ඉහළ යන්න උදවු කරන අමුතු තාලෙ පිය­ගැට | දිනමිණ

ඉහළ යන්න උදවු කරන අමුතු තාලෙ පිය­ගැට

පියෙන් පිය නැඟ ඉහ­ළ­ටම ගිය මිනිස්සු ජීවි­තය දකිති. ලෝකය දිනති. අප මෙහි සඳ­හන් කරන්නේ ජීවිත පිය­ගැට පෙළ නැඟ ඉහ­ළට යෑමක් ගැන නොව, ස්වභා­වික පරි­ස­රයේ ඇති අරුම පුදුම පිය­ගැට පෙළ දහ­යක් නඟි­න්නට තිබෙන අමා­රුව ගැන ය. මේ පඩි පෙළ බොහො­ම­යක් ඉඳි­කර තිබෙන්නේ ඉතා­මත් පටු­වට ය. එප­ම­ණක් නොව, ඒ පඩි පෙළ­ව­ලින් සම­හර ඒවා ඒ මේ අතට කර­කැවී ගිය ඒවා ය. ඇතැම් පිය­ගැට පෙළක් තද බෑවුම් සහිත වීම තවත් විශේ­ෂ­ත්ව­යකි.


1. අමෙ­රිකා එක්සත්
ජන­ප­දයේ හාෆ් ඩෝම්
අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ කැලි­ෆෝ­ර්නි­යාහි යොසෙ­මිට් ජාතික උද්‍යා­න­යෙහි පිහිටි හාෆ් ඩෝම්, හැඩ­යෙන් අර්ධ ශිඛ­ර­යක් බඳු ය. මෙකී හාෆ් ඩෝම් වෙත නැඟීම අභි­යෝ­ගා­ත්මක කර්ත­ව්‍යකි. ඒ සඳහා හාෆ් ඩෝම්හි ම පඩි­පෙ­ළක් ඇත. මේ පඩි පෙළ මීටර 120ක් ඉහ­ළට විහිදේ. පඩි පෙළ තිබෙන්නේ තද බෑවු­මක ය. ඒ නිසා, හාෆ් ඩෝම් තර­ණ­යට සූදා­නම් වන අය, එහි පවත්නා කාල­ගුණ තත්ත්වය ගැන අනි­වා­ර්ය­යෙන්ම සැල­කි­මත් විය­යුතු බවට අව­වාද කෙරේ. වැසි සහිත කාල­ගුණ තත්ත්ව­යක් යටතේ හාෆ් ඩෝම් පිය­ගැට පෙළ නඟි­න්නට හැකි­යා­වක් නැත. කෙනකු පිය­ගැට පෙළ මතින් ඇද වැටු­ණොත්, ඔහුගේ හෝ ඇයගේ හෝ ඉදි­රිය මර­ණ­යෙන් විසැ­ඳෙනු ඇත. මේ පඩි පෙළ නඟි­න්නන්ට විශේෂ පාව­හන් භාවිත කිරී­ම­ටත් අව­වාද කෙරේ.

2. චීන මහා ප්‍රාකා­රය
කිලෝ­මී­ටර 21,196ක් දිගැති චීන මහා ප්‍රාකා­රයේ කොට­සක, එක දිග­ටම තිබෙන්නේ පිය­ගැට පෙළකි. මේ විධි­යට පිය­ගැට තිබෙන කොටස කිලෝ­මී­ටර 42ක් තරම් දුරට විහි­දෙන බව වාර්තා­වල දැක්වේ. එහි ඇති පඩි සංඛ්‍යාව 5,164ක් පමණ වේ. මේ පඩි සිය­ල්ලක්ම ගලින් කරන ලද ඒවා ය.
චීන මහා ප්‍රාකාර මැර­තන් තර­ගා­ව­ලිය වාර්ෂි­කව සංවි­ධා­නය කෙරෙ­න්නකි. එම මැර­තන් තර­ගා­ව­ලි­යේදී ක්‍රීඩ­ක­යන්ට දිව යන්නට සිදු වන්නේත් පළ­මුව කී පිය­ගැට සහිත පෙදෙස හරහා ය.

