සකපෝරුවේ කැරකෙන චන්ද්‍රාවතීගේ ආර්ථිකය | දිනමිණ

සකපෝරුවේ කැරකෙන චන්ද්‍රාවතීගේ ආර්ථිකය

මැටි වළං කර්මාන්තයේ නියැළී සිටින බෙලිඅත්තේ මිහිඳුපුර චන්ද්‍රාවතීගේ වයස අවුරුදු 50 කි. ඇය පාරම්පරිකවම මැටි වළං කර්මාන්තයේ යෙදෙමින්, තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අපමණ වෙහෙසක් දරමින් සිටී. අද වන විට වෙළෙඳ පොළේ මැටි වළං සඳහා එතරම් ඉල්ලුමක් නොමැති වුවත්, එම අභියෝගයට මුහුණ දෙමින්, තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා ඇය ගන්නා වෙහෙස අපමණ ය.

“අපේ අම්මලා, තාත්තලා ඒ කාලේ ඉඳන් ම කළේ මැටි වළං හදන එක. මම ඒවා බලන් ඉඳලා, පොඩි කාලේ ඉඳන්ම විවිධ වළං වර්ග නිෂ්පාදනය කළා. මට නොයෙකුත් ආකාරයේ වළං හදන්න පුළුවන්. ඇතිළි, බත් උයන මුට්ටි, මූඩි, නෑඹිලි, කළගෙඩි, ගුරුලේත්තු, මල් පෝච්චි, කිරි මුට්ටි මේ වගේ ඕන දෙයක් මට හදන්න පුළුවන්. සමහර අය ගෙදරට ඇවිල්ලා, ඒ අයට ඕන වර්ගවල වළං හදාගෙන යනවා. මැටි කඩාගෙන ආවට පස්සේ, ඒවා මෝලකට දීලා, හීනි වෙන්න අඹරවා ගන්න ඕනැ. එහෙම නැතිව වළං හදන්න බැහැ. එක එක වර්ගවල වළං හදනකොට, ඒකට අතේ හුරුව තියෙන්න ඕනැ.

මම දැන් විවාහ වෙලා ඉන්නේ. මගේ සැමියා තමයි මේ සඳහා අවශ්‍ය උදවු උපකාර කරන්නේ. දුර ඈත ගිහිල්ලා මැටි කඩලා ගෙනත් දෙනවා.ඒ වගේම, මම හදන වළන් පොළවල්වලට ගිහින් විකුණන්නෙත් එයා තමයි. අපේ ගෙදර දොරේ එදිනෙදා වැඩ කටයුතු සඳහා විය හියදම් වන මුදල් කීයක් හරි හොයා ගන්නේ, මම මේ කරන රැකියාවෙන්. අපට වෙන ආදායම් මාර්ගයක් නැහැ. අපේ පවුල ජීවත් වෙන්නේ මේ කර්මාන්තයෙන්. ඒ ගැන මට සතුටක් තියෙන්නේ. අපේ ජීවිත ශක්තිමත් කර ගන්න , ස්ව ශක්තියෙන් නැගී සිටින්න අපට හැකි වුණේ මේ කර්මාන්තය නිසයි. මීට කලකට පෙර මේ රැකියාවෙන් මුදල් හොඳට හම්බ කළා. ඒත් අද වෙද්දි නිෂ්පාදන වියදම් වැඩියි. මේ නිෂ්පාදන විකුණා ගන්නත් අපහසුයි.

මැටි කඩාගෙන එන්න අපි බොහෝ දුර යනවා. හැම මැටි වර්ගයම මේ සඳහා සුදුසු නැහැ. ගෙදරට මැටි ගේන්න බොහෝ මුදල් වැය කරන්නත් වෙනවා. හදන වළං ටික විකුණ ගන්නත් ලොකු දුකක් විඳින්න ඕනැ. අපි වගේ පාරම්පරිකව මෙවැනි කර්මාන්තවල යෙදිලා ඉන්න අය ගැන බලලා, රජයෙන් හෝ යම්කිසි සහනදායී වැඩපිළිවෙළක් සකස් කරනවා නම්,ඒක අපට සහනයක්.” ඇය වැඩි දුරටත් පවසන්නී ය.

රෝහණ ආරියරත්න
හම්බන්තොට විශේෂ

නව අදහස දක්වන්න