ජාතික නෙට්බෝල් පුහුණුකරු තේරීමේ අර්බුදය | දිනමිණ

ජාතික නෙට්බෝල් පුහුණුකරු තේරීමේ අර්බුදය

ප්‍රින්ස් ගුණසේකර
හිටපු පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය හා නීතීඥ ප්‍රතිභා මහනාම මහතා පරීක්ෂණයට විරෝධය පා පිටව ගිය අයුරු.

පරීක්ෂණයට විරෝධය පළකොට පැමිණිලිකාර හයසින්ත් පිටව යයි

ජාතික නෙට්බෝල් පුහුණුකරු ධුරයට අයෙකු පත්කර ගැනීම උදෙසා පැවැති සම්මුඛ පරීක්ෂණය විනිවිදභාවයෙන් තොර බවට චෝදනා කරමින් හිටපු පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය ඉදිරිපත් කළ පැමිණිල්ල ඊයේ නැවැත විභාග කිරීමේදී හයසින්ත් විජේසිංහ මහත්මිය විරෝධය පළ කොට පරීක්ෂණයෙන් ඉවතට යයි. පරීක්ෂණය විධිමත්ව සිදු නොවන බැවින් ඉදිරි ක්‍රියා මාර්ගවලට එළැඹෙන බව හිටපු පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මියගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රතිභා මහනාම මහතා පැවැසීය.

“නෙට්බෝල් සභාපතිනියගේ වරදින් පුහුණුකාරිණිය තේරීමේ අක්‍රමිකතා වෙලා තියෙන්නේ. ජාතික පුහුණුකාරිණිය තේරීමේ නිර්ණායක ක්‍රීඩා අමාත්‍යාංශය නෙට්බෝල් සම්මේලනයට ලබාදී තිබියදී සභාපතිවරිය ඒවා වෙනස් කොට තිබෙනවා. ඇය සියලුම ලිපිවලට අස්සන් යොදා තිබෙනවා. එසේනම් ඇය පරීක්ෂණයට පැමිණ අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සභාපතිනිය නැතිව ඒක පාර්ශ්වීය ලෙස පරීක්ෂණය කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙනවා. ඒකට අප එකඟ නෑ. මේ පරීක්ෂණ වාර්තාව නිමාකරන තුරු අප ඉවසා සිටිනවා. ඉන් පසුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා” මහනාම මහතා පැවැසීය.

පැමිණිල්ලෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මිය තවමත් විදෙස් ගතව සිටින අතර ඇය පරීක්ෂණයට පැමිණෙන්නේ නම් නැවැත පරීක්ෂණයට ඉදිරිපත්වන බව මහානාම මහතා සඳහන් කළේය. හයසින්ත් විජේසිංහ මහත්මිය ඉවත්ව ගිය පසු නෙට්බෝල් ලේකම් තිසාංගනී ෂන්මුගනාදන් මහත්මිය ඇතුළු අනෙකුත් නිලධාරිනියන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ක්‍රීඩා ඇමැති උපදේශක මිල්ටන් අමරසිංහ මහතා කටයුතු කළේය.

ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය තෝරා ගැනීම උදෙසා සම්මුඛ පරීක්ෂණ පසුගියදා පැවැති අතර සඳහා හයිසින්ත් විජේසිංහ මහත්මිය හා සොමිතා ද අල්විස් මහත්මිය එම පරීක්ෂණයට පෙනී සිටියහ. දැනට බෲනාහි රාජ්‍යයේ ජාතික නෙට්බෝල් පුහුණුකාරිණිය ලෙස සිටින තිලකා ජිනදාස මෙනවිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ මේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූවාය.

මේ සම්මුඛ පරීක්ෂණයයේදී වැඩිම ලකුණු ලබා ගත් බව කියන තිලකා ජිනදාස මෙනවිය නව ජාතික නෙට්බෝල් පුහුණුකාරිනි ලෙස නිර්දේශ කිරීමට නෙට්බෝල් සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තාවීමත් සමගම හයිසින්ත් විජේසිංහ මහත්මියගෙන් විරෝධතා එල්ල වූවාය.

ලබන වසරේ සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ඉලක්ක කොට ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය තෝරා ගැනීමට නියමිත වේ.

නව අදහස දක්වන්න