| ගම්පහ දිය ඇලි සොඳුරිය දුනුමාල ඇල්ල | | දිනමිණ

| ගම්පහ දිය ඇලි සොඳුරිය දුනුමාල ඇල්ල |

නලින් දිල්රුක්ෂ
 
පසු ගිය නිවාඩු දවසේ අපි දුනුමාල ඇල්ල නරඹන්න ගියෙමු. අපේ කණ්ඩායම 16 දෙනකි. දුනුමාල ඇල්ල පිහිටියේ නිට්ටඹුව හන්දියෙන්  හංවැල්ල පාරේ අත්තනගල්ල පන්සල තිබෙන ස්ථානයට පැමිණ එතැනින් අලවල මාර්ගයේ දුනුමාල හන්දියට පැමිණ වමට හැරි කිලෝමිටර් දෙකක් විතර ගිය පසුවය. ඇල්ලට හැරෙන තැන පුවරුවක් සවිකොට තිබේ.
කොළඹට ඉතාමත්ම කිට්ටුවෙන් ඇති දිය ඇල්ල මෙය වේ. අඩි හතලිහක පමණ උසකින් යුක්ත මෙම ඇල්ල බේකර්ස් ඇල්ලට බොහෝ සෙයින් සමානකම් දක්වයි. 
මෙම ඇල්ලට නම් කීපයක්ම භාවිත කරයි. දුනුමාල ඇල්ල දේවින් පැන්න ඇල්ල උඩුවක ඇල්ල ඉන් කීපයකි. 
එතරම්ම සුන්දරත්වයෙන් අනූන මේ ඇල්ලට යාමේදී මහාමාර්ගයෙන් හැරී මීටර් තුන් සියයක පමණ දුරක් පයින් යා යුතු වෙයි. එය අඩි පාරකි.
ඇල්ලේ සුන්දරත්වයට මිනිසුන් විසින්ම ගෙනයන ලද හිස් බෝතල් කෝප්ප ප්ලාස්ටික් උර ඉඳුල් වැනි නොයෙක් අපද්‍රව්‍ය මගින් විශාල හානියක් සිදුව ඇත.
මේ හැම දෙයක්ම මිනිසුන් විසින් මෙතැනට ගෙන ගොස් ඉවත දමා ආ දෑය. ගෙනියන්න හැකි දේ ඉතිරිය එහි නොදමා ආපසු රැගෙන ආවානං මෙවන් පරිසර හානියක් සිදුවන්නේ නැත.
අප ගිය දින විශාල ජනකායක් එහි විනෝදවන්නට පැමිණ සිටි අතර, අප විනෝදය පසෙක තමා මුලින්ම පොඩි ශ්‍රමදානයක් දමා පැය භාගයක් යන්නටත් මත්තෙන් විශාල කුණු තොගයක් එකතු කර අවට සුද්ද පවිත්‍ර කර දැමුවෙමු.
ඔය මෙහි යන්නේ නම් මතක ඇතිව කුණු ආපසු රැගෙන එන්නට බැග් කීපයක් අනිවාර්යෙන්ම අරන් යන්න. ඉවතලන කුණු වර්ගකර වෙන වෙනම කවරවල දමා ඒවා ආපසු රැගෙන එන්න. අතර මග හමුවන රජයේ කුණු එකතු කරන තැනකදී නියමිත බඳුන්වලට ඔබ ගෙන ආ අපද්‍රව්‍ය බැහැර කරන්න.

 

නව අදහස දක්වන්න