පොලිස් බලතල! | දිනමිණ

පොලිස් බලතල!

 කතරගම සිද්ධිය රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වැ තිබේ. පොලීසියට මහජනයාට නිස්කාරණේ වෙඩි තැබිය හැකි ද? පහර දිය හැකි ද? වැනි සටන් පාඨ බොහෝ දෙනකු සමාජගත කරන බව පෙනෙයි. කතරගම සිද්ධිය පමණක් නොව; තවත් සිද්ධි කිහිපයක් ඔස්සේ ඉහත කී ප්‍රශ්න ඉස්මතු වන බව පෙනෙයි. පානදුරේ සිද්ධිය ඒ අතරින් ප්‍රධාන ය. පොලිස් පහරදීමකින් පුද්ගලයකු මිය ගිය බවට චෝදනාවක් පානදුර පොලීසියට එල්ල වී ඇත. ඒ සම්බන්ධයෙන් වූ විරෝධතා කිහිපයක තොරතුරු අද පුවත්පත්වල පළ කර තිබිණි. පොලීසිය මහජනයාට පහරදීම වැරැදිය. මහජනයා නීතිය අතට ගෙන පොලීසියට පහරදීම ඊටත් වඩා වැරැදි ය.

කතරගම සිද්ධිය ගැන පොලීසිය කියන්නේ එක කතාවකි. එම සිද්ධිය ගැන පළාත්වාසීන් හා උද්ඝෝෂකයන් කියන්නේ තව කතාවකි. කවුරු හරි ද කවුරු වැරැදිද යන්න තීන්දු කිරීම සඳහා විමර්ශනයක් කළ යුතුය. විමර්ශනයෙන් පසුව නඩු විභාගයක් ද පැවැත්විය යුතුය. ඒවා අවසන් වන තුරු වරදකරුවන් සොයා ගත නො හැකි ය. පොලිස්පතිවරයා ඉතා බුද්ධිමත් තීන්දුවක් ගනිමින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙවත් සී.අයි.ඩී.එකට භාර දී තිබේ. පොලීසිය ම මෙහි විමර්ශන කටයුතු සිදු කළේ නම් එය සාධාරණ නැතැ’යි කියන්නට පුළුවන. වෙඩි තැබූ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබා ඇත. උද්ඝෝෂකයන් හැට ගණනක් ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇත.

සිද්ධිය පිළිබඳ අපගේ විමැසුම් ඇස යොමු කළහොත් කතරගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනකු සාදයකට ගොස් යතුරු පැදියකින් මහා මාර්ගයේ ගමන් කර ඇත. පොලිස් පා-මුර සංචාරයේ යෙදුණු දෙදෙනකු යතුරු පැදිය නවත්වන ලෙස අණකර තිබේ. එහෙත් අණ නොතකා යතුරු පැදිය ධාවනය කර ඇත. ඒ අනුව කොස්තාපල්වරයා වෙඩි තබා ඇත. අයෙක් මිය ගියේය. අනෙක් අය තුවාල ලැබීය. ඒ පොලිසියේ කතාවයි. යතුරු පැදියේ පසුපස රැඳී සිටි පුද්ගලයා කියන්නේ වෙනත් කතාවකි. ඔහු කියා සිටින්නේ පොලිස් අණ පරිදි බයිසිකලය නැවැත් වූ පසු කොස්තාපල්වරයා බයිසිකලය පැද වූ තැනැත්තාට වෙඩි තැබූ බව ය. මේ මත දෙකෙන් නිවැරැදි මතය කුමක්දැ’යි අපට නිශ්චය කළ නොහැකි ය.

සාමාන්‍ය දැනීමට අනුව කරුණු කිහිපයක් දැක්විය හැකිය. එක; පලායන යතුරු පැදියකට වෙඩි තැබූයේ නම් වෙඩිල්ලට ගොදුරු විය යුත්තේ බයිසිකලයේ පසුපස යන පුද්ගලයා ය. ඔහු සුළු තුවාල සහිත ව ජීවිතය බේරාගෙන ඇත. මිය ගොස් ඇත්තේ යතුරුපැදිය පැද වූ තැනැත්තා ය. ඒ හැරත් වෙඩි තැබීමක් සිදුකිරීමට තරම් බරපතළ සිද්ධියක් එහි නැත. පොලිස් නිලධරයා නීතියට අනුව ක්‍රියා කරන්නේ නම්; බයිසිකලයේ රෝදවලට වෙඩි තැබිය යුතුය. නැතහොත් සැකකරුවන්ගේ දණින් පහළ ප්‍රදේශයට වෙඩි තැබිය යුතුය. ඒ කිසිවක් මෙහිදී සිදු වී නැත. පොලිස් නිලධාරියා හා යතුරුපැදිකරු අතර අරෝවක් තිබුණේ ද යන්න අප දන්නේ නැත. ඒ හැරෙන්නට සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස උරණ වූ නිලධරයා තදබල කෝපය නිසා යතුරුපැදිකරුට වෙඩි තැබූයේ ද යන්න ද අප දන්නේ නැත.

