වසර 35ක වාර්තාවක් බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල අද මොහාලි පිටියට | දිනමිණ

වසර 35ක වාර්තාවක් බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල අද මොහාලි පිටියට

ෆවුස් මොහොමඩ්

වසර 35ක ශ්‍රී ලංකා - ඉන්දීය එක්දින තරග ඉතිහාසයේ මෙතෙක් ඉන්දීය භූමියේදී කිසි දිනෙක එක්දින තරගාවලියක් ජයනොගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) මොහාලි නුවර චන්දිගාත් ක්‍රිකට් පිටියේදී ඉන්දීය පිලට එරෙහිව දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කරයි. දෙපිල අතර ඉන්දීය භූමියේදී වසර 1982 සිට මෙතෙක් පැවැති එක්දින තරගාවලි 9කින් 8ක්ම ජයගැනීමට ඉන්දීය පිල සමත්වූ අතර 1997 වසරේ පැවැති තරගාවලිය පමණක් තරග 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

ඉන්දීය පිලට කඩුලු 7ක පරාජයක් අත්කර දෙමින් දෙපිල අතර ධරම්සාලා නුවර පැවැති පළමු එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා පිල තරග 1-0කින් ඉදිරියෙන් පසුවන නිසා අද තරගය දෙපිලටම තීරණාත්මකය. අද පැවැත්වෙන තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවහොත් එය ඉන්දීය භූමියේදී ශ්‍රී ලංකා පිල ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වෙයි.

නව නායක තිසර පෙරේරාගේ නායකත්වයෙන් එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දස්කම් පෑමට සමත්විය. එබැවින් තිසර පෙරේරාගේ එකම අදිටන වී ඇත්තේ අද තරගය ජයගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වීමටය. මීට පෙර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයන් වැඩිදෙනකුගේ නායකත්වයෙන් පවා ඉන්දීය භූමියේදී එක්දින තරගාවලි පැවැත්වූවත් කිසිදු තරගාවලියකින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා මෙහෙයවීමට කිසිවකු සමත් නොවූහ.

තිසර පෙරේරාගේ බලාපොරොත්තුව එසේ වුවත් ඔහු මෙන්ම පළමු වරට ඉන්දීය පිලට නායකත්වය දෙන රෝහිත් ෂර්මාට නම් අද තරගය ඇතිවීම හෝ නැතිවීම තීරණය කෙරෙන තරගයක් බවට පත්වී තිබේ. පළමු තරගයෙන් අනපේක්ෂිත පරාජයක් අත්කර ගැනීම නිසා අද ඉන්දීය පිල පසුවන්නේ විශාල පීඩනයකිනි. යම් හෙයකින් අද තරගයෙන් ඔවුන් පරාජයට පත්වූවහොත් එය ශ්‍රී ලංකා පිලේ අභිමානයට බලපාන කරුණක් වන අතරම අනික් අතට ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ උදහසට ලක්වීමේ අවස්ථාවක් ද වනු නිසැකය. රෝහිත් ෂර්මා මේ අවස්ථාව දෙකම හොඳින් අවබෝධ කරගෙන සිටින බැවින් සිය ක්‍රීඩකයන් ජයග්‍රහණය දක්වා ඇදගෙන යාමට හැකි සෑම පියවරක්ම ගනු ඇත.

ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ බලඈණිය ටෙස්ට් තරගමාලාවේදී මෙන්ම වේගපන්දු යවන සුරංග ලක්මාල්ගෙන් ශක්තිමත්වී තිබේ. ඔහු පළමු එක්දින තරගයේදී සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. අද තරගයේදී ඉන්දීය පිලේ පිතිකරුවන්ගේ වැඩි අවධානය යොමුවී ඇත්තේ ද ඔහු වෙතය. මේ වනවිට එක්දින කඩුලු 200 සම්පූර්ණ කිරීමට ඔහුට අවශ්‍ය වී ඇත්තේ තවත් කඩුලු 3ක් පමණි.

එම තරගයේදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගිය ආරම්භක පිතිකරු උපුල් තරංග මේ වසරේ ශ්‍රී ලංකා පිලේ වැඩිම එක්දින ලකුණුලාභියා වෙයි. ඔහු පළමු තරගයේදී අර්ධ ශතකයට එක් ලකුණක් අඩුවී සිටියදී දැවී ගියේය. අද තරගයේදී උපුල් තරංග මෙන්ම හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් කෙරෙහි ද ඉන්දීය පිල ඇස යොමු කරගෙන සිටී. පන්දුවෙන් මෙන්ම පිත්තෙන් එක ලෙස දස්කම් දක්වන මැතිව්ස් ශ්‍රී ලංකා පිලේ මැදපෙළ ශක්තිමත් කරන්නෙකි.

පළමු තරගය ජයගැනීමට කාසියේ වාසියත් බලපෑ බව තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු නික් පෝතස් කීවේය. අද තරගයේදිත් කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වනු නිසැකය. මොහාලි පිටියේ මෑත කාලයේ පැවැති එක්දින තරග බැලූ විට ඒ සෑම තරගයක්ම ජයගෙන ඇත්තේ දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායමය. අනිත් අතට මොහාලි තණතීරුව දරම්සාලා මෙන් දැඩි සිසිලක් ගෙන නොදෙන නිසා දෙවනුව පන්දුවට පහරදෙන කණ්ඩායමට හැම අතින්ම වාසිදායක බැව් විචාරකයෝ කියති.

නම් දැරූ පිතිකරුවන් සියලුදෙනාම වේලාසනින් ක්‍රීඩාගාරයට හරවා යැවීමට පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වූවත් අත්දැකීම් බහුල පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි තනි අතින් ඉන්දීය ඉනිම ඉහළට ඔසවාගෙන ගියේය. ඔහු වටිනා අර්ධ ශතකයක් රැස් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 100න් ඔබ්බට ගෙන නොගියානම් එදා ඉන්දීය පිල ලකුණු 50කටත් වඩා අඩුවෙන් දැවීගොස් දැඩි අවමානයකට ලක්වීමට ඉඩ තිබිණි. පීඩනය හමුවේ නොසැලෙන වර්ගයේ ක්‍රීඩකයකු වන දෝනි අද තරගයේදීත් ශ්‍රී ලංකා පිලට දැඩි හිසරදයක් වනු ඇත. මේ විශිෂ්ට පිතිකරුවාට එක්දින ලකුණු දසදහස සම්පුර්ණ කිරීමට තවත් අවශ්‍යවී ඇත්තේ ලකුණු 109ක් පමණි.

නව අදහස දක්වන්න