චැම්පියන් ලීග් පාපන්දු රිනවුන්-කොළඹ තීරණාත්මක ගැටුම හෙට | දිනමිණ

චැම්පියන් ලීග් පාපන්දු රිනවුන්-කොළඹ තීරණාත්මක ගැටුම හෙට

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරගය හෙට (14) ප.ව.6.30ට තුරඟ තරග පිටියේ දී පැවැත්වෙයි.

මෙහිදී තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන රිනවුන් පිල සමග දෙවැනි ස්ථානයේ පසුවන කොළඹ පාපන්දු සමාජය තීරණාත්මක තරගයට පිවිසෙයි.

පසුගියවර පැවැති තරගාවලියේ අනුශූරයන් වූ රිනවුන් පිල මේ තරගය ජය ගනිමින් හෝ ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීමෙන් කුසලානය සතුකර ගැනීමට සමත්වන අතර එවර ශූරයන් වූ කොළඹ පිලට එය රැක ගැනීමට නම් තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ.

මෙවර තරගාවලියේ අපරාජිතයන් වූ රිනවුන් පිල සහභාගිවූ තරග 16න් 12ක් ජයගෙන ප්‍රසාද ලකුණු 40ක් සමගින් පෙරමුණ ගෙන සිටින අතර කොළඹ පිල සහභාගිවූ තරග 16න් එක් තරගයක් පරාජයට පත්වී තරග 11 ජය ගැනීමට සමත්ව සිටී. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 37කි. මේ තරගයෙන් කොළඹ පිලට ජය හිමිවුවහොත් ප්‍රසාද ලකුණු සම වෙයි. එහෙත් ගෝල් සංඛ්‍යාවෙන් ඉදිරියෙන් සිටින කොළඹ පිලට ශූරතාව හිමිවනු ඇත. ඔවුන් මේ වනවිට ගෝල් 34ක් ලබාසිටින අතර ඔවුන්ට එරෙහිව රැස්කර ඇති ගෝල් සංඛ්‍යාව 11කි.

රිනවුන් පිල මේ වනවිට රැස්කරගෙන ඇත්තේ ගෝල් 27ක් පමණි. ඔවුන්ට එරෙහිව ගෝල් 17ක් වාර්තා වී තිබේ.

තරගාවලියේ තෙවැනි ස්ථානය වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජයට හිමිවූයේ ප්‍රසාද ලකුණු 29ක් සමගිනි. ඔවුන්ට, ෆෙලික්න්ස් පිල සමග පැවැත්වීමට නියමිතව තිබූ අවසන් තරගයෙන් නිතර ජයක් හිමිවිය.

කණ්ඩායම් 18ක් සහභාගිවූ තරගාවලියේ 17වැනි තැන පොලිස් පිලටත්, අවසන් ස්ථානය මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයටත් හිමිව ඇති අතර ඔවුන් 2018 තරගාවලියෙන් ඉවතට විසිවෙයි. එම ස්ථාන 2 සඳහා මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ තරගාවලියේ ශූරයන් හා අනුශූරයන් එක්වනු ඇත. 

 

නව අදහස දක්වන්න