ජගත් තහනම ඉවත් නොවුණහොත් බැඩ්මින්ටන් පිලට පොදු රඳ මඩුලු ක්‍රීඩා අහිමියි | දිනමිණ

ජගත් තහනම ඉවත් නොවුණහොත් බැඩ්මින්ටන් පිලට පොදු රඳ මඩුලු ක්‍රීඩා අහිමියි

ප්‍රින්ස් ගුණසේකර

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට අවශ්‍ය නම් මේ වසරේ දෙසැම්බර් 31ට පෙර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට පනවා ඇති ජාත්‍යන්තර බැඩ්මින්ටන් තහනම ඉවත්කරගත යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දෙයි.

ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ලෝක බැඩ්මින්ටන් රෙගුලාසි කඩ කිරීමේ චෝදනා මත ජාත්‍යන්තර තහනමක් පසුගිය මස 24වැනිදා පැනවූ අතර දැනට මාසයක කාලයක් ගතවී තිබුණද ඒ වෙනුවෙන් සාර්ථක උත්සහයක් ගෙන නොමැති බවද සිහිපත්කර සිටී.

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ ජත්‍යන්තර තහනමක් හේතුවෙන් කිසිදු ලෝක ක්‍රීඩා උළෙලක් අහිමිවී නොමැති අතර දෙසැම්බර් 31ට පෙර තහනම ඉවත්කර ගැනීමට නොහැකි වුවහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජගත් තරගාවලිය අහිමි කිරීමේ කලු පැල්ලම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නාමයට එක්වේ.

ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමයේ ලේකම් තෝමස් ලුන්ඩ් මහතාගේ අස්සනින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයට කළ ලිඛිත දැනුම් දීමේදී අන්තර්ජාතික බැඩ්මින්ටන් තහනම අවසන් වනතුරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගීවීමේ අවස්ථාව අහිමි කෙරෙන බව දැනුම්දී තිබුණි. මේ තත්ත්වය මත පළමුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා දෙවනුව ආසියානු ක්‍රීඩා උළෙල යන අවස්ථා දෙකම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමිවීමට ඉඩ ඇත.

නිශ්චිත කාල රාමුවක් තුළදී බැඩ්මින්ටන් ව්‍යවස්ථාව අනුව මහා සභා රැස්වීමක් පවත්වා නීත්‍යානුකූල නිලධාරී මණ්ඩයක් පත්කර ගන්නා ලෙස ලෝක බැඩ්මින්ටන් සම්මේලනය දැනුම්දී ඇත.

නිලවරණයේදී ඇතිවූ යම් යම් අඩුපාඩු පෙනවා දෙපිරිසක් එකිනෙකාට විරෝධය පළ කළ අතර එයින් එක් පාර්ශ්වයක් අධිකරණ ක්‍රියා මාර්ගවලට එළැඹුණි. ඒ සමගම ජාත්‍යන්තර තහනම පැනවූ අතර නිලවරණයට ඉදිරිපත්වූ රීෂා ජුමාර්ගේ හා නිශාන්ත ජයසිංහ යන මහත්වරුන්ගේ පාර්ශ්ව දෙක කැඳවා ප්‍රශ්න සමථයකට පත්කර ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා මැදිහත් විය. එහෙත් විශ්වාසය පලුදුවීම හේතුවෙන් අධිකරණ ක්‍රියා මාර්ග හැර සාකච්ඡා පිළිබඳ විශ්වාසයක් නොමැති බව දන්වා එම රැස්වීම රීෂා ජූමාර්ගේ පාර්ශ්වය වර්ජනය කළේය.

පසුව ක්‍රීඩා ඇමැතිවරයාගේ නියෝග මත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ලෝක බැඩ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකාවට පැනවූ ජාත්‍යන්තර තහනම ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනයට ලබාදෙන ලෙසය. ජාතික ක්‍රීඩා සම්බන්ධව මෙතෙක් සිදු කරන ලද සෑම ක්‍රියාවක්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නීති රෙගුලාසි අනුව පිළිගත් ක්‍රමවේද අනුව සිදු කර තිබියදී බාහිර පාර්ශ්වයක දැනුම් දීම මත ජාත්‍යන්තර තහනමක් පැනවීම අසාධාරණ බව එම ලිපිය මගින් පෙන්වා දී තිබුණි. මේ ජාත්‍යන්තර තහනම පනවා ඇත්තේ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ රෙගුලාසි කඩ කිරීමේ චෝදනා හේතුවෙන් බව දැනුම් දුන්න ද එවැනි කොන්දේසි කඩවීමක් සිදුවී නැතැයි එම ලිපිය මගින් දැනුම් දී තිබුණි.

නව අදහස දක්වන්න