පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා පමණක් නොව ජීවන තත්ත්වයත් උසස් කරනවා | දිනමිණ

පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා පමණක් නොව ජීවන තත්ත්වයත් උසස් කරනවා

උපාලි කරුණාරත්න

වැඩ සටහන් ගණනාවක් ඔස්සේ රජය ජනතාවට නිවාස ලබා දෙනවා. නිවාස අමාත්‍යාංශයෙන් ග්‍රාමිය නිවාස ඉදිකරනවා. මධ්‍යම පංතියේ අයටත් නිවාස ඉදිකරනවා. උතුරේ නිවාස නැතිවූ අයට නිවාස ඉදිකරනවා.

පැල්පත් වාසීන්ගේගේ ගැටලු විසඳන්න රජයට තිරසර වැඩ පිළිවෙළක් තිබෙනවා වගේම බේරේ වැව අවට ප්‍රදේශය අනාගත දූ දරුවන්ගේ ප්‍රධාන රැකියා මධ්‍යස්ථානයයි
- ඇමැති පාඨලී චම්පික රණවක

නාගරික පැල්පත්වාසි ජනතාවට නව නිවාස ලබා දීමට පමණක් නොව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටද වත්මන් රජය කැපැවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මොන තරම් ණය කන්දරාවක් විදේශ රටවලට ගෙවීමට තිබුණත් රටේ සංවර්ධන වැඩ කටයුතුද හැකි උපරිමයෙන් පවත්වාගෙන යෑමට රජය ක්‍රයා කරන බව ද රුපියල් කෝටි ලක්ෂ තුනකට වඩා විශාල ණය ප්‍රමාණයක් ඉදිරි වර්ෂ දෙක තුළ ශ්‍රී ලංකාව විසින් විදේශවල ගෙවීමට ඇති බව ද කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවාස නොමැති නාගරික මෙන්ම පිටිසරබද ජනතාවට නිවාස ලබාදීම සඳහා වැඩ සටහන් ගණනාවක් රජය ක්‍රියාත්මක කර තිබෙන බව ද කීය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා (30) නිවාස ඒකක 218කින් සමන්විත කොළඹ, මාදම්පිටිය, හේනමුල්ල ඉදිකරන ලද ‘මෙත්සඳ සෙවණ‘ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ඉදිකරන ලද නිවාස මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයටද ලක්විය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා:

මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිවීම සඳහා වොක්ෂෝල් වීදියේ පදිංචි කරුවන් අද පැමිණ තිබෙනවා. හැබැයි මෙත්සඳ සෙවණ සහ වොක්ෂෝල් වීදිය අතර විශාල වෙනසක් තිබෙනවා. වොක්ෂෝල් වීදියේ දී මේ ජනතාව ජීවත් වුණේ බේරේ වැව අද්දර සහ බේරේ වැව තුළයි. එහි සැබෑ තත්ත්වය අප සැවොම දන්නවා. බොහෝ දෙනා ගතකළේ ඉතා කටුක ජීවිතයක්. වර්ෂාව පැවැති අවස්ථාවන්හි දී ගැටලු ඇතිවුණා. එම ජනතාව පදිංචිය සඳහා මේ වන විට උතුරු කොළඹට පැමිණ තිබෙනවා. ඔවුන්ට මෙත්සඳ සෙවණින් ස්ථිර නිවාස ලැබෙනවා. මේ සමගම එම ජනතාවගේ ජීවිතයේ වෙනසකුත් ඇතිවිය යුතුයි.

