ටෙස්ට් තරගමාලාව ජයගත් ශ්‍රී ලංකා පිල නව ගමනක ආරම්භය සටහන් කළා | දිනමිණ

ටෙස්ට් තරගමාලාව ජයගත් ශ්‍රී ලංකා පිල නව ගමනක ආරම්භය සටහන් කළා

රංගන හේරත් කියයි

අකිල ධනංජය, රොෂේන් සිල්වා සහ හේරත් වාර්තා පොතට

 බංග්ලාදේශ පිලට එරෙහිව ලැබූ ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය තම කණ්ඩායමේ නව ගමනක ඇරැඹුම බව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප්‍රවීණ ක්‍රීඩක රංගන හේරත් පවසයි. පෙරේදා ඩැකා නුවරදී නිමාවට පත්වු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 215ක ජයක් වාර්තා කරමින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් ජයගැනීමෙන් පසුව හේරත් එසේ කීවේය.

මේ තරගයේ ශ්‍රී ලංකා පිල ලබාදුන් ලකුණු 339ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිල තුන්වැනි දිනය වූ පෙරේදා (10) පස්වරු තේ පානයට පෙර ලකුණු 123කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අකිල ධනංජය විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී ලකුණු 25කට කඩුලු 5ක් දවාලමින් තරගය පුරා කඩුලු 8කට හිමිකම් කීවේය. ප්‍රතිවාදී දෙවැනි ඉනිමේදී ලකුණු 49කට කඩුලු 4ක් දවාලමින් වමත් පන්දු යවන්නකු ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ බිඳ දැමූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව අත්පත් කරගැනීමට හේරත් සමත්විය. ඔහු විසින් බිඳ දමනු ලැබුවේ පාකිස්තානයේ හිටපු නායක වසීම් අක්රාම් ටෙස්ට් කඩුලු 414ක් දවාලමින් තැබූ වාර්තාවය. පෙරේදා තරගයත් සමග හේරත් විසින් බිඳ දමනු ලැබූ කඩුලු සංඛ්‍යාව 415කි.

‘අපි ඩුබායි නුවරදී පාකිස්තානය තරග 2-0කින් පරදවා ටෙස්ට් තරගමාලාව ජයගත්තත්, ඉන්දියාවේදී පරාජයට පත්වුණා. මේ තරගමාලාවේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලේ නව ඇරැඹුමක් බවයි මට හිතෙන්නේ. මේ ජයග්‍රහණය තව දුරටත් ඉදිරියට ගෙන යාමට අපට හැකිවේවි කියලා මං බලාපොරොත්තු වෙනවා. සංගක්කාර සහ මහේල කණ්ඩායමෙන් ඉවත්වීමෙන් පසුව කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ අවස්ථාවත් අහිමිවුණා. ඒත් අවුරුදු 3කට පසුව අපේ පිතිකරුවන් නැවතත් ලකුණු රැස් කිරිම ආරම්භ කර තිබෙනවා. අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වගේම, නවක ක්‍රීඩකයන්ගෙත් සංකලනයකින් අපේ කණ්ඩායම දැන් ශක්තිමත්වී තිබෙනවා. විශේෂයෙන් රොෂේන් සිල්වා, අකිල ධනංය සහ කුසල් මෙන්ඩිස් දස්කම් අතරට පැමිණ සිටිනවා.’ ඔහු කීවේය.

දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේ ලකුණු 56කුත්, දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 70කුත් රැස් කළ රොෂේන් සිල්වා තරගයේ වීරයා සම්මානය පමණක් නොව පළමු ටෙස්ට් තරගයේ දීත් විශිෂ්ට ශතකයක් රැස් කිරීම නිසා තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

