වේග පන්දු යවන්නන් හෙලූ දහදිය පිතිකරුවෝ කඳුළු බවට පෙරළති | දිනමිණ

වේග පන්දු යවන්නන් හෙලූ දහදිය පිතිකරුවෝ කඳුළු බවට පෙරළති

 ශ්‍රී ලකාව හා පාකිස්තානය අතර තරග දෙවැනි දිවා - රාත්‍රි එක්දින තරගයෙන් පාකිස්තානයට ලකුණු 32ක ජයක් හිමි වෙයි. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටී.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9කට ලබාගත් ලකුණු 219ට පිලිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර් 47.5 කදී ලකුණු 187කට සියලු දෙනා දැවී ගියහ.

අබුඩාබී ෂියෙක් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේ ඊයේ ලැබූ පරාජය ශ්‍රී ලංකාව පිට පිට ලැබූ 9වැනි එක්දින තරග පරාජය ලෙස සටහන් වේ. එමෙන්ම මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිලක් වාර්තා කළ අඩුම ලකුණු ගණන ද මෙය විය.

කලකට පසුව ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගෙන් පාකිස්තාන පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල වුවද ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් පරාජය වැළද ගන්නට සිදු වුණි. සුරංග ලක්මාල් හා ළහිරු ගමගේ යන ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනාට අනගි සහයක්වූ තිසර පෙරේරා එක්ව පාකිස්තාන පිලේ කඩුලු 9න් 7ක්ම බිදහෙලා පාකිස්තාන පිල මෑතකදී අඩුම ලකුණු ගණනකට සීමා කිරීමට සමත් වුවද එහි ප්‍රතිඵල නෙලා ගැනීමට තරංගගේ කණ්ඩායමට නොහැකි විය.

තරංග පන්දු 144කදී හතරේ පහර 14ක් සමග නොදැවී ලකුණු 112ක් ලැබුවද, ලකුණු 14දී හා 20දී ලබාදුන් උඩ පන්දු දෙකක් පාකිස්තානුවන් අතින් ගිලිහුණි. කණ්ඩායම පරාජය වුවද, තරංග සෙමින් සෙමින් තම 15වැනි එක්දින ශතකය පසු කළේය. අටවැනි කඩුල්ල ට තරංග හා වැන්ඩර්සි ලකුණු 76ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටියදී වැන්ඩර්සි ලකුණු 22කට දැවී ගියේය. 9වැනි හා 10වැනි කඩුලු ලෙස ලක්මාල් ලකුණු 1කට හා ළහිරු ගමගේ ලකුණු 2කට දුවද්දී දැවී ගියහ.

ජයග්‍රහණය හඹා ගිය ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 10දී බිද වැටුණු අතර ජුනයිඩ් ඛාන්ගේ පන්දුවකට ස්විප් පහරක් එල්ල කිරීමට ගොස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දික්වැල්ල ලකුණු 3කට දැවී ගියේය. දිගින් දිගටම අසාර්ථකවූ කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී ද, හසන් අලීගේ කෙටි පන්දුවකට ‘හුක්‘ පහරක් අපරික්ෂාකාරීව එල්ල කොට ‘ඩීප් ස්කවයාර් ලෙග්‘ හී සිටි ෂේෂාඩ් අතට උඩපන්දුවක්දී ලකුණු 10දී ක්‍රීඩාගාරයට පිය මැන්නේය. සිවුවැනි කඩුල්ලට ලකුණු 40ක සම්බන්ධතාවක් තරංග - තිරිමාන්න යුගලය ගොඩනගමින් සිටියදී තිරිමාන්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ෂොහිබ් මලික් සමත්වූයෙන් ඔහුගේ ඉනිම ලකුණු 12කට සීමා විය.

ටෙස්ට් තරගාවලියේදී දස්කම් දැක්වුවද දිනේෂ් චන්දිමාල් එක්දින පිටියේදී යළිත් වරක් අසාර්ථක වෙමින් ෂඩාබ් ඛාන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල් වැදීමෙන් ලකුණු 2කට දැවී ගියේය. පන්දු 4කට මුහුණ දුන් මිලින්ද සිරිවර්ධන ආ සැණින්ම ක්‍රීඩාගාරයට ගියේ සහඩබ්ගේ පන්දුවකට පළමු ‘ස්ලිප්‘ හී සිටි බාබර් අසාම් අතට පහසු උඩ පන්දුවක් දීමෙනි. එවැනි අපරීක්ෂාකාරී පහරක් වෘත්තීමය ක්‍රීඩකයෙකුගෙන් අපේක්ෂා කළ නොහැක. එවැනිම ආකාරනේ මොහොමඩ් හෆීස්ගේ පන්දුවකට තිසර පෙරේරා දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 92කට කඩුලු 6ක් විය.

