කොමඩි නාට්‍ය හා ඇරිස්ටොෆනීස් | දිනමිණ

කොමඩි නාට්‍ය හා ඇරිස්ටොෆනීස්

ධම්මික සෙනෙවිරත්න

ඇරිස්ටොෆනීස්ගේ නාට්‍යයක් මතුපිටින් කියවා තේරුම් ගැනීමට නොහැකි ය. එවැනි කියැවීමක් අසම්පූර්ණ කියැවීමකි. මේ කෘතිය මඟින් එම නාට්‍යවල යටි පෙළ කියැවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම අගය කළ යුතු ය.

“ඇරිස්ටොෆනීස්” වනාහී ග්‍රීක සම්භාව්‍ය නාට්‍ය ගත්විට පැරැණි ග්‍රීක කොමඩි නාට්‍ය නූතන අප වෙත නියෝජනය කරන එක ම නාට්‍යකරුවා ය. මේ යුගයට අයත් මේ නාට්‍ය වර්ගය නියෝජනය කරන අන් නාට්‍යකරුවන් සිටියත්, ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය කිහිපයක් පමණි. කාලයේ බැමි තරණය කර ඇත්තේ ඇරිස්ටොෆනීස් ක්‍රි. පූ. පස්වන ශත වර්ෂයේ ග්‍රීසියේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදයෙන් උපරිම ප්‍රයෝජනය ගත් කලාකරුවෙකි. සිතීමේ නිදහස හා ප්‍රකාශනයේ නිදහස ඔහු උපරිමයෙන් විඳ ඇති බව ඔහුගේ ශේෂවී ඇති නාට්‍ය සාක්ෂි දරයි.”

මහාචාර්ය කමනි ජයසේකර

ඒ, “කොමඩි නාට්‍ය හා ඇරිස්ටොෆනීස්” කෘතියේ පෙරවදනකි. පුරාතන ග්‍රීසියේ වැඩිම පිළිගැනීමට ලක්වූ සුඛජනිත නාට්‍යකරුවා ඇරිස්ටොෆනීස් ය . සුඛාන්ත හෙවත් සුඛ ජනිත නාට්‍ය කලාවේ (Comedy) පියා ලෙස ද ඔහු සැලකේ. පුරාතනයේ ඇතැන්ස් හි ජන ජීවිතය හා සමාජ දේශපාලන පසුබිම ඔහු තරම් විශිෂ්ට ලෙස ගෙනහැර පෑ අන් නිර්මාණකරුවකු නොමැත. ඔහුගේ නාට්‍යවලින් මතුවූ තියුණු උපහාසය මෙන් ම, ඇතැම් සමකාලිනයන් කෙරෙහි සමච්චලයෙන් යුතුව පළ කළ අදහස් නිසා ද ඔහු නින්දා - අපහාසවලට පවා ලක් විය.

ක්‍රි. පූ. 5 සහ 4 වැනි සියවසට අයත් සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය ප්‍රභේද 3ක් යටතේ වර්ග කෙරේ. ඒ සම්භාව්‍ය ග්‍රීක ට්‍රැජඩි (දුක ජනිත හෙවත් ශෝකාන්ත) පැරැණි ග්‍රීක කොමඩි හා නව ග්‍රීක ‍කොමඩි යනුවෙනි. ඒ අතරින් පැරැණි ග්‍රීක කොමඩි නාට්‍ය නියෝජනය කරමින් වර්තමානය වනවිට ශේෂවී ඇත්තේ ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය අත් පිටපත් 11 ක් පමණි. ඔහු විසින් නාටය 40 ක් පමණ රචනා කරනලදැයි සැලකේ.

