උස්සන්ගොඩ සංචාරකයන්ට එපා ‍‍වෙන හැඩ | දිනමිණ

උස්සන්ගොඩ සංචාරකයන්ට එපා ‍‍වෙන හැඩ

 ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් මෙරට 27වන ජාතික උද්‍යානය ලෙස වනජීවි දෙපාර්තමේන්තුව මගින් ගැසට් කර ඇති උස්සන්ගොඩ ජාතික උද්‍යානයට පැමි‍ණෙන දෙස් විදෙස් සංචාරකයින්ට කිසිම පහසුකමක් මේ වන තෙක් සලසා නොමැත.

රත් පැහැ ගැන්වූ මහ පොළොවකින් සමන්විත අක්කර 200ක පමණ ප්‍රදේශයක උස් වූ ගහ කොළ වැඩෙන්නේ නැති ඉතා කුඩා බෙහෙත් පැළෑටි පමණක් වැවෙන මේ පරිසරය දැක ගැනීමට හා පරීක්ෂණ පැවැත්වීම සඳහා බෙහෝදෙනා පැමිණෙති.

එ‍‍‍හෙත් ගැටලුව වී ඇත්තේ නොයෙක් දුරාචාර කටයුතුවල යෙදෙන්නන්ගේ පාරාදීසයක් බවට උසන්ගොඩ අද පත්ව තිබීමයි.

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැලිපටන්විල හා ලුණම දකුණ ග්‍රාම නිලධාරී වසම්වලට මායිම්ව පිහිටි උසන්ගොඩ කන්ද බටහිර දෙසට මායිම්වී ඇත්තේ කළමැටිය කුරුලු අභයභුමියටවීමද විශේෂත්වයකි. උස්සන්ගොඩ නැරඹීමට මෙන්ම යාබදව ඇති මුහුදේ නෑමට බොහෝ පිරිස් පැමි‍ණෙති. එ‍සේ පැමි‍ණෙන පිරිසට උසන්ගොඩ කන්දට යන මාර්ගය හඳුන්වා දීමට ප්‍රධාන මාර්ගයේ නාම පුවරුවක් ‍හෝ සවිකර නොමැත. වාහන නතර කිරීමට රථ වාහන ගාලක්, වැසිකිළි කැසිකිළි පහසුකම් සනීපාරක්ෂක පහසුකම් ‍හෝ ‍ජල පහසුකම් නොමැත.

ජාතික උද්‍යානයක සිදුනොකරන ක්‍රියා දැක්වෙන නාමපුවරු පමණක් සවිකර ඇති අතර ඒවා නාම පුවරුවලට පමණක් සිමා වි තිබේ.

සති අන්ත හා නිවාඩු දිනයන්හි පෞද්ගලික උපකාරක පන්තිවලට යන සිසුන් මේ ස්ථානයේ කැලෑබද ප්‍රදේශයන්හි පාළු ස්ථානවල ලැගුම් ගෙන ඇති බවට සාක්ෂි තිබේ.

නොයෙක් අපචාර සිද්ධීන් හා සොරකම් උස්සන්ගොඩට පැමි‍ණෙන අය අතරින් සිදු වී ඇත. ඒ සම්බන්ධව හුංගම පොලිසියට පැමිණිලි ලැබි ඇති අවස්ථා ද තිබේ.

උස්සන්ගොඩ කන්ද අවට ඇති සංවේදී පරිසරය තුළ හිස් බෝතල්, ප්ලාස්ටික් ද්‍රව්‍ය, ඉටිකවර ඉවත දමා ඇති අයුරු දක්නට ලැබේ.

වෙළඳාම් කරන එම්.පී සුමිත්‍රා මහත්මිය

උස්සන්ගොඩ කන්ද බලන්න විශාල පිරිසක් එනවා. ඒ අයගේ වාහන නතර කරන්න පාර්ක් එකක් නැහැ. බොන්න වතුර නැහැ. වැසිකිළි නැහැ. කොච්චර හොඳට දියුණු කරන්න පුළුවන් තැනැක්ද කිසිම වැඩපිළිවෙලක් නැහැ. සංචාරක කර්මාන්තය දියුණු කරනවා කිවුවාට මේ වගේ ස්ථාන දියුණු කරන්නේ නැහැ. මෙතනට එන වාහන බලාගන්නෙත් අපි. ඒ අයට තිබහට වතුර ටිකක් දෙන්නෙත් අපි. කීයක් හරි හම්බ කරගෙන අපිත් ජිවත්වෙනවා.

ශිරන්ති කුමාරි මහත්මිය -

මේ කන්ද නිසා තමයි අපේ ජීවිත රැකෙන්නේ අපි කන්ද ආරක්ෂා කරනවා. පාර්ක් එකකට වෙන් කරල තියනවා. ඒත් හදන්නේ නැහැ.මේ කන්දේ වටිනා පැළෑටි වර්ග තුනක් තියනවා. සූර්ය කාන්ති, විශ්නු ක්‍රාන්ති හා චන්ද්‍ර කාන්ති පැළෑටි තියනවා.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම් පී.ඒ. ආරයරත්න මහතා - උස්සන්ගොඩ කන්ද අපේ සභාවට අයිති නැහැ. අපට අයිති නැති තැනක සංවර්ධන කටයුතු කිරීම සිදු කළ නොහැකියි. දකුණු පළාත් සභාවේ රුහුණු සංචාරක කාර්යංශය මෙවැනි ස්ථාන සංවර්ධනය කිරීම සිදු කරනවා.

වනජිවී දෙපාර්තුමේන්තුවේ දකුණ කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා - උස්සන්ගොඩ ජාතික උද්‍යානයක් ලෙස ගැසට් කර ති‍බෙනවා. කළමැටිය අඩවි වන කාර්යාලය මගින් එම ප්‍රදේශය පාලන කටයුතු සිදු කරනවා. සංචාරකයින්ගේ පහසුකම් හා වාහන පාර්ක් එකක් සම්බන්ධව වනජිවි දෙපාර්තුමේන්තුව මගින් මීට වසර දෙකකට පමණ පෙර සැලැස්මක් සකස් කර තිබෙනවා. එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව තවම වැඩපිළිවෙළක් නැහැ. උසන්ගොඩ ජාතික උද්‍යානයේ තවත් කොටසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් අයිතිවෙනවා.

සටහන සහ ඡායාරූප ‍
සනත් ගමගේ - ලුණම සමූහ 

නව අදහස දක්වන්න