ගොවි සංවිධානවලට මිලියන 5 දක්වා කොන්ත්‍රාත් | දිනමිණ

ගොවි සංවිධානවලට මිලියන 5 දක්වා කොන්ත්‍රාත්

සුභාෂීණී සේනානායක

රුපියල් මිලියන 5 ක් දක්වා වටිනාකමින් යුතු කොන්ත‍්‍රාත් ගොවි සංවිධාන වෙත ලබා දීමට වාරිමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය කි‍්‍රයාත්මක කිරීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව අනුමැතිය ලබා දී තිබේ.

වාරිමාර්ග අලූත්වැඩියා කිරීම, සුළු ඇළ මාර්ග සම්බන්ධ සේවා ප‍්‍රවර්ධනය කිරීම ඇතුළු කාරණා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පැවරෙන ප‍්‍රමුඛ වගකීමක් වන අතර එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේදී මහත් බාධාවක් වී තිබු ගොවි සංවිධාන වෙත ලබා දෙන කොන්ත‍්‍රාත්වල වටිනාකම රුපියල් මිලියන 2 ට පමණක් සීමා කර තිබීම බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටි.

මෙම තත්ත්වය තුළ රුපියල් මිලියන 2 ට වැඩි වටිනාකමකින් යුතු කොන්ත‍්‍රාත් විවිධ සමාගම් හා කොන්ත‍්‍රාත්කරුවන් යටතේ සිදු කිරීම මෙතෙක් පැවැති සම්ප‍්‍රදාය වන බව පවසන ඇමැතිවරයා මේ තත්ත්වය තුළ විවිධ ගැටලු ඇති වී තිබු බවත් කියා සිටි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමැතිවරයා මෙසේ කියා සිටියේය.

ඉදිකිරීම් නිසි පරිදි සිදු නොකිරීම හා ඒවායේ කල් පැවැත්ම පිළිබඳ ගැටලු මතු වීම ඒ අතරින් ප‍්‍රධානයි. එමෙන්ම කලට වේලාවට වැඩ නිම නොකිරීමේ තත්ත්වයන්ද නිර්න්තරයෙන් වාර්තා වෙයි. සුළු වාරිමාර්ග සම්බන්ධ ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන් යටතේ සිදු කිරීමේදී ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ පවතින බරපතළ ගැටලු පිළිබඳ නිරන්තරයෙන් ගොවි ජනතාවගෙන් පැමිණිලි ඉදිරිපත්වීම ද නිරීක්‍ෂණය වූ අතර ලැබෙන සමස්ත මුදල ව්‍යාපෘතිය සඳහාම වැය කරමින් හා ලාභ ලැබීමකින් තොරව ව්‍යාපෘති නිම කිරීමට ගොවි සංවිධාන සමත් වී තිබීමත් තම වාරිමාර්ග පිළිබඳ පවතින මනා දැනුවත්භාවය උපයෝගී කර ගනිමින් ගොවි සංවිධාන අදාල ව්‍යාපෘති වඩාත් ගුණාත්මකභාවයෙන් යුතුව නිම කිරීමට සමත් වී තිබිමත් මෙම තීරණයට හේතු විය 

නව අදහස දක්වන්න