වොක්ෂෝල් වීදිය කොළඹ ව්‍යාපාරික කලාපයට ඇතුළු කළාම එම ප්‍රදේශයේ රැකියා අවස්ථා බිහිවෙනවා. කොළඹ නගරය විශාල ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන විට අවට සිටින අයටද විවිධ ආදායම් මාර්ග ඇතිකර ගත හැකියි. කොළඹ නගරය තුළ දැවැන්ත වෙනසක් ඇති කිරීමේ කටයුත්ත අප මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට බාර දී තිබෙනවා. චම්පික රණවක ඇමැතිතුමාට එම අමාත්‍යාංශය තුළින් විශාල වගකීමක් ලබා දී තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පැල්පත්වාසීන්ට තට්ටු නිවාස ඉදිකරදීම මේ වන විට අප ක්‍රියාත්මක කරනවා. ඔවුන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කරමින් තිබෙනවා. ඒ යටතේ මහ නගර සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා. එම කටයුත්ත පාඨලී ඇමැතිවරයාගේ මෙහෙයවීමෙන් සැළසුම් සහගතව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. පාඨලී චම්පික ඇමැතිවරයා ඒ සඳහා එතුමන්ගේ කාලය සම්පූර්ණයෙන් යොදවමින් ක්‍රියා කරනවා. ඇමැතිවරයා තමන්ගේ ඉංජිනේරු දැනුම නගර සංවර්ධනය සඳහා උපරිමයෙන් යොදා ගනී කියා අප බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව අපට කිසිදු සැකයක් නැහැ. රජය ක්‍රියාත්මක කරන මහ නගර සංවර්ධන වැඩ පිළිවෙල තුළින් නගරයන්හි ජීවත් වන ජනතාවගේ ජීවන මට්ටම අනිවාර්යයෙන්ම උසස් තත්ත්වයකට පත්වන බව ද අප ප්‍රකාශ කළ යුතුයි.

මේ මාසය තුළ ජනතාවට නිවාස ලබාදීමේ උත්සව ගණනාවකට මා සහභාගි වුණා. නාත්තන්ඩියේ, හැටන් ප්‍රදේශයේ ජනතාවට නිවාස ලබා දුන්නා. වත්මන් රජය වැඩ සටහන් ගණනාවක් ඔස්සේ ජනතාවට නිවාස ලබාදෙනවා. නිවාස අමාත්‍යාංශයෙන් ග්‍රාමිය නිවාස ඉදිකරනවා. මධ්‍යම පංතියේ නිවාස ඉදිකනවා. උතුරේ නිවාස නැතිවූ අයට නිවාස ඉදිකරනවා. වතුකරගේ ජනතාවට නිවාස ලබා දෙනවා. එය රජයේ ප්‍රතිපත්තියක්. ජනතාවගේ ප්‍රමුඛතම ඉල්ලීමක් වී තිබෙන්නෙ ජීවත්වීමට නිවාස සහ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදිය හැකි පසුබිමක් සලසන ලෙසයි. හොඳ පාසලක් සහ හොඳ නිවසක් ලබාදෙන ලෙස ඉල්ලීමක් තිබෙන්නෙ. ජනතාවගේ ඒ ඉල්ලීම ඉටු කිරීමට වත්මන් රජය දැඩි කැපවීමෙන් ක්‍රියා කරන බව මම ප්‍රකාශ කරනවා.

. ඊළඟ අවුරුදු තුනේදීද ජනතාවට නිවාස සැදීමට මුදල් වෙන්කරනවා. මධ්‍යම පන්තියේ අයට නිවාස මිළ දී ගැනීමට සහන ක්‍රමයකට ණය ලබා දීමටද, නිවාස ඉදිකර ගැනීමට මුදල් ලබාදීමටද අප ක්‍රියාකරනවා.ආණ්ඩුවට ලැබෙන මුදල්වලින් ප්‍රමුඛත්වයක් නිවාස සෑදීමට ලබාදෙනවා.

අප රජය භාරගත් අවස්ථාවේම ජනතාවට සහන ලබාදීමට, වැටුප් වැඩිකිරීමට ක්‍රියා කළා. එවක මුදල් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට මම ස්තුතිවන්ත වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලබා ගත් ණය ගෙවීමේ වැඩ සටහන් අප රජය පත්වූ අවස්ථාවේ සිටම ආරම්භ කළා.

