ස්ථාවර මිලකට වාහන මිලදී ගැනීමට විකිණීමට ප්‍රතිපත්තියක් මෙවර අය වැයෙන් සැකසුණා | දිනමිණ

ස්ථාවර මිලකට වාහන මිලදී ගැනීමට විකිණීමට ප්‍රතිපත්තියක් මෙවර අය වැයෙන් සැකසුණා

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

පාරිභෝගිකයාට දැරිය හැකි සාධාරණ මිලකටත් වාහන අළෙවිකරුවන්ට ඉක්මණින් මිල ඉහළ පහල නොයා යම් ස්ථාවර මිලකටත් වාහන මිලදී ගැනීමේ සහ විකිණීමේ ප්‍රතිපත්තියක් සකස්වීමට මෙවර අයවැයෙන් මඟපෑදූ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරේන්චිගේ මහතා ප්‍රකාශ කරයි.

හැමදාම වෙනස් වන මිල ගණන් යටතේ වාහන මිලදී ගැනීමට හා විකිණීමට සිදුවූ තත්ත්වයේ වෙනසක් සිදු වූයේ මෙවර අයවැයෙන් රජය වාහන පිටරටින් ගෙන්වීමේදී අයකරන තීරුබදු අය කිරීමේ ප්‍රතිපත්තියේ සිදු කළ සංශෝධනය නිසා බවද සභාපතිවරයා කියා සිටියි.

වසර 2040 වන විට ඛනිජ ඉන්ධන භාවිතයෙන් තොර රටක් බිහි කිරීමේ වාහන ප්‍රතිපත්තිය ඉතාම අගය කළ සභාපතිවරයා එමෙන්ම පරිසර හිතකාමී විදුලි ත්‍රිරෝද, කාර්, බස් රථ ඇතුළු අනෙකුත් රථ රට තුළ ප්‍රචලිත කිරීමට කළ අභීත හා එඩිතර යෝජනාව ප්‍රශංසනීය බවද කියා සිටි‍යේය.

රජය 2018 අයවැයෙන් වාහන සම්බන්ධයෙන් සිදු කළ වෙනස්කම් ගැන අදහස් දක්වමින් ඉන්දික සම්පත් මිරේන්චිගේ මහතා මෙසේද කියා සිටියි.

ලෝකයේ විදුලි බලයෙන් ධාවනය වන රථවාහන නිපදවීම පිළිබඳව දිගු ඉතිහාසයක් ඇතැයි අපට සිතේ. වසර 1960 ගණන්වල පවා මේ සංකල්පය පැවැති තිබේ. එනමුත් විදුලි බලයෙන් ධාවනය කළ හැකි රථවාහන නිපදවීම වේගවත් නොවූයේ ඛනිජ තෙල් සම්පත් හිමි රටවල පැවැති බල අධිකාරිත්වයේ මහිමය නිසාවෙනි. ඔවුන් විදුලි බලයෙන් හෝ වෙනයම් පරිසර හිතකාමී ප්‍රභවයන්ගෙන් රථවාහන නිපදවීම දුර්වල කළහ.

කෙසේ නමුත් ගෝලීය පරිසර උෂ්ණත්වය ඉහළයෑම හා සාගර කලාපීය හිම පද්ධතීන් වේගයෙන් ජලය බවට පත්වීම මත මතු කළ අර්බුදවලට විසඳුම් සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ පරිසරවේදීන්ට සිදු විය. ඒ අනුව පරිසරයට දැඩි බලපෑමක් සිදු කරන කාබන් මුදාහැරීම අවම කරන පරිසර හිතකාමී විභවයන්ගෙන් ධාවනය වන රථවාහන නිපදවන තැනට වර්තමානය වන විට ලොව යොමු වී ඇත.

එලෙස පරිසර හිතකාමී හා ජනතා හිතසුව පිණිස මුල්වන රථවාහන ප්‍රතිපත්තියක් බිහි කිරීමට අයවැයෙන් ඉලක්ක කිරීම අගනේය.

