පඩි කොළේ හොරට හදා ණය ගන්න ගිය 2ක් කොටු | දිනමිණ

පඩි කොළේ හොරට හදා ණය ගන්න ගිය 2ක් කොටු

අනුරාධපුර මධ්‍යම විශේෂ

රාජ්‍ය බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීම සදහා කූඨ ලේඛණ සකසා ඉදිරිපත් කළ තිරප්පනය හා කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරින් දෙදෙනෙකු මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂන දනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිරප්පනය හා කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිළධාරින් වශයෙන් සේවයේ නියුතු හිදෝගම හා මරදන්කඩවල ලිපිනයන්හි පදිංචි ග්‍රාම නිළධාරින් දෙදෙනෙකි.

අනුරාධපුර නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ණය අංශයේ කළමණාකාරුවෙකු විසින් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට කූට ලේඛන සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් මත සිදුකළ පරික්ෂණ වලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

සැකකරුවන් රාජ්‍ය බැංකුවෙන් සහන පොලී පදනමට ලබාදෙන ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය සියයට හතලිහක වැටුප් ප්‍රතිශතය නොමැතිවීම නිසා ව්‍යාජ වැටුප් ලේඛණ සකසා ප්‍රාදේශිය ලේකම්වරයාගේ නිළ අත්සනට සමාන ව්‍යාජ අත්සන යොදා ව්‍යාජ නිළ මුද්‍රතබා බැංකුවට ඉදිරිපත්කර තිබූබව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

රාජ්‍ය බැංකුවට සැකකරුවන් ඉදිරිපත් කළ කූට ලේඛන සියල්ල පොලිස් බාරයට ගෙන තිබෙන බවත් කූට ලේඛන සකසා ණය ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර ග්‍රාම නිලධාරිවරයෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලිසිය අධිකරණයට දැන්වූයේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සරත් ආනන්ද මහතාගේ උපදෙස්මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

නව අදහස දක්වන්න