හරවත් පරිවර්තන සාහිත්‍ය සංවාදයකට ඇරයුමක් | දිනමිණ

හරවත් පරිවර්තන සාහිත්‍ය සංවාදයකට ඇරයුමක්

 "කුමක් හෝ යහපත් කටයුත්තක් කිරීම මැනවැයි සිතූ අප්‍රසිද්ධ මනුස්සයා අසල්වැසි රෝගී කාන්තාවකට බෙහෙත් ගෙනවිත් දුන්නේය. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. ඇය මිය ගියාය. අප්‍රසිද්ධ මනුස්සයා අත්අඩංගුවට ගැනිණි. බෙහෙත් සමඟ වස මිශ්‍රකොට කාන්තාවට දුන් බවට පාපොච්චාරණය කරන්නැයි පොලිසිය ඔහුට කීවේය."

"නෑ නෑ මං වස දුන්නෙ නෑ" ඔහු කීවේය.

"මොනව දුන්නත් දැන් ඒ ගෑනි මැරිල. ඔහේට එල්ලුම් ගස් යන්න වෙයි. වහ දුන්න කියල කියනව. එතකොට තවත් දහදෙනකුට විතර ලොකු ලාබයක් වෙයි." පොලිසිය කීවේය.

"ඒ කොහොමද?" ඔහු ඇසුවේ පුදුමයෙනි.

"මේ බලනව, මේ අය දිහා... රූපවාහිනීවල, පත්තරවල වාර්තාකාර මහත්තුරු දහ - පහළොස් දෙනෙක් තමයි මේ වාඩිවෙලා ඉන්නෙ. ලොමු ඩැහැගැන්වෙන ප්‍රවෘත්තියක් පළකරල මේ අයගෙ 'රස්සාවල්' බේරගන්න පුළුවන් වෙයි" පොලිසිය කීවේය.

‍මම මේ පුංචි කතාව උපුටා ගත්තෙ උපුල් රංජිත් හේවාවිතානගමගේ ගේ අලුත් පරිවර්තනය වන "හතරමං හන්දියේ හිටගත් මිනිසා" කියන කෙටිකතා එකතුවෙන්. හින්දි බසින් කෙළින්ම සිංහලට පරිවර්තනය වී තිබෙන මේ කෙටිකතා ලියවී තිබෙන්නේ 1933 - 2002ත් අතර කාල පරාසය තුළ. ඒත් මෙහි එන ඇතැම් කතා ඉතා නවීන සමාජ අත්දැකීම් පසුබිම් කරගෙන ලියවී තිබෙනවා. උදාහරණයක් වශයෙන් දක්වතොත් මා ඉහත උපුටා දක්වපු ලුහුඬු කතාව. ඒ කතාව මුලින්ම හින්දි බසින් ලියවී තිබෙන්නේ 2002 දී. අස්ගර් වජාහත් නම් ලේඛකයා ලියූ 'අප්‍රසිද්ධ මනුස්සයාගේ කතා දහය' නමැති ලුහුඬු කතා දහයකින් සමන්විත කෙටිකතාවෙන් තමා මම මේ පුංචි කතාව උපුටා ගත්තේ.

ඒ ලුහුඬු කතාව ඉන්දියාවටත් වඩා ගැළපෙන්නේ ශ්‍රී ලංකාවටය කියා මම හිතන නිසයි එසේ උපුටා දැක්වූයේ. හැබැයි අපේ නම් ජනමාධ්‍යයයි - පොලිසිය දෙකම එකිනෙකට නොදෙවෙනි විදිහට පිරිහිලා නිසා පත්තර වාර්තාකාර මහත්තුරුන්ගේ පමණක් නොව පොලිසියෙ ඇත්තන්ගේත් උදර පෝෂණයට මෙවැනි ප්‍රවෘත්ති ප්‍රයෝජනවත් වන සැටි අපූරුවට පෙන්නලා දෙන්න පුළුවන් නේද?

කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කරන මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ බොහෝ කලක සිටම අපේ අසල්වැසි ඉන්දියාවේ සාහිත්‍ය අපට සමීප කිරීමට කැපවී සිටින පරිවර්තකයෙක්. මට මතක හැටියට ඔහු මේ පරිවර්තන කාර්යයට ප්‍රවේශ වන්නේ 1996 දී 'ඊද් උළෙල' නම් හින්දි කෙටිකතා එකතුව අප අතට පත්කරමින්. එදා මෙදාතුර කාලය තුළ භාරතීය සාහිත්‍ය සාගර‍යේ මුතු ඇටවන් සාහිත්‍ය නිර්මාණ රැසක් ලාංකික පාඨකයාට හඳුන්වාදීමට ඔහු දරා ඇති උත්සාහය ප්‍රශංසනීයයි. 'හතරමං හන්දියේ හිටගත් මිනිසා' කෘතියත් සමඟ ඔහුගේ පරිවර්තන සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනවා. කෙටිකතා, නවකතා පමණක් නොව භාරතීය ජනකතා රාශියක් සිංහලට නැඟීමට ද ඔහු උත්සුක වී ඇති බව දකින්න ලැබෙනවා.

'හතරමං හන්දියේ හිටගත් මිනිසා' කෙටිකතා සංග්‍රහයට ඇතුළත් හැම කතාවක්ම අපේ සමාජ සංස්කෘතික පරිසරයට ඉතාම සමීප බවක් පෙන්නුම් කරනවා වගේම කෙටිකතා කලාවේ කලාත්මක ලක්ෂණ මැනවින් අඩංගු කරගත් නිර්මාණ පෙළක් ද වන බව සඳහන් කළ යුතුයි. ඒ අනුව පාඨකයා කෙරෙහි පමණක් නොව සාහිත්‍ය නිර්මාණ කාර්යයෙහි නිරතව සිටින ලේඛක ප්‍රජාව කෙරෙහිත් අවධානය යොමුකිරීමට පරිවර්තක උපුල් රංජිත් උනන්දු වී තිබෙන බව පෙනෙනවා. හින්දි හා බාග්ලා කෙටිකතා කලාවේ විකාශනය මැනවින් පිළිබිඹු වන ආකාරයට ඔහු මේ කෙටිකතා තෝරාගෙන තිබීම අගය කළ යුතුයි. එසේම එම කතා එකිනෙකට වෙනස් ශිල්ප විධි අනුගමනය කරමින් රචිත නිර්මාණ වීම ද වැදගත්.

ප්‍රේම්චාන්ද්ගේ 'ඊද් උළෙල' නමින් එන කතාව ශිල්පීය වශයෙන් අයත් වන්නේ සම්ප්‍රදායික කතා රීතියටයි. එහෙත් ඒ කතාව කවර රීතියක් යටතේ ලියා ඇත්ද යන කාරණය පාඨකයාට වැදගත් නැහැ. ලේඛකයා එය ඉදිරිපත් කරන අපූරු ආකාරය හා එහි අන්තර්ගත කතා පුවත විසින් පාඨකයාගේ සිතෙහි හටගන්වන කම්පනය ඉතා තියුණුයි. කුඩා දරුවකුගේ ආත්මාභිමානය චිත්‍රණය කිරීමෙහිලා ප්‍රේම්චාන්ද් කෙතරම් සමත් වී සිටිනවාද කිවහොත් එම කතාව කියවා නිම කළ පසු ඊළඟ කතාවට ප්‍රවේශ වීමට සෑහෙන කාලයක් ඉවසා සිටීමට පාඨකයාට සිදු වෙනවා.

'අඳුරෙහි අඳුර' නමින් තිබෙන කෙටිකතාව නවීන කෙටිකතා ශෛලියට අයත් නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ කතාව ලියා ඇත්තේ සර්වේශ්වර්දයාල් සක්සේනා හින්දි කලාපයට අයත් ලේඛකයෙක්. ලේඛකයා පිළිබඳව කෙරෙන හැඳින්වීමේදී පරිවර්තකයා විසින් ඔහු නම්කර ඇත්තේ ශිල්පීය වශයෙන් නවකතාවක් ප්‍රකට කරන අතරම තියුණු භාෂා රටාවකින් පොහොසත් ලේඛකයකු ලෙසයි. මේ කෙටිකතාවට පසුබිම් වන්නේ අඳුරු ගංතෙරකදී එකිනෙකාට මුහුණ ගැසෙන නන්නාඳුනන යුවළක් දිවි නසාගැනීමට දරන උත්සාහයක්. සංවාද ආකෘතියක් උපයෝගී කර ගනිමින් රචිත මේ කතාව මිනිස් සිතේ අභ්‍යන්තරය වෙත එල්ල කරන සියුම් ආලෝක ධාරාවක් බඳුයි.