ග්‍රීසියේ වඩාත් ජනප්‍රියව පැවැතියේ ට්‍රැජඩි හෙවත් දුක ජනිත නාට්‍ය ය. ඊස්කිලස් යුරිපිඩීස් හා සොෆොක්ලීස් මුල් පෙළේ දුක ජනිත නාට්‍යකරුවන් ය. ප්‍රොමිතියස් , ඇන්ටිගන් වැනි නාට්‍ය ලාංකේය රසිකයාට ද සමීප ය . එසේ වුව ද, පුරාතන ග්‍රීක සමාජ ජීවිතය මෙන් ම ඇතැන්ස් හි උපරිමයෙන් ගොඩනැඟී තිබූ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තියුණු ලෙස විනිවිද දුටු ඇරිස්ටොෆනීස් හෝ ඔහුගේ නිර්මාණ පිළිබඳ ප්‍රමාණවත් හැඳින්වීමක් සිංහල පාඨකයාට හා නාට්‍ය රසිකයාට සිදු නොකෙරුණු තරම් ය. වෙසෙසින්ම එය නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන්ට බලපෑවේය. මාධ්‍යවේදිනී සාගරිකා දිසානායක “කොමඩි නාට්‍ය හා ඇරි ස්ටොෆනීස්” කෘතිය ඉදිරිපත් කරමින් පුරවාලීමට වෑයම් කරන්නේ, එකී රික්තය ය. ඇරිස්ටොෆනීස්ගෙ ශේෂව පවතින නාට්‍ය පිටපත් 11 අතරින් ලයිසිස්ට්‍රාටා (Lysistrata) සහ ද ‍ෆ්‍රොග්ස් (The Frogs) නාට්‍ය සමාජය සුවපත් කිරීමට හා දැනුම්වත් කිරීමට ද, ස්වකීය අදහස් හා පණිවිඩ ජනතාව වෙත සන්නිවේදනය කිරීමේදී වාහකයක් කරගත් අයුරු ද මේ කෘතියෙන් විමසා බැලේ .

ග්‍රීක පැරැණි නාට්‍යවල වර්ග ලක්ෂණ හා ඒවා බිහිවූ සමාජ දේශපාලන වාතාවරණය සාකච්ඡාවට යොමු කරමින්, කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය කමනි ජයසේකර කෘතියට සපයා ඇති අගනා විස්තරාත්මක පෙරවදන, එහි ශාස්ත්‍රීය අගය වඩාත් ඉහළ නංවා ඇති අතරම, ඊට ආලෝකයක් ද එක් කර තිබේ.

“ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය මඟින් ජනතාව තුළ ඇතිවන්නේ නිහඬ මඳහසක් නොවේ.

ඇරිස්ටොෆනීස් ‍ප්‍රේක්ෂකාගාරය කොක්හඬින් දෝංකාර වීමට සළස්වයි. තමා විසින් තමා වෙතම පනවාගෙන ඇති බැමි තරණය කර, සාමුහිකව සිනහසීමට ඔහු පොලඹවයි. මේ නිසා, එක් අයකුගේ හැඟීම අන් අයට ද බලපානු ඇත. වාතාවරණය නිදහසේ සංකේතයක් බඳු වනු ඇත. ඇතැම්විට මේ නිදහස ඔස්සේම සභ්‍ය බවේ සීමාකරණය කිරීමට පවා ඔහු නිර්භීත වන්නේය...”

මීට උදාහරණයක් වන “ලයිසිස්ට්‍රාටා” නාට්‍ය මේ කෘතිය මඟින් මූලික වශයෙන් විමසා බලන එක් නාට්‍යයකි. ඇරිස්ටොෆනීස්ගේ සුඛ ජනිත නාට්‍ය අතුරින් වඩාත් ජනප්‍රිය වූත්, අද දක්වාම යුරෝපයේ හා ලොව වෙනත් රංග පීඨවල රඟ දැක්වෙන්නාවූත් කෘතිය ද එයයි.

