වෙහෙර විහාර සංරක්ෂණය කර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා | දිනමිණ

වෙහෙර විහාර සංරක්ෂණය කර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

බුදුන් වහන්සේගේ ධර්මය පතුරුවන පැරණි විහාරස්ථානයක් ලෙසද මේ විහාරය හැදින්විය හැකියි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ ආරම්භ කළ බුද්ධ ශාසනය ප්‍රතිසංස්කරණයෙන් තමයි මේ විහාරය නිර්මාණය වුණේ.

* විහාරස්ථාන මේ අයුරින් දියුණු කරන්න කිසිම ආණ්ඩුවක් ආධාර කළා කියා මම සිතන්නේ නැහැ
* ආධාර උපකාර නැති විහාරස්ථාන පිළිබඳව වැඩි අවධානය යොමු කිරීම වැදගත්
* පක්ෂ බේදයක් නැතිව මේ රටේ වෙහෙර විහාර ශක්තිමත් කරන්න අප කටයුතු කරනවා

පක්ෂ බේදයෙන් තොරව රටේ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය කර ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ, බේරුවල සපුගොඩ පුරාණ ශ්‍රී මහා විහාරයේ ඉපැරණි සීමා මාලකය සංරක්ෂණය කරමින් ඉදිකරන ලද ආරක්ෂක පවුර සසුනට පූජා කිරීමේ මහා පුණ්‍යෝත්සවය සහ විහාරස්ථානයේ බෝධිය වටා ඉදිකළ රන්වැට විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගි වෙමිණි. 1750 වසරේදී ඇරඹුණු දැනට වසර 267කට වඩා ඉපැරණි මේ විහාරස්ථානයේ මේ් ඉදිකිරීම් සඳහා රුපියල් ලක්ෂ හතළිස් දෙකක් පමණ වැය වී ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් එම කටයුතු සිදුකර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

සපුගොඩ පුරාණ මේ විහාරස්ථානය පිළිබඳව වැදගත් කාරණා ගණනාවක් කතා කරන්න තිබෙනවා. 19වැනි ශත වර්ෂයේ ගෘහ නිර්මාණ ශිල්පය, බිතු සිතුවම් මෙන්ම පහත රට සිංහල ගෘහ නිර්මාණ ශිල්පය මෙහි අපට දක්නට ලැබෙනවා. එම බිතු සිතුවම්වලින් 19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ සිට අන්තිම භාගය වන විට බ්‍රිතාන්‍ය බලපෑම පෙනෙනවා. මෝස්තර ගණනාවක් දක්නට ලැබෙනවා. ඒ නිසා 19වැනි ශත වර්ෂය පිළිබඳව හොඳ අවබෝධයක් ඒ තුළින් අපට ලබාගත හැකියි.

බුදුන් වහන්සේගේ ධර්මය පතුරුවන පැරණි විහාරස්ථානයක් ලෙසද මේ විහාරය හැදින්විය හැකියි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ ආරම්භ කළ බුද්ධ ශාසනය ප්‍රතිසංස්කරණයෙන් තමයි මේ විහාරය නිර්මාණය වුණේ.

මේ විහාරස්ථානය මෙවර ප්‍රතිසංස්කරණය කිරීමට විශාල උනන්දුවක් ගත්තේ තිනියාවල පාලිත ස්වාමින් වහන්සෙ. උන්වහන්සේ මේ විහාරස්ථානය දියුණු කිරීමට ඉතාමත්ම උනන්දුවෙන් කටයුතු කරනවා. පසුගියදා මමයි, ජනාධිපතිතුමයි මේ ස්ථානයට පැමිණෙන විට උන් වහන්සේ මේ විහාරස්ථානය නවීකරණය කරන්න කටයුතු කරමින් සිටියා. ඒ සඳහා සංස්කෘතික අරමුදලෙන් මුදල් ලබාගෙන කටයුතු කළා. අපේ අධ්‍යාපන ඇමැතිතුමා එම කටයුත්තට සහයෝගය ලබා දුන්නා. මේ විහාරස්ථානයේ දියුණුවට සහයෝගය ලබාදෙන සියලු දෙනාටම ස්තුති වන්ත විය යුතුයි.

තිනියාවල පාලිත ස්වාමීන් වහසේගේ නායකත්වය පිළිබඳව අලුතින් කියන්න දෙයක් නැහැ. උන් වහන්සේ යම්කිසි දෙයකට අත ගැසුවොත් එය අනිවාර්යයෙන්ම ඉටුකරනවා. එම ලක්ෂණය පිළිබඳව උන් වහන්සේට ප්‍රශංසා කළ යුතුයි.

