පාසල් සිසුවකු වෙනුවෙන් රජයෙන් වසරකට රු. 48,000ක් | දිනමිණ

පාසල් සිසුවකු වෙනුවෙන් රජයෙන් වසරකට රු. 48,000ක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සියලු විෂය ධාරාවන්ගෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන ලැබූ හිමිනම ඇතුළු දරු දැරියන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ත්‍යාග පිරිනැමීමක් ඊයේ (12 දා) එම දෙපාර්තමේන්තුවේදී සිදුවිය.

ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබූ දිලිනි සඳුනිකා පලිහක්කාර, භෞතික විද්‍යා විෂය යටතේ ශ්‍රීධරන් දුවාකරන්, වාණිජ්‍ය විෂය යටතේ එස්. ඒ. දුලානි රසන්තිකා, කලා විෂය යටතේ පත්බේරියේ මුනින්දවංශ හිමි, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය යටතේ පාරමී ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය යටතේ එම්. කේ. ලක්ෂිත චතුරංග මැදලගම, පොදු/ වෙනත් විෂය ධාරාව යටතේ ජේ. හිරුණි ශාක්‍යා අබේතුංග යන දරු දැරියන් හට මෙහිදී ත්‍යාග පිරිනැමිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා - අප අද සිදුකරනු ලැබූ දෙය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රාජකාරියට එහා ගිය සමාජ වගකීමක්. පෞද්ගලික අංශය මෙවැනි සමාජ වගකීම් ඉටුකරන නමුත් රාජ්‍ය ආයතනවලට එවැනි වගකීමක් පැවරී නැහැ.

මේ සියලු දරුවන් මෙලෙස සුවිශේෂී ජයග්‍රහණ ලබාගැනීමට මෙරට පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය බෙහෙවින් උපකාරී වනවා. නමුත් නිදහස් අධ්‍යාපනය දරු දැරියන් හට නිදහසක් සේ දැනුණද රජයට එය වැය බරක්. රජයට නිදහස් අධ්‍යාපනය ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සුවිශේෂී ලෙස දායක වෙනවා. ඒ මේ රටේ ජනතාව විසින් ලබාදෙන බදු මුදල් නිසා. වසරකට අධ්‍යාපනය ලබන එක් දරුවෙකු හට රජය රුපියල් හතළිස් අටදහසකට ආසන්න මුදලක් වැයකරනු ලබනවා. මෙවර අපි රජයට රුපියල් බිලියන හයසිය දෙකක මුදලක් ආදායම් බදු ලෙස ලබාදුන්නා.

ලංකාවට ආදායම් බදු ලබාදෙන ප්‍රධාන ආයතන ලෙස රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හඳුන්වන්න පුළුවන්. නමුත් වසරකට සියලු ආයතනවලින් රජයට ලැබෙන්නේ රුපියල් බිලියන 2800 කට ආසන්න මුදලක් පමණයි. රජය ගත් ‍ණය මුදල ආදායම් බදුවලින් ගෙවාගත නොහැකියි.

මෙලෙස මෙම දරු දැරියන් වෙනුවෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සිදුකරන පළමු ඇගයීමයි.

මෙම අවස්ථාවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් සියලු දෙනා ඇතුළු පිරිසක් සහභාගි විය.

සඳුන් රමේෂ්
ඡායාරූප - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න