්ම ගම්මානයක් බවට පත්වී තිබෙනවා. බස්නාහිර පළාතට සල්ලි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය කරුණු සඳහා ඕන තරම් මුදල් වෙන් කරන්න පුළුවන්.

ජනාධිපතිතුමා දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ගත් උත්සාහය අප අගය කරනවා. එතුමාට කෘෂිකර්මය අමුතු දෙයක් නොවෙයි. එදා දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කළා නම් අප අද අනුන් මත යැපෙන ජාතියක් නොවෙයි.

ජනාධිපතිතුමාගේ මේ සඳහා ආශාව සහ කැපවීම මොනතරම්ද කියා අප දන්නවා.

එදා මානව හිමිකම් රැස්වීමකට සහභාගිවනවිට කකුල් දෙක ගැහෙනවා. ඒත් අද එහෙම දෙයක් නැහැ. මානව හිමිකම් කවුන්සිලය අප රට ගැන අද කතා කරන්නේ නැහැ.

අපේ ජනාධිපතිතුමාට බොඩි බිල්ඩර් කෙනෙකුට වගේ ඇඟවත් රැවුලවත් නැහැ. ඒත් කිසිම රාජ්‍ය නායකයෙකුට දිනා ගැනීමට බැරිවූ ජයග්‍රහණ එතුමා දිනාගෙන තිබෙනවා.

අද රටේ කිසිම සිංහල, දෙමළ හෝ මුස්ලිම් මවකගේ දරුවෙකු මැරෙන්නේ නැහැ. ලෝක නායකයන්ගෙ විශ්වාසය දිනාගත් නායකයා වන්නේ වත්මන් ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතායි.

අද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන තුළ ප්‍රධාන පෙළේ ‍රෝහල් 3ක් හැදීමට සැලසුම් කර තිබෙනවා. විසඳීමට බැරිව තිබූ කැළි කසළ ප්‍රශ්නය විසඳීමට කටයුතු කර තිබෙනවා. රට නියම අරමුණු කරා ගෙන යාමට බස්නාහිර පළාත ලෙස අප සහාය දෙනවා.

බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමැති ගාමිණී තිලකසිරි මහතා

අද මගේ ජීවිතයේ ඉතාම සතුටු දවසක්. අපේ සියලු නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සමඟ ගත් උත්සාහය මල් ඵල ගැන්වීමේ දවසක්.

අපේ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීම අමතා කළ කතාව සියලු ශ්‍රී ලාංකිකයින්ගේ පැසසුමට ලක් වුණා. ජනාධිපතිතුමා කෘෂිකර්මය පිළිබඳ දක්වන කැපවීම අප අගය කරනවා.

ජනාධිපතිතුමා පුරප්පාඩු වෙච්ච ඇමැති ධූරය මට භාර කරල දවල්ට ඇවිත් දිවුරුම් දෙන්න කිව්වා. එහෙම යුගයක් කලින් තිබුණේ නැහැ. මට භාර දුන් කටයුත්ත මම ඉතා හොඳින් කළා කියල මම හිතනවා. මගේ උපදේශක සභාව ඇතුළු සියලු ‍දෙනා මට සහාය ‍දෙනවා.

ජනාධිපතිතුමා වගේම මමත් කුඩා කළ සිටම කුඹුරු වැඩ කළ කෙනෙක්. කුඹුරු කොටල අම්බරුවො එක්ක වැඩ කරල හැතැප්ම ගණන් අස්වනු ඇදල තියෙනවා.

අද රටේ කෘෂිකර්මය සඳහා වැඩි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අද ප්‍රධාන මාතෘකාව කෘෂිකර්මයයි.

පසුගිය නියං සමයේ අමු මිරිස් කිලෝව රුපියල් 1200/-ට ගිය කෙනෙකුට ගෙදර මිරිස් පැළ දෙකක් හිටුවා ගන්න බැරිද කියල අපට හිතෙනවා.

එදා කොස් ටික ගන්න මිනිස්සු පෝලිමේ ගියා. බස්නාහිර පළාත තුළ කොස් පැළ ලක්ෂ 5ක් සිටුවීමට මා තීරණය කළේ ඒක දැකලයි.

එදා ජනාධිපතිතුමා ‘අපි වවමු රට නගමු’ ආහාර ප්‍රශ්නයට විසඳුමක් දෙන්නයි. මීළඟ මහා වගා සංග්‍රාමය ඔක්තෝබර් මස 06 වනදා ආරම්භ වනවා. එය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය ලබා දිය යුතුයි.

පසුගිය කාලය තුළ වාරිමාර්ග අංශවල උදැල්ලක්වත් තිබුණේ නැහැ. මා ඊට ලක්ෂ 10ක් වෙන් කළා. රුපියල් මිලියන 33ක් වැය කර දිස්ත්‍රික්ක තුනේ ඇළවල් ශුද්ධ කිරීම සඳහා එක්ස්කැවේටර් යන්ත්‍ර තුනක් මිලට ගත්තා.

නිලධාරීන් වැඩ නොකරනවා කියා මා නම් පිළිගන්නේ නැහැ. අපි අඩියක් ඉදිරියට තබන විට අපේ නිලධාරීන් අඩි තුන හතරක් ඉදිරියට යනවා.

අප පළාත තුළ පුරන් කුඹුරු හෙක්ටයාර් 13200ක් තිබෙනවා. ඉන් විශාල ප්‍රමාණයක් අස්වැද්දීමට මා බලාපොරොත්තු වෙනවා. මේ යටතේ ඔක්තෝබර් මස 0 8 වනදා හෝමාගම ප්‍රදේශයේ පුරන් කුඹුරු අක්කර 30ක් අස්වද්දනවා.

වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති මහින්ද සමරසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. යෝගේශ්වරම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති සුමිත්ලාල් මෙන්ඩිස්, බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ, බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමැති ලලිත් වනිගරත්න, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, සභානායක හෙක්ටර් බෙත්මගේ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන පූජ්‍ය නාඹුවන පියනන්ද හිමි, කිත්සිරි කහටපිටිය හා ජගත් විතාන යන මහත්වරුන් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීහු හා විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
උදේශ් ගුණරත්න

කළුතර මධ්‍යම සමූහ හා කළුතර විශේෂ 

නව අදහස දක්වන්න