පොත් පිටු අතර මේ කොළ මුල් අල්ලයි බඩජාරි කෑමෙන් හැදෙනා ගල් දිය කරවයි | දිනමිණ

පොත් පිටු අතර මේ කොළ මුල් අල්ලයි බඩජාරි කෑමෙන් හැදෙනා ගල් දිය කරවයි

එක් වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහයකට අනුව බලන කල, වත්මන් මානවයාට වැළඳෙන රෝග දෙයාකාරයකි. ඒ, බෝ වන රෝග හා බෝ නොවන රෝගය. මැලේරියාව, ඩෙංගු, මී උණ, වසූරිය, සරම්ප, පාචනය, කොලරාව හා ඇස් රුදාව වැනි රෝග බෝ වන රෝග අතර ලා දක්වනු ලැබ ඇත. රුධිර පීඩනය වැඩිකම හෝ අඩුකම, දියවැඩියාව, පිළිකා, වකුගඩු දියවීම, අක්මාවේ හො මුත්‍රාශයේ හෝ ගල් හටගැනීම හා තරබාරුකම වැනි රෝග බෝ නොවන වර්ගයේ ඒවා වෙයි.

බෝ වන රෝග පැතිරෙන්නේ මැසි-මදුරුවන්, මීයන්, ඇතැම් වෙනත් සතුන්, ජලය හා වාතය ආශ්‍රිතව බෝ වන හා වැඩෙන දිලීර-බැක්ටීරියා-වයිරස් මගින් බවත් බෝ නොවන රෝග හටගන්නේ දහසකුත් එකක් වෙනත් තත්ත්වයන් යටතේ බවත් වෛද්‍ය විද්‍යාඥයෝ කියති.

ඉහත කී දහසකුත්-එකක් තත්ත්වයන් අතර නොහොබිනා ආහාර-පානත් (ඔබින හෝ නොහොබිනා) පාරිභෝජනය කිරීමේ නොහොබිනා රටාත් වෙයි.

ඒ බව අවධාරණය කරමින්, ඒ කෙරෙහි ජනයාගේ අවධානය යොමුකරවීමටත් එමගින් මෙරට සෞඛ්‍යය තත්ත්වය රැකගැනීමට මෙන් ම වැඩිදියුණු කරලීමටත් ඉකුත් කාලයක් මුළුල්ලේ මෙරට රජය මහා කාර්යභාරයක් ඉටු කර ඇත. ඉදිරි කාලයේ දී ඉටු කරනුත් ඇත.

එහි දී රජයට ආධාර-උපකාර කරන ආයතන අතර තිබෙන ඌව පළාත් ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන සුව දිවියට හෙළ ඔසු ව්‍යාපෘතිය යටතේ මෙහෙයැවනු ලැබූ ප්‍රජාව දැනුවත් කරලීමේ ප්‍රායෝගික පුහුණුවකට යොමු වූ ජනයාට අපූරු කොළ වර්ගයක් ගැන තොරතුරු ඉදිරිපත් කරනු ලැබුණි. ඡායාරූපයේ දැක්වෙන්නේ එම කොළ වර්ගයත් ඒ ගැන කතා බහ කළ ඌව පළාත් සහකාර ආයුර්වේද කොමසාරිස් ශ්‍රියා කරුණාරත්න, ආයුර්වේද වෛද්‍ය ඩී. කේ. මල්වැන්න, ඩබ්ලිව්. කාන්ති රොඩ්රිගෝ හා ඊ. ඒ. දයාසීලි යන මහත්මීහුයි.

අද මෙන්, බොහෝ ක්‍රියාකාරකම් කිරීමට අණ නොලැබූ එකල ගැමි පාසල් දරු දැරියන් ඔවුන්ගේ කුතුහලය හේතුවෙනුත් විනෝදය තකාත් මේ කොළ වර්ගය තම තමන් ගේ පොතක පිටු අතරේ රුවා ගෙන ඉඳ ටික දිනකින් බැලූ විට ඒවා දාරයේ මුල් මතු වී තිබෙනවා දැක් මහත් පුදුමයට පත් වූහ.

ඒ කාර්යය වෙනුවෙන් පමණක් ගත හැකි දෙයක් හැටියට එකල සාමාන්‍ය ජනයා හඳුනා ගනු ලැබු තිබූ මෙම කොළ ඉහත කී පුහුණුවට ඇති තරමට රැගෙන විත් උන් කොමසාරිස්වරියත් වෛද්‍යවරියනුත් ඒවායින් ඉතා රසවත් සම්බෝලයක් පිළයෙළ කර පෙන්වූහ. ගොටු කොළ, මුකුණුවැන්න හෝ එවැනි වෙනත් කොළ වර්ගයකින් පිළියෙළ කර ගනු ලබන සම්බෝලයක් වෙනුවෙන් උපයෝගී කර ගැනෙන උම්බලකඩ, රතු ලූනු (හෝ රට ලූනු), ලුණු හා දෙහි ආදිය මෙම කොළ සම්බෝලය පිළියෙළ කර ගැනීමටත් යොදා ගනු ලැබුණි.

මෙකී අමු (තෙලේ නොමැලවූ) සම්බෝලය නිරතුරුව අනුභව කර සෞඛ්‍යය රැක ගන්නැයි එය පිළියෙළ කරන අයුරු බලා උන් ජනයාගෙන් ඉල්ලූ එම නිලධාරිනියෝ එය වකුගඩුවල හා මුත්‍රාශයේ හටගන්නා ගල් දියකර හරින ඖෂධයක් බව කීහ.

ආයුරුවේදයේ කියැවෙන පරිදි, ගල් දියකර හැරීමේ හැකියාව ඇති පදාර්ථයක් අඩංගු කොළ හැදෙන අක්කාපාන පැළ බහුලව දැකිය හැකි වන්නේත් ගල්-පර්වත ආශ්‍රිතවයි. තවත් දෙයක්....! බඩේ ගල් තියෙන බව කියන අය කළ යුතු හොඳ ම වැඩේ, 057-49 33 858ට (බැරි නම්) 071-640 18 67ට කතා කර ලෙඩේ ගැන කීම යි.

මහවැලි කලාපීය නවරත්න බණ්ඩාර

නව අදහස දක්වන්න