ත්‍රීවීලරය පදවන පුද්ගලයාගේ සිට විශාල සමාගම්වල හිමිකරුවන් රටේ සංවර්ධනය අවශ්‍යයි. රට තුළ භාණ්ඩ සේවා නිෂ්පාදනය කරනවා වගේ අපගේ භාණ්ඩ හා සේවාවන් ලෝක වෙළඳ පොළට ගෙන යාමත් වැදගත්. රටක් දියුණු කිරීමේ දී දේශීය ආයෝජන මෙන්ම විදේශ ආයෝජනද අවශ්‍යයි. ඒ තුළින් රැකියා අවස්ථා වැඩි වැඩියෙන් නිර්මාණය වෙනවා. අපට තිබෙන අභියෝග අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. ඊළඟ අවුරුදු තුන තුළ සංවර්ධනයේ වේගය අප උපරිමයෙන් වැඩි කළ යුතුයි. ණය නොතිබුණා නම් සංවර්ධන කටයුතු තවත් වේගවත් වෙනවා. රජය ගෙන යන සංවර්ධන වැඩ සටහනට සහයෝග ලබා දෙන ලෙස ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා-

ඔක්තෝම්බර් මාසය එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නාගරික ඔක්තෝම්බරය ලෙස නම් කර 31 වෙනිදා අන්තර් ජාතික නාගරික දිනය ලෙස නම් කර තිබෙනවා. මෙවන් පසුබිමක කොළඹ නගරයේ නාගරික පසුබිම වෙනස් කිරීමට තැබූ තවත් පියවරක් ලෙස මෙම මෙත්සඳ සෙවණ නිවාස ව්‍යාපෘතිය හැඳින්විය හැකියි. රාජ්‍ය භාණ්ඩාගාරය මගින් මේ සඳහා අරමුදල් සම්පාදනය කිරීම නිසා නිවාසලාභීන්ට වාරික ගෙවීමකින් තොරව අදාළ නිවාස ලබාගත හැකිවී තිබෙනවා.

බේරේ වැව වටේ ඉදිවන කොළඹ ව්‍යාපාරික දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය කරන දෙවන පියවර තැබීමට අපට හැකියාව ලැබී තිබෙනවා. එහි පළමු පියවර ලෙස ලේක් හවුස් සිට ශාන්ත ජෝසප් විදුහල දක්වා බේරේ වැවේ ඉවුරු විධිමත් නාගරික උද්‍යානයක් ලෙස දියුණු කරනවා. කොම්පඤ්ඤ වීදිය සිටත් එම කටයුත්ත සිදුකෙරෙනවා. වොක්ෂෝල් වීදිය අවටත් සංවර්ධනය වු පසු එම ප්‍රදේශය තුළ නව නාගරික වටපිටාවක් ඇති වෙනවා. කොළඹ ව්‍යාපාරික දිස්ත්‍රික්කය ඉදිවෙමින් තිබෙන මූල්‍ය නගරයට, වරාය නගරයට ගාලූ මුවදොර පිටිය දෙපසින් විවෘත වනවා. ඒ වගේම කොළඹ ඉදිවීමට නියමිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සමගත් අනෙක් පැත්තෙන් එකතු වනවා. ඒ අනුව බේරේ වැව අවට ප්‍රදේශය අනාගත දූ දරුවන්ට මහඟු රැකියා අවස්ථා උදා කරන ප්‍රදේශයක් බවට පත් වෙනවා.

පසුගිය කාලයේ සිටි නායකයන් කොළඹ නගරය සංවර්ධනය සඳහා විවිධ උත්සාහයන් දැරුවා. පැල්පත්වාසීන්ගේ ගැටලුව විසඳීමට උත්සාහ කළා. බොහෝ දෙනෙකුට ඒ සඳහා තිරසර වැඩ පිළිවෙලක් තිබුණෙ නැහැ. එම නිසා 2015 අගභාගය වන විට එම ඉදිකිරීම් සියල්ලම අඩපණ වන තත්ත්වයක් ඇතිවුණා. නමුත් අප රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අද වන විට එම ඉදිකිරීම් කටයුතු විධිමත් අයුරින් කරගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා පොරොන්දු වී තිබෙනවා ලබන වසර වන විට විදේශ ණය මුදලක් ලබාගෙන මෙම කටයුත්ත සඵල කිරීමට කටයුතු කරන්න.

