සංගීතයටත් ටෙක්නෝ දෙවි බැල්ම | දිනමිණ

සංගීතයටත් ටෙක්නෝ දෙවි බැල්ම

ඉස්සර කාලේ ගායකයෙක් වෙනවා කියන්නේ රජ වෙන එක තරමට අමාරුය. අපි පොඩි කාලේ ඉදන් අහලා තිබුනේ ගුත්තිල පඩිවරයා වැනි මහා ගාන්ධර්වයන් ගැනය. සංගීතයට අධිපති වූ සරස්වතිය ගැනය, ග්‍රීක ඇපලෝ දෙවියන් ගැනය. ගායකයෙකු ගායිකාවක වෙන එකට නිකම්ම සිංදු කියන්න පුළුවන් වුණත් ඒ කාලේ එය මදිය. මනා අධ්‍යාපනයක්, ශික්ෂණයක් සහ උත්තුංග හඬ පෞර්ෂයක් අවශ්‍ය විය. ලංකාවේ කපුගේලා, කේමදාසලා, අමරදේවලා, නන්දා මාලනීලා බිහිවන්නේ එහෙමය.

ඒත් දැන් එහෙම කිසිම අවුලක් නැත. සංගීතයට අධිපති අලුත් දෙවියෙක් ද සිටින්නේය.මේ ටිකේ මේ අලුත් දෙවියාට රාජකාරි බහුලය.මොකද අපේ සමහරක් ඇමතිතුමන්ලාට වාගේ එයාටද සොයා බලන්නට වෙන විෂය පථය ටිකක් වැඩිය. එයා දෙයියන්ගේ මල්ලිය. දැන් ලංකාවේ සංගීතයටත් අධිපති දෙයියන්ගේ මල්ලි වූ සල්ලිය.

මේ අලුත් දෙවි උතුමාණෝ හරි අපූරුය. සල්ලි තියෙනවා නම් ස්වර හත නොදැන වුණත් ගායකයෙකු වෙන්නට සියලු පහසුකම් සලසා දෙන්නේය. එයාට ළඟදී සිට අලුතෙන් මිත්‍රයෙක්ද ලෑස්ති කරගෙන කරගෙන ඉන්නේය. මේ යාළුවා අලුතෙන් පත්වූ දෙවැනි පෙළ දේවතාවෙකි. එයාගේ නම ටෙක්නොලොජි දෙවියාය. ආදරේට කියන්නේ ටෙක්නෝ දෙවියා කියාය. මෙයා හෙන හයි කාරයෙකි. එයාට බැරි වැඩක් ඇත්නම් ඒ බොහෝම ටිකකි. ටික කලක සිට සල්ලි දෙයියා ෙටක්නෝ දේවතාවත් එක්ක සංගීතය නගා සිටුවන්න පොඩි ව්‍යාපෘතියක් පටන් ගත්තේය. ඒ සිංදු කියන්න බැරි නමුත් සිංදුවක් කියා ලස්සන මියුසික් වීඩියෝ එකක් කර ප්‍රසිද්ධ වෙන්න ආසා අයට සහය දෙන වැඩපිළිවෙලකි. මේ ආසාව තියෙන අය ළඟ තිබිය යුතු වන්නේ යහමින් සල්ලි පමණි. සල්ලි තියෙනවා නම් සිංදු වකාරෙටය.

මේ විදියට ව්‍යාපෘතියට බැදෙන අයට විකල්ප කීපයක් තියෙන්නේය. ශ්‍රැතියට බඹ පනහක් හැටක් එහායින් සිංදුවක් කියාගන්න පුළුවන් අයට තියෙන්නේ පුළුවන් විදිහට කියාගන්නා කතන්දරය ටෙක්නෝ දේවතාවාට දෙන්නටය. මේ කතන්දරය අරගන්නා ටෙක්නෝ දේවතාවා ඒක නියමිත ශ්‍රැතිය දිහාවට ඇදගෙන ඇවිත් ඉෆෙක්ට්ස් ටිකක් එහෙම දමා කම්පියුටර් කිංකිණි සද්ද එහෙම දමා ඒක නූතන ගීතයක් බවට පත්කරන එකය. ඊට පස්සේ වෙන්ඩ ගායකයාගේ තාලෙට කට හොලවන වීඩියෝ එකකට ඒ ගීතය සැට් කරයි. ඊට පස්සේ මේ අපූරු නිර්මාණය හොද ගාණකට විකුණයි.

