සභික සංඛ්‍යාව දෙගුණ වෙයි | දිනමිණ

සභික සංඛ්‍යාව දෙගුණ වෙයි

* ගැසට්ටුව අනුව 3870කින් ඉහළට
* අලුතෙන් පළාත් පාලන ආයතන 5ක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නව මැතිවරණ ක්‍රමයට අනුව නිකුත් කරන ලද ඒ ඒ පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රයට අනුව සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ඉහළ ගොස් තිබෙන අතර පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව 4,486 සිට 8,356 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව විෂයබාර ඇමැතිවරයා විසින් අත්සන් තබන ලද පළාත් පාලන සභික සංඛ්‍යාව ඇතළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් පෙරේදා (11) මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර තිබේ.

නව සංශෝධනයන් සමඟ සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ඉහළ ගොස් තිබෙන අතර 23 ක්ව පැවැති මහ නගර සභා සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව නගර සභා සඛ්‍යාවේ කිසිදු වෙනසක් සිදු නොවන අතර ප්‍රාදේශීය සභා සංඛ්‍යාව 272 සිට 276 දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රාදේශීය සභා සංඛ්‍යාව එලෙස වැඩිවූයේ නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නෝර්වුඩ් සහ මස්කෙළිය යනුවෙන් ප්‍රාදේශීය සභා 2 ක් ද අඹගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ආගරපතන හා කොටගල යනුවෙන් ප්‍රාදේශීය සභා දෙකක් ද අලූතින් පිහිටුවා ඇත.

මේ අතර ගැසට් පත්‍රයට අනුව සමස්ත පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙන අතර එය 4,486 සිට 8,356 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සභික සංඛ්‍යාව 3,870ක ඉහළ යෑමක් වෙයි. මේ නව ක්‍රමයට අනුව පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන අතර ඒ අනුව කොළඹ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව, මොරටුව මහනගර සභාව, කඩුවෙල මහනගර සභාව, ගම්පහ මහනගර සභාව, මීගමුව මහනගර සභාව, මහනුවර මහනගර සභාව, මාතලේ මහනගර සභාව, දඹුල්ල මහනගර සභාව, නුවරඑළිය මහනගර සභාව, ගාල්ල මහනගර සභාව, මාතර මහනගර සභාව, හම්බන්තොට මහනගර සභාව, යාපනය මහනගර සභාව, මඩකලපුව මහනගර සභාව, අනුරාධපුර මහනගර සභාව, බදුල්ල මහනගර සභාව, බණ්ඩාරවෙල මහනගර සභාව, රත්නපුර මහනගර සභාව රටේ අනෙකුත් නගර සභාවන් සහ ප්‍රාදේශීය සභාවන්හි සභිකයින් ද ඉහළ ගොස් තිබේ. මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමත් සමඟ කිසිඳු බාධාවකින් තොරව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවට හැකියාව ලැබෙන අතර එළඹෙන 17 දා රැස්වන මැතිවරණ කොමිසමේ දී ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකිවන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

සභික සංඛ්‍යාව දැක්වෙන සිංහල පිටපත මේ වනවිට නිකුත්කර තිබෙන අතර එහි දෙමල සහ ඉංග්‍රීසි පිටපත් මුද්‍රණය වෙමින් තිබෙන බව සදහන් කරන දේශප්‍රිය මහතා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන් විසින් ක්‍රියාකරනු ඇති බවට විශ්වාස කරන බවද නොවැම්බර් 27 දායින් ආරම්භ වන සතිය තුළ එය සිදුවනු ඇති බවද පෙන්වා දෙයි.

දිස්ත්‍රික් කාර්යාලවල සියලු කටයුතු අවසන් වෙමින් තිබෙන අතර ඡන්ද හිමි නාමලේඛනය කොට්ඨාශ මට්ටමින් සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවද එම පොත් සහතික කිරීම නොවැම්බර් මස 20 දායින් ආරම්භ වන සතිය තුළ සිදුකිරීමට හැකිවනු ඇති බවද පවසන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ අනුව ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මස 25 ස 31 අතර පැවැත්වීමට හැකිවනු ඇති බවද විශ්වාසය පළකරයි.

පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වීමත් සමඟ මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ කටයුතුවලට අදාළ මූලික වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකියාව ලැබෙන අතර පිටු 220 කින් සමන්විත වන අදාළ ගැසට් පත්‍රයට අනුව පොළොන්නරුව - තමන්කඩුව ප්‍රාදේශීය සභාව, මෙහිදී පොළොන්නරුව මහනගර සභාව සහ පොළොන්නරුව ප්‍රාදේශීය සභාව ලෙස වෙනස් වී තිබේ.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න