3. කාම්බෝ­ජයේ ඇන්ග්කෝර් වට් ආරා­ම­යෙහි පිය­ගැට පෙළ
කාම්බෝ­ජයේ ඇන්ග්කෝර් වට් විහා­රය ලෝක ප්‍රකට විහා­ර­යකි. ලොව භයා­න­කම පඩි පෙළ­ව­ලින් එකක් සේ සැල­කෙන පඩි පෙළක් නැඟ, වන්ද­නා­මාන කට­යු­තු­වල යෙදෙ­න්නට එහි පිවි­සෙන බැති­ම­තුන්ට සිදුව තිබේ. විහා­රයේ පිය­ගැට පෙළ ඉතා­මත් බෑවුම් සහිත ස්වභා­ව­ය­කින් යුක්ත බැවින්, එය නගි­න්නන්ට සිදුව තිබෙන්නේ ඉදිරි පඩි අල්ලා­ගෙන දණ­ගා­මින් මෙනි. මේ නිසා, පඩි­පෙළ නගින අය අත් ආව­ර­ණ­යක් පැළ­ඳිය යුතු ය. කොට සහ තද කලි­ස­ම්ව­ලින් සැර­සිය යුතු ය. මේ පිය ගැට­පෙළ නගි­න්නන් වෙනු­වෙන් සකස් කළ නීති පද්ධ­ති­යක් ද නිකුත් කර තිබේ.

4. අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ හයිකු පිය­ගැට පෙළ
හයිකු පිය­ගැට පෙළ තිබෙන්නේ අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ හවායි දූපත් සමූ­හ­යට අයත් ඔවාහු දූප­තෙහි ය. එහි කෝලවු කඳු­ක­රය ආශ්‍රය කර­ගෙන මේ හයිකු පඩි පෙළ යොදා ඇත. පඩි 3,922කින් සම­න්විත මේ පඩි පෙළ ඉඳි කළේ, අමෙ­රිකා එක්සත් ජන­පද නාවුක හමු­දාව විසින් 1942 වස­රේදී ය. අද වන­විට මේ පිය­ගැට පෙළ භාවි­ත­යට ගැනීම සපුරා තහ­නම් බවට මේ තහ­නම පනවා ඇත. ඒ, පඩි පෙළ අති­ශ­යින්ම අන්ත­රා­කාරී පරි­ස­ර­යක ඇති නිසා ය. ඒ අන්ත­රා­කා­රී­ත්ව­යට ඔරොත්තු දිය හැකි තරමේ ශක්ති­යක් පඩි පෙළට දැන් නැති බව සනා­ථව ඇත.

5. ඉක්ව­දෝ­රයේ පයි­ලොන් ඩෙල් ඩියාබ්ලෝ ඇල්ල ආශ්‍රිත පිය­ගැට
පයි­ලොන් ඩෙල් ඩියාබ්ලෝ යනු "යක්ෂ­යාගේ කටා­රම" යන අරුත දෙන වදන් සමූ­හ­යකි. මෙන­මින් හැඳි­න්වෙන ඉක්ව­දෝර දිය­ඇල්ල නැරැ­ඹී­මට ඇති පහ­සුම මඟ, ඒ ආස­න්නයේ තිබෙන සර්පි­ලා­කාර පඩි පෙළ ය. මේ පඩි පෙළහි ඇතැම් කොටස්, විටින් විට මීදු­මෙන් වැසී පව­තින බව වාර්තා වේ. දිය ඇල්ලෙන් වාත­යට නිකුත් වන ජල බිඳිති නිසා, පඩි­පෙළ නිත­රම තෙත් ගති­ය­කින් ද යුක්ත ය. එනිසා එය බෙහෙ­වින්ම ලිස්සන සුළු ය. ගලින් නිම කළ ඉතා අලං­කා­ර­වත් පඩි දෙස වරක් බැලූ විට, මේ අන්ත­රා­කාරී තත්ත්වය කෙන­කුට කොහෙත්ම අව­බෝධ වන්නේ නැත. පඩි පෙළට යොදා ඇති ලෝහ අත්වැට පවා අනා­ර­ක්ෂිත බව සඳ­හන් වේ.

6. පේරු රාජ්‍යයේ ඉන්කා
පිය­ගැට පෙළ
පේරු රාජ්‍යයේ මාචු පික්චු කඳු­කර ප්‍රදේ­ශ­යට යෑම සඳහා යොදා ඇති පිය­ගැට පෙළ මෙන­මින් හැඳින් වේ. මේ පිය­ගැට පෙළෙහි භයා­නක ම කොටස ලෝහ දම්වැල් සහිත කොට­සකි. පිය­ගැට පෙළ නැගී­මට පේරු බල­ධා­රී­න්ගෙන් අව­ස­රය ලබා ගත යුතු ය. දින­කට මේ පිය­ගැට පෙළ නගි­න්නට අව­ස­රය ලැබෙන්නේ පුද්ග­ල­යන් කිහිප දෙනෙ­කුට පමණි. ඉන්කා පිය­ගැට පෙළ නගින කෙන­කුට උරු­බම්බා ගංඟාව දැක බලා­ග­න්න­ටත් අව­ස්ථාව ලැබේ. එය දර්ශ­නය වන ස්ථානය අධික බෑවු­මක් සහිත අන්ත­රා­දා­ය­කම ස්ථාන­යක් සේ සැලකේ.

