සම්මුතිවාදයට තවත් පාඩමක්! | දිනමිණ

සම්මුතිවාදයට තවත් පාඩමක්!

කියුබාවේ ශ්‍රේෂ්ඨ නායකයා වන පිදෙල් ක්‍රැස්තෝ කර්තෘවරයකු වන ලී ලොක්වුඩ්ට වරක් මෙසේ කියා සිටියේ ය. සහෝදරයා! දේශපාලනය කලාවකි. විප්ලවයත් කලාවකි. විප්ලවය සිදුවූයේ විප්ලවය සඳහා නොවේ. එය සිදුවූයේ මනුෂ්‍යයාගේ ශාරීරික මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිම තත්ත්වය ඇතිකරලීම සඳහා ය. ක්‍රැස්ත්‍රෝගේ මේ කියමන සදාකාලික යැයි අපට සිතේ. දේශපාලනය කලාවකි. නොදන්නා අයට එය කළ නොහැකි ය. විප්ලවය ද කලාවකි. නොදන්නා අයට විප්ලවය ද කළ නොහැකි ය. මේ කතාවත් සමඟ අපගේ සිතිවිලි දිව යන්නේ 2015 දී මෙරට සිදු වූ දේදුනු විප්ලවය දෙසටය.

දේදුනු විප්ලවයේ ප්‍රධාන ජයග්‍රහණය සම්මුතිවාදී ආණ්ඩුව යැයි කියන්නට පුළුවන. වරින් - වර රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක තනි ආණ්ඩුවක වාඩිවීමත් නැවත පාර්ලිමේන්තුවෙන් පිටත දී පක්ෂ දේශපාලනයේ යෙදීමත් අතිශය දුෂ්කර ව්‍යායාමයක් සේ සලකන්නට පුළුවන. එහෙත් එය සිදුවෙයි. ඒ අතර ම සම්මුතිවාදී ආණ්ඩුවේ සම්මුතියට වරින් - වර ප්‍රහාර එල්ල වෙයි. එය ම නැවත අභියෝගයට ලක්වෙයි. දේශපාලන වශයෙන් ගත් කල මෙය සාමාන්‍ය ස්වාභාවයක් සේ දැකිය හැකි වුව; සම්මුතිවාදී දේශපාලන ගමන් මඟට එයින් ප්‍රහාරයක් එල්ල වෙයි. අපි එය අත්වින්දෙමු.

ඇමැතිවරු කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා විවේචනය කළෝ ය. ඇතැම්විට ව්‍යංගාර්ථයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හෙළා දුටුවෝ ය. මේවා සම්මුතිවාදයටඑරෙහිව යන්නන් ලෙස දකින්නට පුළුවන. අගමැතිවරයා ඉන්දීය නිල සංචාරයක යෙදෙන අතර එම කාලයේ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පවත්වා සම්මුතිවාදයේ මූලික එකඟතා කඩ කළහ. මෙලෙස මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගෙන තිබුණේ ද නැත. දේශපාලනය කලාවකි යන කියමන නැවතත් අප සිහියට නැ‍ඟේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා රැස්වීමක් පවත්වා තිබේ. මේ රැස්වීමේ ප්‍රධාන අරමුණ වගකීමකින් දේශපාලනයෙහි යෙදීම පිළිබඳ උපදේශනයක් ලබාදීම යැයි කියන්නට පුළුවන. අගමැතිවරයා මෙහි දී ප්‍රධාන උපදේශ දෙකක් ලබා දී ඇත. එක උපදේශයක් වන්නේ ජනාධිපතිවරයා විවේචනය කිරීම නැවැත්විය යුතු බව ය. අනෙක් උපදේශය වන්නේ සම්මුතිවාදී ප්‍රතිපත්තිවලට බලපෑමක් වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීම නැවැත්විය යුතුය යන්න ය. මන්ත්‍රීවරුන් මේ පිළිවෙත් දෙක ම රැකිය යුතුය.

රටේ නායකයන් දෙදෙනා වෙතින් දේශපාලන ආදර්ශ ගණනාවක් ලබාගත හැකි ය. මන්ත්‍රීවරුන් මේවා නිරීක්ෂණය කරන්නේ නම්; වැදගත් යැයි පෙන්වා දිය හැකිය. ජනාධිපතිවරයා කිසිදු රැස්වීමක දී අගමැතිවරයා විවේචනය කරන්නේ නැත. එලෙස ම සෑම වැදගත් අවස්ථාවකදීම අගමැතිවරයාගේ නම ගෞරවයෙන් යුතුව සඳහන් කිරීමටද ජනාධිපතිවරයා වග බලාගනියි. පෙරළා අගමැතිවරයා දෙස බලනවිට ද දැකගත හැක්කේ එම තත්ත්වයම ය. අගමැතිවරයා හැමවිටම ජනාධිපතිවරයාගේ නම මුලින් සඳහන් කරයි. නායකත්වය ඔහුට භාර දෙයි. දෙදෙනාම දේශපාලන පක්ෂ ගැන සංවාද කරන විට පරෙස්සමෙන් වචන තෝරා ගනිති. පරිණත දේශපාලකයන් ලෙස මේ දෙදෙනාම හැසිරෙන බව ඉතා පැහැදිලිය. මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ද අගමැතිවරයාගෙන් ද බොහෝ පාඩම් උගත යුතුය.

ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡාවකට එකඟතාව පළ කිරීම මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක් වී තිබිණි. එබඳු සාකච්ඡාවක් දෙස යථාර්ථවාදීව බලන්නට බොහෝ දෙනකු අසමත් වී ඇත. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා යි. ඔහුට තම පක්ෂය ආරක්ෂා කිරීමේ වුවමනාවක් තිබිය යුතුය. පක්ෂය දෙකට කැඩූ නායකයා යන චෝදනාවෙන් ජනාධිපතිවරයා නිදහස් විය යුතුය. මේ සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ අනුව අගමැතිවරයා එජාප මන්ත්‍රීවරුන්ට සැබෑ තත්ත්වය පැහැදිලි කර දී තිබේ. අගමැතිවරයා මේ මොහොතේ සිදුකර ඇත්තේ අත්‍යවශ්‍ය දේශපාලන ක්‍රියාවලියකි. එක අතෙකින් මන්ත්‍රීවරුන් දේශපාලන අවබෝධයකින් ක්‍රියා කළ යුතුය. තව අතෙකින් සම්මුතිවාදය ඉදිරියට ගෙන යෑම සඳහා සහයෝගය ලබා දිය යුතුය.

බැඳුම්කර සිද්ධිය උදෙසා කොමිසමක් පත් කිරීම; එම කොමිසමේ සාක්ෂි ලබාදීම සඳහා අගමැතිවරයා ඉදිරිපත්වීම සැලැකිය හැක්කේ පිරිසුදු දේශපාලන ගමනකට ශක්තිමත් අත්තිවාරමක් දැමීමක් හැටියට ය. මේ ආණ්ඩුවට එල්ල වූ බරපතළ දූෂණ චෝදනාව බැඳුම්කර සිද්ධිය ය. එය යට ගැසීම වෙනුවට උඩට ගැනීම වැදගත් ය. පරීක්ෂණ කඩිනම් කිරීමත් වැදගත්ය. මේ සිද්ධි දාමයෙන් පෙනී යන්නේ සම්මුතිවාදී ආණ්ඩුවේ යහපාලනය බොරුවක් නොව; ඇත්තක් බව ය. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් කරුණු නොදැන කරන ප්‍රකාශවලින් මේ සියල්ල අවුල්වෙයි. ඇතැම්විට ආණ්ඩුව ලබාගත් ජනතා විශ්වාසය හා ගෞරවයත් එම ප්‍රකාශවලින් විනාශ මුඛයට යයි. මහජන නියෝජිතයා හැඟුම්බර මිනිසකු නොව; බුද්ධිමත් මිනිසකු විය යුතු බව මේ අයට පහදා දිය යුතුව තිබේ.

පිදෙල් කැස්ත්‍රෝ පෙන්වා දෙන ලෙස සෑම විප්ලවයකින් පසුව ම මිනිසාගේ ශාරීරික හා මානසික වෙනසක් ඇතිවිය යුතුය. එය සාධනීය වෙනසක් බවට ද පත්විය යුතුය. 2015 දේදුනු විප්ලවයෙන් අපේ පුරවැසි සමාජ වෙනස් වී ඇතැ’යි සිතන්නට පුළුවන. පොදුවේ ජනතාව ද සාධනීය වෙනසකට ලක් වී ඇතැ’යි සිතන්නට පුළුවන. එහෙත් ඇතැම් දේශපාලකයන් වෙනස් වී ඇති බවක් පෙනෙන්නට නැත. සමහරු පරණ පීල්ලේම යති. සමහරු පීලි පැන යති. එය දේශපාලනයට සුදුසු නැත. දේශපාලන ව්‍යාපාරයක ප්‍රධාන ලක්ෂණ විය යුත්තේ පක්ෂයේ විනය රැකීම ය. නායකයාගේ සිට අලුත් ම සාමාජිකයා දක්වා සියල්ලෝම පක්ෂ විනය රැකිය යුත්තෝ ය.

වර්ඩ්ස්වර්ත් නම් ලෝක ප්‍රකට කවියා වරක් සඳහන් කළේ කෙනකුගේ ජීවිතයේ හොඳම කොටස අමතක නොවන කරුණාව හා ආදරය බව ය. කරුණාවෙන් - ආදරයෙන් ගොඩනැ‍ඟෙන්නේ එකමුතුවයි. හෙවත් සම්මුතිය යි. සම්මුතිවාදය නිසා අපේ රටට හා ජාතියට බොහෝ දේවල් ලැබෙමින් පවතී. අප දැන් විමසා බැලිය යුත්තේ මේ සියල්ල විනාශ කර දමන්නේ ද? නැතහොත් ඉදිරියට යන්නේ ද යන කාරණාව ය. ඉදිරියට යන්නේ නම්; නිසැක ලෙස ම සම්මුතිවාදය තවදුරටත් ශක්තිමත් කළ යුතුය.

නව අදහස දක්වන්න