එහෙමවත් ශ්‍රැතියක් පිහිටලා නැති අයට තියෙන්නේ ටෙක්නෝ දෙයියාට තමන්ගේ කටහඩ විතරක් පටිගත කර දෙන්නටය. සල්ලි දෙයියො ගාව අපූරුවට සිංදු කියන්න පුළුවන් දුප්පත් කොල්ලන් කෙල්ලන් ඇත්තෝය. එයාලා ලවා අගේට සිංදුව තාලෙට කියවාගන්නා ටෙක්නෝ දේවතාව අර පටිගත කරගත් කටහඩට ගීතවත් කටහඩට ආරෝපණය කර දෙන්නේය.

මේ අපූරු නිමැවුම දැක්කාම සල්ලි ඕනෑ තරම් දී අනේ බලන්න මට කොයිතරම් ලස්සනට සිංදු කියන්න පුළුවන්ද කියා කියමින්, ඇෆ්.ඇම්.නාලිකාවලටත් කීය කීය හරි දී මාර්කටිං දෙවියාට බාරහාර වුණාට පස්සෙන් පහු යන බස් එකක් බස් එකක් ගානේ හන්දියක් හන්දියක් ගාණේ මේ සිංදුව ඇහෙන්නට පටන්ගන්නේය. අහලා අහලා ඔක්කාරේ යනකම්ම අපට සිංදුව ඇහෙන්නේය.

වෙලාවකට එහෙමවත් අහන්න බැරි තරමේ සිංදු හැදෙන වෙලාවල්ද ඇත. ටෙක්නෝ දෙයියාටද හදා ගන්න බැරි තරමේ යාං හෑලි සල්ලි දෙයියා ගාවට උස්සාගෙන ආවාම එයා මේවා වහාම යොමුකරන්නේ දහ අටෙන් ඉහළ අංශයටය. ඒ අංශයේ කස්ටියගේ ප්‍රධානම වගකීම වන්නේ මේ යාංහෑල්ල ඇහෙන්නේ නැතිවෙන තරමට නාරි රැඟුම් කීපයක් එක්ක වීඩියෝ පටියක් කිරීමය. සිංදු කියන්නට බැරි අය වාගේම එයිහැටි රඟපාන්නටද බැරි, නමුත් ඒකටම ආසා කොටසක් ඉන්නා නිසා වැඩේ එයි හැටි අමාරු නැත. ඊට පස්සේ කවුරුවත් සිංදුව අහන්නේ නැත. රූප ටික දිහා විතරක් කට ඇරගෙන බලාගෙන ඉන්නේය. ඒ වගේ මියුසික් වීඩියෝ දුර බස් රථවල ඇති ටීවීවල යද්දී හරි අපූරුය. මාමලාත් සීයලාත් කටවල් ඇරගෙන ඒවා දිහා බලාගෙන ඉන්න හැටි දැක්කාම අනේ පිනක් කියා හිතෙන වාරද නැත්තේ නොවේය.

කාලයත් එක්ක මේ ව්‍යාපෘතිය ටෙක්නෝ දේවතාවත් සල්ලි දෙයියාත් ජයටම කරගෙන යන්නෝය. ඒ සිංදු මාර විදියට හිට් වෙනවාය. ඒ හින්දා දැං සිංදු කියන්න පුළුවන් අයට වඩා ඉන්නේ සිංදු කියන්න බැරි අයය. සංගීතය දැං අපූරුවට නගා සිටුවිලාය. කවුරුත් ඉතා සතුටෙන් ය.

අමාලි මල්ලවආරච්චි
@mllwrachch 

නව අදහස දක්වන්න