7. චීනයේ හුවා­ෂැන් කඳු­කර පිය­ගැට පෙළ
චීනයේ හුවා­ෂැන් කඳු­ක­ර­යට පිවි­සෙ­න්නට ඉඳි­කර ඇති පිය­ගැට පෙළ, ලොව භයා­න­කම පිය­ගැට පෙළක් ලෙස සැලකේ. මේ පිය­ගැට පෙළට අයත් පිය­ගැට සංඛ්‍යාව කොප­ම­ණ­දැයි කියා කිසි­වෙක් නොද­නිති. පිය­ගැට පෙළ නගි­න්නට තිබෙන්නේ එක අත් වාරු දම්වැ­ලක් පමණි.
චීනයේ හුවා­ෂැන් කඳු­ක­රය , කඳු මුදුන් පහ­කින් සම­න්විත ය. එහි උස ම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර 2154ක් උසැති බව සඳ­හන් වේ.

8. මැලේ­සි­යාවේ බටු ගල් ලෙන්
මැලේ­සි­යාවේ බටු ගල් ලෙන් හින්දු භක්ති­ක­යන්ගේ ආග­මික ස්ථාන­යක් සේ සැලකේ. මේ ලෙන් පිහිටා තිබෙන්නේ කඳු­කර පෙදෙ­ස­කට වන්නට ය. එනිසා ලෙන්ව­ලට පිවි­සිය හැකි වන්නේ පඩි 272කින් පමණ සම­න්විත පඩි පෙළක් නැගී­මෙන් අන­තු­රුව ය. කෙනකු එම පඩි පෙළ නැඟ සම්පූර්ණ කළ­විට, ඔහු හෝ ඇය හෝ සිටින්නේ මුහුදු මට්ටමේ සිට අඩි 330ක් ඉහ­ළිනි. මේ පඩි පෙළ නැඟීම දුෂ්කර සහ අන්ත­රා­කාරී බව සඳ­හන් වේ. පඩි පෙළ නඟින අතර මඟදී මැකව් වර්ගයේ වඳුරු රංචු මුණ­ගැ­සීම සුලභ දෙයකි. මේ වඳුරෝ බැති­ම­තුන් වෙත කඩා පැන, ඔවුන් අත ඇති දේ උදුරා ගනිති. මේ නිසා අන­තුරු සිදු­වීම් බහුල ය.

9. නෝර්වේ ෆ්ලෝර්ලි පිය­ගැට පෙළ
නෝර්වේහි ෆ්ලෝර්ලි බලා­ගා­රය ආශ්‍රි­තව ඉඳි­කර ඇති මේ පිය­ගැට පෙළ, ලීයෙන් නිම කළ එකකි. ලොව ඇති දිගම ලී පඩි පෙළ ලෙස සැල­කෙන්නේ ද මෙය ය. මේ පිය­ගැට පෙළ පිය 4,444 කින්ස­ම­න්විත ය. එම පඩි ප්‍රමා­ණය නැඟ අව­සන් වූ කෙනකු, අඩි 2,427ක උස­කට ළඟා වේ.

10 . ස්පාඤ්ඤයේ සැන් ජුවාන් ඩෙ ගෙස්ටෙ­ලු­ගාට්සේ
මුහු­දට ඉහ­ළින් වැටුණු පඩි සහිත පටු පාරක් මෙන­මින් හැඳින්වේ. පිය ගැට සහිත මේ මඟ ඉතා­මත් රම­ණීය වට­පි­ටා­වක් හරහා වැටී තිබේ. පිය­ගැට පෙළ නිම වෙන්නේ මුහු­දෙන් වට­වුණු ගොඩ­බිම් පෙදෙ­ස­කිනි. මේ ගොඩ­බිම් පෙදෙසේ දේව­ස්ථා­න­යක් ඇත. දුෂ්කර පිය­ගැට පෙළ දිගේ දූප­තට පැමි­ණෙන කෙනකු, දේව­ස්ථා­න­යට පිවිස ඝාණ්ඨා­රය තෙව­රක් නාද කළ­යුතු බව සම්ප්‍ර­දායේ දැක්වේ.

අන්ත­ර්ජා­ලය ඇසු­රෙනි

මංජුලා විජ­ය­රත්න
  

නව අදහස දක්වන්න