පසුගිය වසරේ ඉන්දියාවට එරෙහිව නවදිල්ලි නුවර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් සිය ටෙස්ට් දිවිය බිංදුවකින් ආරම්භ කළ රොෂේන් සිල්වා අනතුරුව දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 74ක් රැස් කිරීමට සමත්විය. ඔහු සිය අවසන් ටෙස්ට් ඉනිම් 4දීම ශතකයක් සහ අර්ධ ශතක 3ක් රැස් කළේ සිය පළමු ටෙස්ට් ඉනිම් 5න් 4කදීම ලකුණු 50 පසුකළ ලොව සිවුවැනි පිතිකරුවා බවට පත්වෙමිනි. ඊට පෙර එවැනි සාර්ථක ආරම්භයක් ලැබුවේ ඔස්ට්‍රේලියාවේ හර්බි කොලින්ස්, ඉන්දියාවේ සුනිල් ගවස්කර් සහ මොහොමඩ් අසාරුදීන් පමණි.

පන්දු යවන්නන්ට වාසිදායක වූ මෙවැනි තණතීරුවක දස්කම් දැක්වීමට රොෂේන්ට වසර 12ක සිය පළමුපෙළ තරග අත්දැකීම් කදිමට ඉවහල් වූ බව හේරත් කීවේය.

‘මම රොෂේන්ගෙන් ලොකු දෙයක් දකිනවා. ඔහු අවුරුදු 10කට වැඩි කාලයක් දේශීය පළමුපෙළ තරගවලට ක්‍රීඩා කර ලකුණු 7000 සම්පූර්ණ කිරීමට සමත්වූ පිතිකරුවෙක්. ඒ අත්දැකීම් මේ තරගයේදී ඔහුට ඉවහල් වෙන්න ඇති. මෙවැනි තණතීරුවක එවැනි දස්කම් දැක්වීම විශිෂ්ටයි.’ හේරත් සඳහන් කළේය.

රොෂේන් පමණක් නොව දඟපන්දු යවන අකිල ධනංජය ද හේරත්ගේ පැසසුමට ලක්විය.

‘මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සුබවාදී නිමිත්තක්. ඔහු තම පළමු ටෙස්ට් තරගයේදීම කඩුලු 8ක් බිඳ දැමුවා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම ක්‍රීඩා කළේ අවුරුදු 18දි 2012 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියටයි. ඉදිරියේදී ඔහු මීට වඩා දස්කම් දක්වනු ඇතැයි මා විශ්වාස කරනවා.’ ඔහු කීවේය.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අකිල ධනංජය පෙරේදා තරගයේ දෙවැනි ඉනිමේදි කඩුලු 5ක් බිඳ දමා එවැනි දස්කමක් පෑ තුන්වැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක්විය. මීට පෙර කෝසල කුරුප්පුආරච්චි 1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව එස්.එස්.සී. පිටියේදී සහ උපුල් චන්දන 1999 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ඩකා නුවරදී එම දස්කම දැක්වූහ.

නව පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්වීමත් සමග කණ්ඩායමේ විශාල වෙනසක් සිදුවී ඇතැයි ද රංගන හේරත් පැවැසීය.

‘ඔහුට විශාල දැනුමක් තිබෙනවා. ඔහු නිතරම උත්සාහ කරන්නේ කණ්ඩායම තුළ හොඳ පසුබිමක් ගොඩනැගීමටයි.’ රංගන හේරත් කීවේය.

පෙරේදා උදෑසන ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 226කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වුවත් දිවා ආහාරයට පෙර බංග්ලාදේශ දෙවැනි ඉනිමෙන් කඩුලු 2ක් උදුරාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. දිවා ආහාරයෙන් පසුව ඕවර 16ක් ඇතුළත බංග්ලාදේශ දෙවැනි ඉනිම නිමාවට පත් විය.

බංග්ලාදේශ පිලේ අවසන් කඩුලු 6ම බිඳ වැටුණේ ලකුණු 23ක් තුළදීය. දවාලීම් 5කට දායකත්වය ලබාදුන් කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල උඩපන්දු 3ක් රැක ගත් අතර අගනා ස්ටම්ප් කිරීම් 2කට ද හිමිකම් කීවේය. 

 

නව අදහස දක්වන්න