පළමු තරගයේදී ශතකයක් වාර්තා කළ බාබර් අසාම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පිට පිට රැස්කළ 5වැනි ශතකය වාර්තා කළ අතර එය ඔහුගේ 7වැනි එක්දින ශතකයද විය. ලකුණු 101කදී කඩුලු 6ක් බිද වැටී ඇති අවස්ථාවක බාබර් අසාම් හා ෂාඩබ් ඛාන් 7වැනි කඩුල්ලට ලකුණු 109ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන ඉනිමට ජීවයක් ගෙන දුන්හ. බාබර් පන්දු 133කදී හතරේ පහර 6ක් සමග ලකුණු 101ක් හා ෂාඩබ් ඛාන් පන්දු 68කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 52ක් වාර්තා කළහ. 19 හැවිරිදි ෂාඩබ්ගේ මංගල එක්දින අර්ධ ශතකය ලෙස එය ඉතිහාසයට එක් විය.

වේග පන්දු යවන්නන්ට හිතකර තණතිල්ලේ මුල්ම කඩුල්ල දවා ගැනීමට ළහිරු ගමගේ සමත් විය. ගමගේ එවූ පන්දුවකට ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරක් එල්ල කිරීමට යෑමේදී පිත්තේ පිටත අග්‍රයේ වැදී ‘ස්ලීප්‘ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක්දී ෆකාර් සාමන් ලකුණු 11කට දැවී ගියේය.

පාකිස්තාන දෙවැනි කඩුල්ල ලකුණු 27ක් වෙද්දී දැවී ගිය අතර ආරම්භක පිතිකරු අහමඩ් ෂේෂාඩ්, සුරංග ලක්මාල්ගේ ගොදුරක් බවට පත්විය. ලක්මාල් පිට ඉන්නට පිටින් එවූ පන්දුවකට දුර්වල ‘ඩ්‍රයිව්‘ පහරකින් ‘බැක්වඩ් පොයින්ට්‘ හී සිටි මිලින්ද සිරිවර්ධන අතට පහසු උඩ පන්දුවක්දී ෂේෂාඩ් ලකුණු 8කට දැවී ගියේය. තෙවැනි කඩුල්ලට මොහොමඩ් හෆීස් ලකුණු 8කට දැවී ගියේ ළහිරු ගමගේ පිට ඉන්නෙන් පිටත පතිත කළ පන්දුවකට ආරක්ෂාකාරී පහරක් එල්ල කිරීමට යෑමේදී පිත්තේ වැදී කඩුලු රකින ක්‍රීඩක දික්වැල්ල අතට උඩ පන්දුවක් දීමෙනි.

සිවුවැනි හා පස්වැනි කඩුලු දෙකම තිසර පෙරේරා වේගය අඩාල කරමින් එවූ පන්දු හමුවේ ෂෙහීබ් මලික් හා සෆ්රාස් අහමඩ් පිලිවෙලින් ලකුණු 11කට හා ලකුණු 5කට දැවී යෑම පාකිස්තාන ලකුණු වේගය අඩාලවීමට ප්‍රධාන හේතු විය. වැන්ඩර්සීගේ පන්දුවක් ඉමාඩ් වසීම්ගේ පා ආවරණ වල වැදී ගියද එය කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමක් නොවන බව පාකිස්තාන ජාතික විනිසුරු ෂොහිබ් රාසා තීරණය කළේය. එහෙත් රූපවාහිනී පුනරූපන වලින් එය දැවී යෑමක් ලෙස තහවුරු වීමෙන් ඉමාඩ් ලකුණු 10කදී පිටියෙන් ඉවත් විය. පාකිස්තාන ඉනිමේ 8වැනි හා 9වැනි කඩුලු දෙක ලකුණු 8ක් තුල බිද වැටුණි.

ශ්‍රී ලංකා - පාකිස්තාන තෙවැනි දිවා රාත්‍රී එක්දින තරගය අබුඩාබි පිටියේදී හෙට (18) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වේ.

ප්‍රින්ස් ගුණසේකර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට...

නව අදහස දක්වන්න