ඇතැන්සය යුද බියෙන් ඇලලී ගොස් වසරකට පසු, එනම් ක්‍රි. පූ. 411 දී නිම කළ මේ නිර්මාණය මඟින් ඔහු දිරිගන්වන්නේ සාමයයි. නිර්මාණ තුළ සාමය උ‍දෙසා පැවැති අභිලාෂය කතුවරිය සාධක සහිතව හා විශ්ලේෂණාත්මකව ඉදිරිපත්කිරීමට සමත් වේ. ක්‍රි. පූ. 400 තරමම ඈත අතීතයක ජීවත් වූ ඇරිස්ටොෆනීස්, සාමය උදෙසා නඟන හඬ අද දක්වා ලොව පුරා රැව් පිළිරැව් දෙන සනාතන සත්‍යයේ පණිවිඩයයි. ඔහු කළේ සිය නාට්‍ය මඟින් එම උදාර පණිවිඩය ජනතාව වෙත සන්නිවේදනය කිරීම යැයි කිව හැක්කේ එහෙයිනි. සාමය පිළිබඳ ඔහු මවන සංකල්පය සිහිනයක් පමණක් විය හැකි ය. එහෙත්, ඉන් කියැවෙන පණිවිඩයෙහි සැඟව ඇත්තේ සනාතනිකවූත්, යථාර්ථවාදී වුත් සත්‍ය දහමකි. තිස් අවුරුදු යුද්ධයකින් පීඩා විඳි අපේ රටට ද ක්‍රි. පූ. 4 වැනි සියවසේදී ඇරිස්ටොෆනීස් මතු කළ කාරණා වැදගත් වන අයුරු ඇය මෙහිදී විමසා තිබේ. එමෙන් ම, පැරැණි කොමඩි නාට්‍ය රචනා වූයේ හා රඟදැක්වූණේ අදට වඩා හාත්පසින් ‍වෙනස් වාතාවරණයක බව ද අමතක නොකළ යුතු ය.

ඇරිස්ටොෆනීස්ගේ නාට්‍යයක් මතුපිටින් කියවා තේරුම් ගැනීමට නොහැකි ය. එවැනි කියැවීමක් අසම්පූර්ණ කියැවීමකි. මේ කෘතිය මඟින් එම නාට්‍යවල යටි පෙළ කියැවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම අගය කළ යුතු ය. එම නාට්‍ය රඟදැක්වුණු ප්‍රේක්ෂකාගාරය අතිශයින් පුළුල් ය. එකවර 15,000ක්වත් රසිකයෝ ඒවා නැරැඹූහ. ඇරිස්ටොෆනිස්ගේ නාට්‍යයක් කියැවීම මඟින් අප ද එම ප්‍රේක්ෂාගාරයේ අසුන්ගෙන සිටින අයකු වැනි හැඟීමක් ඇති කරන බව, මහාචාර්ය කමනි ජයසේකර සඳහන් කර ඇත. ඇරිස්ටොෆනීස් වෙනස් නිර්මාණකරුවකු බවට පත් වන්නේ, වැඩි වශයෙන් ම ඔහු සිය නිර්මාණ ඔස්සේ මතුකරන හාස්‍යයට යටින් දි‍වෙන බැරෑරුම් පණිවිඩය නිසා ය. එනම්, එහි යටි පෙළ ගැඹුරින් කියැවිය යුතු වේ. ඔහුගේ නාට්‍ය පරිවර්තනය කිරීම අසීරු වීමට ද මෙය බලපා තිබේ.

