නවසීලන්තය 2-0කින් විස්සයි20 තරගාවලිය දිනයි | දිනමිණ

නවසීලන්තය 2-0කින් විස්සයි20 තරගාවලිය දිනයි

 සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 119ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් පිල සමත් විය.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ අතර තරග 3කින් සමන්විත තරගාවලිය 2-0කින් ජය ගැනීමට සත්කාරකයන්ට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 243ක් රස්කළ අතර පිළිතුරු ලෙස කොදෙව් පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 124ක් පමණි.

පන්දු 47කින් වේගවත් ශතකයක් රැස්කළ ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ නවසීලන්තය වෙනුවෙන් රැස්කළ වේගවත්ම විස්සයි20 ශතකයේ වාර්තාවද තමන් සතු කර ගත්තේය. ඉන් පෙර බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 50කින් ශතකය රැස්කර තිබිණි. එය ඔහුගේ තෙවැනි විස්සයි20 ශතකය වන අතර නවසීලන්තය වෙනුවෙන් පිතිකරුවකු වාර්තා කළ වැඩිම ශතක ගණනද වෙයි. මුන්රෝ දැවී යනවිට පන්දු 53කින් ලකුණු 104ක් ලබාසිටියේ හතරේ පහර 3ක් හා හයේ පහර 10ක් සමගිනි.

මාටින් ගප්ටිල් පන්දු 38කින් ලකුණු 63ක් ඉනිමට එක් කළේය.

ඇන්ඩෘ ෆ්ලෙචර් පන්දු 32කින් ලකුණු 46ක් රැස්කරමින් කොදෙව් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. කොලින් මුන්රෝ අවසන් තරගයේ මෙන්ම තරගාලියේ වීරයා ලෙසද නම් කෙරිණි. 

 

නව අදහස දක්වන්න