ආත්මය පවා නොදෙන උගත් අයෙක් තමන්ගේ නියෝජිතයා කර ගන්න | දිනමිණ

ආත්මය පවා නොදෙන උගත් අයෙක් තමන්ගේ නියෝජිතයා කර ගන්න

සමන්මලී ප්‍රියශාන්ති

රුපියල් සත වෙනුවෙන් ආත්මය පවා නොදෙන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් තමන්ගේ කොට්ඨාසයේ නියෝජිතයා වශයෙන් පත් කර ගන්නට මෙවර මැතිවරණයේ දී කල්පනාකාරී වන්නැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ රත්මලානේ දී පැවැති උත්සවයක් අමතමිනි. රත්මලාන විහාර කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස මිල්ටන් ගමගේ මහතා වෙත අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම සඳහා මෙම උත්සවය පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේද කීවේය.

එළඹෙන පළාත් පාලන ඡන්දයේ දී ඔබේ කොට්ඨාසය වෙනුවෙන් පත් කර ගන්නා නියෝජිතයා පගා නොගන්නා කෙනෙක් කර ගන්න. රුපියල් සත වෙනුවෙන් ආත්මය පාවා නොදෙන පුද්ගලයෙක් පත් කර ගන්න. කුණු වෙච්ච, පල් වෙච්ච පගාකරුවන් පත් කර ගන්නවා ද උගත් බුද්ධිමත් සමාජ සේවකයෙක් උගත් බුද්ධිමත් මනුෂ්‍යයෙක් පත් කර ගන්නවා ද කියන එක ඔබ අතේ තිබෙන්නේ. මෙවර ඔබේ කෙනෙක් ඔබේ ඡන්දයෙන් පත් කර ගන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයට සැබෑවට ම ආදරේ මිනිස්සුන්ට ආදරේ මනුස්සකම් හඳුනන කෙනෙක් නගර සභාවට යවන එක ඔබේ වගකීමක් සහ ඔබේ දරුවන්ට, ප්‍රදේශයට වගේ ම රටටත් කරන යුතුකමක් සහ වගකීමක්.

එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පැවසූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ගලන ගඟක්. මේ ගඟ මොන තාප්ප, වේලි, ගල් පවුරු තිබුණත් මොන මොන බාධක ආවත් ඒ සියල්ල කඩාගෙන බිඳගෙන ඉදිරියට ම යනවා.

මේ ශ්‍රීලනිප ගඟේ අවසානය තිබෙන්නේ මුහුදේ ම බව මතක තබා ගන්න. කොච්චර කඩන්න, බිඳින්න හැදුවත් ඒකෙන් වැඩක් නම් වෙන්නේ නැහැ. ස්ථිරව ම ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන තැනින් තමයි අපි නතර වෙන්නේ. සමහරු කියනවා අපිට ඇහිලා තියනවා, අතිගරු ජනාධිපතිතුමා කෙලින් තීරණ ගන්නේ නැහැ කියලා. එතුමාට කොන්දක් නැහැ කියලා. මතක තියා ගන්න එතුමාගේ නිහතමානීකම, අහිංසක බව එතුමාගේ දුර්වලතාවක් කියලා හිතන් ඉන්න අයට දැනෙන තීන්දු තීරණ කීයක් එතුමා ගත්තද ගන්න ඉන්නව ද කියන එක. එතුමා ප්‍රධාන පක්ෂ දෙක එකට තියාගෙන අපිට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් ආපු තර්ජනවලට, විදෙස් රටවලින් ආපු ගර්ජනවලට අභීතව මුහුණ දුන්නා. දැන් ඒ ගැටලුව ඉතා සාමකාමීව සහ සාර්ථකව විසඳමින් යනවා. එතුමා ඒ ඒ රටවලට ගොස් ඉතා නිර්භීත ලෙස එම නායකයන් සමඟ සුහදව කතා කරලා සත්‍ය පැහැදිලි කරලා දුන්නා. එතුමාට ජාත්‍යන්තරයේ තිබුණු පිළිගැනීම කොහොම ද කියලා ඔබට මාධ්‍ය ඔස්සේ දැකගන්නට පුළුවන් වෙන්න ඇති.

අතිගරු ජනාධිපතිතුමා විනයක් ඇතිව රට කරගෙන යනවා. විනයක් තිබෙන තැන දූෂණයට, වංචාවට අවස්ථාවක් නැහැ. මතක තබා ගන්න ඔබ මේ පත් කරන්නට යන නායකයන් මත තමයි රටේ අනාගතය ලියැවෙන්නේ. ඉන් අදහස් කරන්නේ රටේ අනාගතය ලියන්නට පුළුවන් වන්නේ ඔබටම යි කියන එකයි. ඔබට අද ජොලි කරලා හෙට දුක් විඳින්න වෙන රටක් නෙමෙයි අද ඉවසීමෙන් ඉඳලා හෙට සුන්දර රටක් නිර්මාණය කරන්නට සංවර්ධිත රටක් නිර්මාණය කරන්නට ඒ වගේ ම ඔබේ දුවා දරුවන්ට සංවර්ධිත ශ්‍රී ලංකාවක් උරුම කර දෙන්නට හැකි වටපිටාවක් අද නිර්මාණය වෙලා තිබෙනවා. හිටපු ජනාධිපතිතුමා වටේ අද ඉන්න බොහෝ දෙනා වගේ ම එතුමා වෙනුවෙන් මේ ප්‍රදේශවල මහ උජාරුවෙන් කයිවාරු ගහන බොහෝ දෙනා එදා එතුමාගේ ඡන්දය වෙලාවේ ඡන්ද පත්‍රිකාවක් බෙදන්න ආවේ නැහැ. කතාකළා ම කිවුවේ ‘ඒ යකා මොනවද අපිට කරලා තියෙන්නේ’ කියල යි. මේවා මට අද වගේ හොඳට මතකයි. අපි එතුමාට තවමත් ආදරෙයි. එතුමා රට වෙනුවෙන් කළ දේ අමතක කරන්නෙත් නැහැ. නමුත් අපි පක්ෂයක් විදියට ගත්ත තීරණත් එක්ක පක්ෂයේ සභාපතිතුමාත් එක්ක හිටගෙන ඉන්නවා. අපි පක්ෂයට ආදරේ නිසා. ඒ නිසා බොරුවට හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් කිඹුල් කඳුලු හෙළන අයගෙන් බේරෙන්න උත්සාහ කරන්න. පක්ෂය දිනවන්න, පක්ෂය වෙනුවෙන් වගේ ම ඔබේ ගම වෙනුවෙන් සේවයක් කළ හැකි අයෙක් කොට්ඨාසයේ නියෝජිතයා වශයෙන් පත් කර ගන්න. යනුවෙන් ද පැවසී ය.

නව අදහස දක්වන්න