බටහිර සම්භාව්‍ය සාහිත්‍යයේ මාතෘභූමිය වශයෙන් සැලකෙන ග්‍රීසිය, සශ්‍රීක රාජ්‍යයක් විය. කෘෂිකර්මය ආශ්‍රිත ස්වංපෝෂිත ආර්ථික රටාවක් පැවැති ග්‍රීසියේ ජනතාව, වසර මුළුල්ලේ වෙහෙසී ගොවිතැන් බත් කර නෙළාගත් අස්වනු, පළමුකොට පූජා කළේ ඩයොනීසියානු දෙවියන්ට ය. එම පුද පූජා පැවැත්වූණේ උත්සව මාලාවක් ලෙසිනි. මාස කිහිපයක් ඊට වෙන් විය. ‘ ග්‍රීසියෙන් බිහිවූ අද්විතීය නාට්‍ය කලාවේ සම්භවය වූයේ උක්ත ඩයොනීසියස් දේව වන්දනාව ඇසුරින් බිහිවූ නැටුම් ගැයුම් හා වැයුම් ය.’ දැනුම, විනෝදාස්වාදය මතු නොව, අදහස් හා ආකල්ප සන්නිවේදනය කිරීමේ ප්‍රධාන මාධ්‍ය වූයේ ද නාට්‍ය ය . “වසරක් පාසා නාට්‍ය උත්සව සමයන් අනිවාර්යයෙන්ම නියමිත කාල සීමාවකදී පැවැති අතර, එකී නාට්‍ය උළෙලට සහභාගි වන්නට කැමැති නාට්‍යකරුවකු විසින් නාට්‍ය නිර්මාණ 3ක් ඉදිරිපත් කළ යුතුව තිබිණි. මේ නාට්‍ය අතුරින් හොඳ ම නාට්‍ය තේරීම සඳහා පැවැති තියුණු තරගයෙන් ජය ගත්තෝ, අවිවාදයෙන් ම සමාජයේ බුහුමනට පත් වූහ . ඇරිස්ටොෆනීස් ගේ පළමු නාට්‍ය වන ‘ද වැස්ක්වට්ර්ස් 'වාර්ෂික නාට්‍ය තරගාවලියේදී දෙවැනි තැන දිනාගත් අතර, දෙවැනි නාට්‍ය වන 'ද බැබිලෝනියන්ස්' පළමු ත්‍යාගය දිනා ගත්තේය. මේ නාට්‍ය දෙක ම අද වනවිට ශේෂවී නොමැත. ඇරිස්ටොෆනීස්ගේ නිර්මාණ පිළිබඳ ගැඹුරින් අධ්‍යයන ‍කෙරී ඇතත්, ‍මේ විශිෂ්ට නිර්මාණකරුවා පිළිබඳ ලොව හමුවේ ඇති තොරතුරු අල්ප ය. ඔහුගේ උපන් දිනය පවා නිශ්චිත නැත. ක්‍රි. පූ. 445 – 385 අතර වකවානුවේ ඇතැන්ස් නුවර ජීවත් වූ ඇරිස්ටොෆනීස්ගේ ජීවිත අපට කියවා ගැනීමට සිදුව ඇත්තේ ද බොහෝ දුරට ඔහුගේ නිර්මාණ ඔස්සේ ය. සමකාලීන කතුවරුන් ද ඔහු පිළිබඳ යම් ‍තොරතුරු ප්‍රමාණයක් සටහන් කර ඇත. ඇරිස්ටොෆනීස් පිළිබඳ ‍මෙතෙක් දන්නා එම තොරතුරු ද මේ කෘතිය මඟින් සංක්ෂිප්තව ඉදිරිපත් කර තිබේ.

ශාස්ත්‍රීය කෘතියක් වුව ද , කියැවීමට රුචියක් ඇති කරන පරිදි එය ඉදිරිපත් කිරීමට කතුවරිය දරා ඇති වෑයම අගය කළ යුතු ය. මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලාව හදාරමින්, එම අවසන් පරීක්ෂණය සඳහා සිදුකළ ස්වාධීන අධ්‍යයනය, ඊට වසර ගණනාවකට පසු හෝ මෙලෙස එළි දැක්වීම, නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන්ගේ මෙන් ම, බටහිර සම්භාව්‍ය සාහිත්‍යයට රුචි පොදු පාඨකයාගේ ද යහපත පිණිස වනුඇති බව අපගේ අදහස ය. ග්‍රීක කොමඩි නාට්‍ය හා ඇරිස්ටොෆනිස් වැඩිදුරටත් හැදෑරීමට මේ කෘතිය මනා උත්තේජනයක් සපයනු නොඅනුමාන ය.

නව අදහස දක්වන්න