පොලිස් දෙපාර්තමේන්තුව මෙන් ම එහි නිලධාරීන් ද යම් පමණකින් අභියෝගයකට ලක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. වෙනත් රටවල පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය භාරයට අයත් වන්නේ අපරාධ විමර්ශනය, අපරාධ වැළැක්වීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම, රථ වාහන හැසිරවීම යනා දී කරුණු ය. ශ්‍රී ලංකාවේ පොලීසියට ද ඒවා අයත් වන අතර ඊට අමතරව ඩෙංගු නිවාරණය, වැලි ජාවාරම නැවැත්වීම, කැලෑ ආරක්ෂා කිරීම, වෙරළ ආරක්ෂා කිරීම, වන සතුන් ආරක්ෂා කිරීම පමණක් නොව; දුම්රිය හරස් ගේට්ටු ළඟ මුරකිරීමත් අපේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් දේවල් ලෙස ලේබල් ගත වී ඇත. මේ සියල්ල සිදු කිරීමට අවශ්‍ය තරම් පොලිස් නිලධාරීන් නැත. ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව ලක්ෂයකට අඩු ය. එම පිරිස මුළු මහත් ශ්‍රී ලංකාවට ම සේවය සැපැයිය යුතුය.

‘පොලිස්’ යන්න ප්‍රංශ වචනයක් බව කියති. එහි අර්ථය ලෙස සටහන් වැ ඇත්තේ සිවිල් පරිපාලනයට අදාළ ආරක්ෂකයා යන්න ය. සිවිල් පරිපාලනයෙන් සිදුවන්නේ මහජනයාට අදාළ එදිනෙදා කටයුතු නිරාකූල කිරීම ය. එලෙස මහජන කටයුතු වෙනස් කිරීම පහසු දෙයක් ‍නොවේ. කුමක් වුව මේ කතන්දරවලින් හෙළිදරව් වන්නේ පොලීසිය හා මහජනයා අතර පවත්නා අන්තර් පරායන සම්බන්ධතාව යි. ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව යනු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ නිර්මාණයකි. එය මුලින්ම පිහිටුවන ලද්දේ 1866 දී ය. ඒ අනුව අපේ පොලීසියේ වයස අවුරුදු එකසිය පනස් දෙකකට ආසන්න බව පෙනී යයි. ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ පොලීසිය රටේ විවිධ ක්ෂේත්‍ර නඟා සිටුවීම සඳහා බරපතළ සේවාවක නිරත වී ඇති බව ද කිව යුතුය.

පොලීසිය මහජනයාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා විශාල සංඛ්‍යාවක් තිබේ. ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නඩු විභාග ද පවතී. මේවා ගැන ජනතාව උනන්දු වන බව ද පෙනෙන්නට තිබේ. එහෙත් පොලිස් නිලධාරීන්ට පහරදීම, ඔවුන් ඝාතනය කිරීම, ඔවුන් සේවා ස්ථානවලින් දුෂ්කර පළාත්වලට මාරු කර යැවීම ආදිය ගැන මහජන විරෝධතාව ප්‍රබල ලෙස නැ‍ඟෙන්නේ නැත. මහජනයා පොලීසියට වෛර කරන බවක් එයින් හැඟී යයි. එහෙත් ඇත්ත තත්ත්වය වන්නේ පොලිස් සේවාවකින් තොරව මහජනයාට සිය පැවැත්ම හා ආරක්ෂාව තහවුරු කර ගත නොහැකි බව ය. රටේ අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන විමසන විට පෙනී යන්නේ අපරාධවල යම් පසුබෑමක් ඇති බව ය. එහි සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ පොලීසියට ය.

කතරගම සිද්ධිය, පානදුරේ සිද්ධිය හා තවත් සිදුවීම් කිහිපයක විමර්ශනවලින් පෙනී යන්නේ ජනතාව නීතිය අතට‍ ගෙන ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නේ නම් එය ඉතා භයානක බව ය. කතරගම මහජන ආරවුලෙන් එම පොලිස් ස්ථානයේ ගොඩනැඟිලිවලට හා රථ වාහන වලට ද බලවත් අලාභ හානි සිදු වී ඇත. එවැන්නක් බුද්ධිමත් සමාජයක් තුළ නොසිදු විය යුතුය. උද්‍ඝෝෂකයන් අවසානයේ කතරගම පොලිස් මුරපොළ කිහිපයකටද පහර දී ඇත. මේවායින් පෙනී යන්නේ ජනතාව බුද්ධිමත් ලෙස ක්‍රියා නොකරන බව ය. රාජ්‍ය නිලධාරියකුට තම සේවාව ඉටු කර ගැනීමට නොහැකි ලෙස කිසිවකු ක්‍රියා කරන්නේ නම්; එය අපරාධයක් සේ සැලැකිය හැකි ය.

අවසන් ලෙස කිව යුත්තේ නිලධාරීන්ගේ පැත්තෙන් මෙන් ම මහජනයාගේ පැත්තෙන් ද කරුණු විමැසීමට අප යා යුතු බවය. නිවැරැදි උත්තරය ලැබෙන්නේ ඊට පසුව ය. 

 

නව අදහස දක්වන්න