මේ වන විට නිවාස ඒකක 5, 859 ක වැඩ අවසන් කර ජනතාව වෙත භාරදීමට හැකියාව ලැබී තිබෙනවා. 2017 අවසන් වන විට තවත් නිවාස ඒකක 4, 508 ක වැඩ නිම කිරීමට නියමිතයි. 2018 වන විට තවත් නිවාස ඒකක 3189 ක්, 2019 නිවාස ඒකක 1773 ක්, 2020 දී 5, 780 ක් ලෙස 2020 වන විට නිවාස ඒකක 21, 000 ක් ජනතාවට ලබාදීම අපේ ඉලක්කයයි. එසේම මෙම වසර තුළ තවත් නිවාස ඒකක 4, 000 ක පමණ වැඩ ආරම්භ කිරීම ටෙන්ඩර් කැඳවා අදාළ කොන්ත්‍රාත් කරුවන් තෝරාගැනීම මේ දිනවල සිදුකෙරෙනවා.

පසුගිය රජය වගේ හමුදාව යොදවා ඉඩම්වලින් බලහත්කාරයෙන් ජනතාව ඉවත් කර හිතවතුන්ට කොන්ත්‍රාත් ලබාදෙන ක්‍රමයක් වත්මන් රජයේ නැහැ. ඉවසිලිවන්තව ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අප කටයුතු කරනවා. උතුරු කොළඹ ජනතාවට සිංහල, දමිළ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය කෙරෙන ඉහළ ගණයේ ජාතික පාසැලක් අවශයි. මැද කොළඹටත් එවැන්නක් අවශ්‍යයි. ඉන්දියන් සාගරයේ වැදගත්ම නාවුක මධ්‍යස්ථානය බවට පත්වන්න අපට හැකියාව තිබෙනවා.

ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය ඇමැති ඒ. එච් .එම් ෆවුසි මහතා-

අගමැතිතුමාගේ සංකල්පයක් ලෙස ජාතික ආණ්ඩුව සැලකිය හැකියි. අතීතයේත් එතුමා ජාතික ආණ්ඩුවක් පිළිබඳව කතා කළා. එතුමාට තනිවම ආණ්ඩුවක් හදන්න තිබුණා. නමුත් එතුමා සිතුවේ රටේ ජනතාවට උපරිම සේවයක් ජාතික ආණ්ඩුවක් මගින් ඉටුකළ හැකි බවයි. වර්තමනයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා-

ජනවාරි 8 දින අපට ලැබුණු ජනවරම මගින් ප්‍රජාතන්ත්‍රවාදයට නව අරුතක් දීමට හැකි වුණා. පසුගිය කාලයේ තිබූ වල්මත් පාලනය අපට අවසන් කිරීමට හැකි වුණා. පැවැති අඳුරු යුගය වර්තමානයේ අවසන් වී තිබෙනවා. වර්තමානයේ කිසිදු බයක් සැකක් නැතිව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ජනතාව ජීවත් වෙන්න පුළුවන්.වත්මන් රජය රට තුළ මහා සංවර්ධනයක් සිදුකරමින් පවතිනවා. අපට පෙරට යෑමට සිදු තිබෙනුයේ වට්ටපු ආර්ථිකයක් ගොඩදමමිනුයි. එවැනි තත්ත්වයක් තළ දී වුවද රජය නිවාස ඉදිකරනවා. යටිතල පහසුකම්, ස්වයං රැකියා ඇතිකරනවා.

අපි රුපියල් සියයක් වියදම් කර වැඩක් කළ විට සමහර මාධ්‍යයන් කියන්නෙ රුපියල් දහයක වැඩකළා කියා. පසුගිය ආණ්ඩුව රුපියල් දහයක කළ වැඩ රුපියල් සියයක් ලෙස පෙන්වූ මාධ්‍යත් තිබෙනවා. පසුගිය රජය පත් කළ නිලධාරීන් කොටසක් අදාළ ස්ථානවල සිටින සිටින බව අප මතක තබා ගන්න ඕනෙ. ජනතාවට අප පවසන්නෙ අපත් සමඟ සහයෝගයෙන් රට සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලට දායක වන ලෙසයි. අනිවාර්යයෙන්ම රටේ ජනතාවට දීප්තිමත් අනාගතයක් වත්මන් රජය නිර්මාණය කරනවා.

මෙම අවස්ථාව සඳහා දේශපාන නියෝජිතයයින්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 

නව අදහස දක්වන්න