'හතරමං හන්දියේ හිටගත් මිනිසා' පොත වැදගත් වන්නේ අපේ අසල්වැසි රාජ්‍යයේ සාහිත්‍යය වෙත අප රැගෙන යාමට මඟ සලසා ඇති නිසාම නොවේ. පරිවර්තන කාර්යයේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව මේ කෘතිය නිදර්ශනයක් වශයෙන් ගත හැකි වීම මෙහි දැකිය හැකි තවත් වැදගත් ලක්ෂණයක් ලෙස මා දකිනවා. ඒවා මෙලෙස කෙටියෙන් හඳුන්වා දීමට මා කැමතියි. (1) අදාළ නිර්මාණකරුවන්ගේ ඡායාරූපයක් ද සහිත කෙටි හැඳින්වීම. (2) මුල් කෘතියේ එන ඇතැම් 'සංස්කෘතික යෙදුම්' හුදු වචනාර්ථ වශයෙන් පමණක්‍ නොගෙන 'පාදක සටහන්' මඟින් පැහැදිලි කිරීම. (3) මුල් කෘතියේ තිබූ වාග්රූඪිවලට සමාන සිංහල වාග්රෑඪි නොයොදා ඒ ආකාරයෙන්ම පරිවර්තනය කිරීම. (4) පරිවර්තන කාර්යයේදී භාවිත කළ කෘති හා ශබ්ද කෝෂ ආදිය පිළිබඳව තොරතුරු ඇතුළත් කිරීම. (5) නම් ගම් ආදිය වර නැඟීමේදී මුල් භාෂාවට උපරිම සාධාරණය ඉෂ්ට කිරීමට වෙර දැරීම.

මේ පරිවර්තනය සඳහා ලියන පෙරවදනේදී අද ඇතැම් පරිවර්තකයන් විසින් 'පරිවර්තන කලාව' කාබාසිනියා කරනු ලබන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් ගෙනහැර පාන්නට ද මහාචාර්ය උපුල් රංජිත් වගබලාගෙන තිබීම වැදගත්. ඔහු මෙහිදී පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් තමා 'පරිවර්තන විචාර සාහිත්‍යයක අවශ්‍යතාව' ඒ වගේම පරිවර්තකයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සද්භාවයෙන් යුත් තමාටම අවංක වූ පුද්ගලයකු විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

පරිවර්තන සාහිත්‍ය පිළිබඳ ගැඹුරු සංවාදයක අවශ්‍යතාව අපේ රටේ ලේඛකයන් මෙන්ම පාඨකයන් විසිනුත් පෙන්වා දෙනු ලබන්නේ සෑහෙන කලක සිටයි. අද ස්වතන්ත්‍ර කෘතිවලට වඩා පරිවර්තන සාහිත්‍යයට සරුසාර වෙළෙඳපොළක් තිබෙන නිසා හරිහමන් භාෂා මෙන්ම ශිල්පීය දැනුමකින් තොර අයත් මේ කාර්යයට පිවිස තිබෙන බව කනගාටුවෙන් වුවත් සඳහන් කිරීමට සිදු වෙනවා. පරිවර්තකයන් බොහෝදෙනෙක් කර්තෘ ප්‍රකාශකයන් වීම හේතුවෙන් ඒවා කිසිම නිරීක්ෂණයට ලක් නොවීමත් ඛේදයක්. ශ්‍රී ලංකාවේ පරිවර්තන සාහිත්‍යය ප්‍රමාණාත්මකව වර්ධනය වුණාට ගුණාත්මකව පරිහානිය කරා ගමන් කරන බවට නැ‍ඟෙන චෝදනාව අසත්‍යයක් නොවන නිසා හරවත් පරිවර්තන සාහිත්‍යයක් පිළිබඳ සංවාදයකට මුලපුරන ලෙස මහාචාර්ය උපුල් රංජිත් බඳු වියතුන්ට ආරාධනය කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.

කමල් පෙරේරා
[email protected]

නව අදහස දක්වන්න