දුම්රිය ක්‍රීඩාංගණයේ ප්‍රචාරක පුවරු ආදායම ගසාකෑම ගැන පරීක්ෂණයක් | දිනමිණ

දුම්රිය ක්‍රීඩාංගණයේ ප්‍රචාරක පුවරු ආදායම ගසාකෑම ගැන පරීක්ෂණයක්

විජයානි එදිරිසිංහ

ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රාජ්‍ය දේපලවල ආදායම එම දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල සිටින නිලධාරින්ගේ සාක්කුවලට යන බවට ලැබි ඇති තොරතුරු මත එම දෙපාර්තමේන්වට අයත් මවුන්ට් මේරි ක්‍රිඩාංගණය තුළ ප්‍රදර්ශනය කර ඇති විශාල වෙළෙඳ ප්‍රචාරක පුවරු වලින් ලැබෙන ලක්ෂ ගණනක ආදායම ලබා ගන්නේ දැනට පවතින දුම්රිය වර්ජනය මෙහෙයවන බලවතකුගේ සාක්කුවට බව අනාවරණය වි තිබේ

ඒ අනුව එම වෙළෙඳ ප්‍රචාරක පුවරුවල ආදායම මෙතෙක් කාලයක් ලැබීම සහ එම ආදායම වැය කිරිම ඇතුලු සියලු කරුණු සම්බන්ධ පරික්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියෝග කර ති‍බේ .

මේ සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් විමසු විට පවසා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමටගොඩ සහ බේස්ලයින් අතර පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මවුන්ට් මේරි ක්‍රිඩාංගණය හෙවත් වලේ ග්‍රවුන්ඩ් ලෙස හදුන්වන එම ක්‍රිඩංගණ‍ය භූමිය තුළ ප්‍රදර්ශනය කර ඇති එම වෙළෙද පුවරුවල ආදායම දුම්රිය දෙපාර්තමේන්තුවට නොව වෙනත් පුද්ගලයකු‍ විසින් ලබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධව එසේ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දීමට නියෝග කළ බවයි.

සොයා ගත් තොරතුරුවලට අනුව එම නාම පුවරු වලින් මසකට රුපියල් ලක්ෂ හතරකට වැඩි ආදායමක් ලැබෙන බවත් එහි ආදායම එම දෙපාර්තමෙන්තුවේ කාලයක් තිස්සේ සේවය කරන නිලධාරියකු විසින් ලබා ගන්නාබව හෙළිවී ඇත. දැනට ක්‍රියාත්මක වන වැඩි වැටුප් ඉල්ලා සිටින වර්ජනයමෙහෙයවන පිරිස අතර සිටින බලවත් පුද්ගලයකු එම නාම පුවරුවල ආදායම කාලයක් තිස්සේ ලබා ගන්නා බවද මොහුගේ මාසික වැටුප් ආදායම රුපියල් ලක්ෂ දෙක ඉක්මවා යන බවද අනාවරණය වි ඇත

මීට වසර ගණනාවකට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව සතුව රුපියල් කෝටි සිය ගණනක දේපල තිබුණි එම දේපල වලින් විශාල ප්‍රමාණයක් විටින් විට විවිධ පුද්ගලයන් විසින් මිලදීගෙන ඇත. ඒ අතර දැනට තිබෙන දේපලවලින් එම දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් ලක්ෂ ගණනක ආදායම එම දෙපාර්තමේන්තුවට නොව එම දෙපාර්තමේන්තුවේ කාලයක් තිස්සේ විවිධ ආකාරයෙන් බලය පෙන්වාගෙන සිටින බලවත් පුද්ගලයන් විසින් ලබා ගන්නා බවට තොරතුරු හෙළිවී ඇත.

ඒවා සම්බන්ධව විවිධ අවස්ථාවල පරික්ෂණ පවත්වනු ලැබුවත් රාජ්‍ය විගණනය මගින්ද විමසිම් කර ඇතත් එම වංචාවන් නොනැවති ක්‍රියාත්මක වන බවද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 

නව අදහස දක්වන්න