ඒ අනුව 2025දී රජයේ වාහන දෙමුහුන් රථ හෝ විදුලි බලයෙන් ධාවනය වන රථ බවට පරිවර්තනය කරනු ඇත. ඊට සමගාමීව විදුලි රථ රටට ගෙන්විමට, දේශීය ලෙස එකලස් කිරීමට, විදුලි ආරෝපන මධ්‍යස්ථාන බිහි කිරීමට රජය අයවැයෙන් යෝජනා කොට ඇත.

එපමණක් නොව බලශක්ති කාර්යක්ෂමතාව අතින් ගත් කළද විදුලි රථවලින් ඉහළ කාර්යක්ෂමතාවක් සිදු වේ. එහි කාර්යක්ෂමතාව සියයට 80 - 95ත් අතර වේ. ශක්තිය බලය බවට පත්වීමට ඛනිජ‍ තෙල් වලට ඇති හැකියාව අඩුය. ඉන්ධන කාර්යක්ෂමතාව සියයට 70 - 75ත් අතර වේ. ඛනිජ තෙල් තුල සියයට 25ක ච30ක නාස්තියක් සිදු වේ. මේ දුබලතාවයටද විසඳුම් නව යෝජනාවෙන් ලැබී ඇත.

මෙවර අයවැයෙන් රජය සෞඛ්‍ය හා ‍පාරිසරික ආරක්ෂණ පියවරයන් ලෙස ලෝකය සමඟ අනුකූලවීම සඳහා EURO 04 වායු විමෝචන සම්මතය හෝ ඊට සමාන ප්‍රමිතීන්ට වඩා අඩු මෝටර් රථ ආනයනය කිරීම 2018 ජනවාරි 01 වැනිදා සිට තහනම් කිරීම වටින්නේය.

මේ රජයේ යෝජනාව පිළිබඳව ඇතැම් වාහන ආනයනය කරන නියෝජිත ආයතන රජයට වැරදි චිත්‍රයක් මවා එවැනි ප්‍රමිතීන්වලින් යුතු වාහන ධාවනයට අවශ්‍ය ඉන්ධන වල ගුණාත්මකභාවයක් හෝ ප්‍රමිතියක් හෝ අපේ රටේ නැතැයි පවසා යෝජනාව ක්‍රියාත්මක නොවන තැනට තල්ලු කිරීමට උත්සාහ ගන්නා බව දැකිය හැකිය.

ඉන් ඔවුන් උත්සාහ කරනුයේ අමෙරිකානු ඩොලර් 3000 - 4000 මිලකට පහළ ප්‍රමිතියේ එන්ජින් මෙරටට ගෙන්වා අපේ වාහනවලට සවිකොට අධික ලාභ ලබා ගැනීමටයි. බාල තත්ත්වයේ එන්ජින් ඇතුළු වාහන අමතර කොටස් වෙනුවට ප්‍රමිතියෙන් ඉහළ දේ රටට ගෙන්වා අපේ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයාට හොඳ තත්ත්වයේත් සාධාරණ මිලකට වාහනයක් මිලදී ගැනීමට ඉඩකඩ සපුරාලීම වාහන ගෙන්වන නියෝජිතායතනවල යුතුකම විය යුතුය.

රජය මෙවර අයවැයෙන් වාහන වලින් බදු අය කිරීමේදී වටිනාකම මත නොව එන්ජින් ධාරිතාව මත පමණක් බදු අය කිරීමට ගත් තීරණය නිසා වාහනවලට ගෙවිය යුතු ආනයනික බදු ගැන අපට යම් පැහැදිලි චිත්‍රයක් මැවේ. ඒවාගේම රජයට සරල බදු ක්‍රමයක් තුළ ලැබෙන ආදායම ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගත හැකිය.

බදු මුදල් අඩු කොට රජයට නිසි බදු ලෙස නොගෙවා සිටීමට හෝ රජයේ ආදායම් කාන්දුවීමට ඉන් ඉඩක් නොලැබීම සිදු වේ.

මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ට හා විදේශ රටවල දූත මණ්ඩලවල සේවය කර පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ට සහ රාජ්‍ය පරිපාලනයෙන් විශ්‍රාම යන්නන්ට ලබාදෙන බලපත්‍ර සම්බන්ධයෙන් වෙනස්කම් සිදු කර ඇත.

ඒ අනුව සියලු බලපත්‍රවල පැවැරුම් කොන්දේසි සහ ගෙන්විය හැකි රථයේ උපරිම සීමාව ඉවත් කර ඇත. එමෙන්ම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන බලපත්‍ර සහ විදෙස් රටවල සේවය කර පැමිණෙන්නන්ට ලබාදෙන බලපත්‍ර සඳහා උපරිම බදු සහනය රුපියල් මිලියන 03ක් ලෙස දක්වා ඇත.

පරිපාලන ක්ෂේත්‍රයේ විශ්‍රාමිකයන්ට ලබාදෙන සහනය කාණ්ඩ 03කට වෙන් කර ඇත. ඒ අනුව පළමු කාණ්ඩයේ (A) අයට මිලියන 09කත් දෙවැනි කාණ්ඩයේ (B) අයට මිලියන 75කත්, තුන්වැනි කාණ්ඩයේ (C) මිලියන 6කත් බදු නිදහසක් ලැබේ. එසේ නොවේ නම් බදු ගෙවිය යුතු වන්නේ සියයට 20ක් පමණි.

මේ අන්දමට බදු නිදහස් ලබාදීම් තුළින් රාජ්‍ය සේවකයින් රටට සිදු කළ සේවයට ගෞරව කිරීමක් රජය සිදු කොට ඇත. මේ වාහන බලපත්‍රය පැවැරීමටද අවශ්‍ය පහසුව සලසා තිබේ.

විදුලි බලයෙන් ධාවනය වන රථවාහන හිමියන්ට මුහුණදීමට සිදු වන ප්‍රධාන අභියෝගයක් තිබේ. එනම් බැටරිය යළි ආරෝපණය කර ගැනිමේ පහසුකම රටේ ප්‍රමාණවත් තරම් නොමැතිවීමයි. රජය මේ දුර්වලතාව මඟහැරවීමට රටපුරා විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 63ක් බිහි කිරිමට අයවැයෙන් දිරිදීම් සිදු කොට ඇත.

සූර්යබලයෙන් ක්‍රියාත්මක විදුලි ආරෝපණ මධ්‍යස්ථානයක් බිහි කිරීමට අඩුම තරමේ රුපියල් ලක්ෂ 75ක් 80ක් අවශ්‍ය වේ. මේසා විශාල ආයෝජනයක් සිදු කොට විදුලි රථ රටේ භාවිතා නොවේ නම් ඒ අංශ ආයෝජකයෝ දුර්වල වනු ඇත.

විදුලි රථ බල ගැන්වීමට ‍ඉදිකරන ආරෝපණ මධ්‍යස්ථානයක ඇම්පියර් 120කවත් විදුලි බලයක් තිබිය යුතුය. එය සපයා ගැනීමට ට්‍රාන්ස්ෆෝමර් සවි කළ යුතුමය. මූලික වශයෙන් දැනට ඇම්පියර් 60 ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කොට නව මධ්‍යස්ථාන පිහිටුවීමවත් කළ යුතුව ඇත.

රජය ඒ අනුව අය වැයෙන් විදුලි බලයෙන් ධාවනය වන රථ භාවිතය වැඩි කිරීමට නව ආරෝපණ මධ්‍යස්ථාන බිහි කිරීමට දිරිදී තිබීමත් පවිත්‍ර හා හරිත රථවාහන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමත් ජාතියේ මතු පරපුර වෙනුවෙන් ගත් ඉහළම තීන්දුව බව කිව යුතුමය.

 

ජයසිරි මුණසිංහ
ඡායාරූපය මහින්ද විතානරච්චි 

 

නව අදහස දක්වන්න