ඒ වගේම මේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරන්න හැකිවුණේ කෙසේද කියා අප සිතිය යුතුයි. මෙම රජය ප්‍රතිපත්තියක් ලෙස විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න ඒවා නඟා සිටුවන්න හැකි උපරිමයෙන් ආධාර උපකාර දෙනවා. ජනාධිපතිතුමා එතුමාගේ අරමුදලින්ද, මම මගේ අරමුදල් වලින්ද, බුද්ධ ශාසන අමාත්‍යාංශයද, අධ්‍යාපන අමාත්‍යාංශය සංස්කෘතික අරමුදලෙන්ද මේ සඳහා මුදල් ලබා දෙනවා. මෙහිදී විශාල වෙහෙර විහාර, කුඩා පන්සල්ද ප්‍රතිසංස්කරණය කරනවා. මොකද ඇතැම් විහාරස්ථානවලට ආදායම් නොමැති නිසා ඒවා ප්‍රතිසංස්කරය කිරීමේදී අප මුදල් දිය යුතුයි. අපට අවශ්‍ය වී තිබෙන්නේ විහාරස්ථාන ආරක්ෂා කර ඉදිරියට ගෙන යන්න. ඒ නිසයි අරමුදල් ගණනාවකින් ඒ සඳහා මුදල් ලබා දෙන්නෙ.

මේ රටේ විහාරස්ථාන දියුණු කරන ගමන් ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය දෙසද අප අවධානය යොමු කරනවා. විහාරස්ථනවල තිබෙන පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළේ නැත්නම් ඒවා දිරාපත් වනවා. ගරා වැටෙනවා. ඒවා ආරක්ෂා කිරීම ඉතාමක්ම වැදගත් කාරණයක්. සංස්කෘතික අරමුදල තුළින් පැරණි ගොඩනැගිලි ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම විහාරස්ථානයන්ට නවීන ආකාරගේ වැඩ කටයුතු කරන්න අප සහයෝගය ලබා දෙනවා. මේ ආකාරයට විහාරස්ථාන දියුණු කරන්න වෙන කිසිම ආණ්ඩුවක් ආධාර උපකාර කළා කියා මම සිතන්නෙ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මමත් ඇමැති මණ්ඩලයත් එම කටයුතු සඳහා සහයෝගය දක්වනවා. මෙම පැරණි විහාරස්ථාන ආරක්ෂා කිරීම අපේ අරමුණයි. ඒක අපේ යුතුකමක්. පක්ෂ බේදයෙන් තොරව අප එහිදි ක්‍රියා කළ යුතුයි. පක්ෂ බේදයෙන් තොරව මේ රටේ වෙහෙර විහාරස්ථාන ශක්තිමත් කරන්න අප කටයුතු කරනවා. සමහර විහාරස්ථනවලට විශාල බැතිමතුන් පිරිසක් සිටිනවා. ආධාර උපකාර ලැබෙනවා. එහිදී ආධාර උපකාර නොමැති විහාරස්ථාන පිළිබඳව වැඩි අවධානය යොමු කිරීම වැදගත්. අපගේ වෙහෙර විහාරස්ථාන ශක්තිමත් කිරීමේ වැඩ සටහන යටතේ මෙම විහාරස්ථානයත් දියුණු කරන්න අපට හැකිවුණා. මෙවැනි වැඩසටහන් ඉදිරියේදී ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි-

මෙම විහාරස්ථානය සැමගේ ගෞරවාදරයට පත් වී ඇති විහාරස්ථානයක්. වසර ගණනාවක් ඉතා දුර්වලව පැවැති මේ විහාරස්ථානය ශක්තිමක් විහාරස්ථානයක් බවට පත් කරන්න තිනියාවල පාලිත හිමියන්ට හැකි වුණා. වර්තමානයේ මේ විහාරස්ථානයේ විශාල සංවර්ධනයක්, පුනරුදයක් ඇති වී තිබෙන බව අප හැමටම පෙනෙනවා. මේ ප්‍රදේශයේ සිංහල මෙන්ම මුස්ලිම් ජනතාව බහුලව ජීවත්වනවා.

ඉතිහාසයේ මේ සපුගොඩ මහා විහාරස්ථානය ආරම්භ කරන අවස්ථාව වන විට මේ ප්‍රදේශයේ වැඩි වශයෙන් බෞද්ධයන් සිටින්නට ඇති. මේ විහාරස්ථානය ඵෙතිහාසික වශයෙන්ද ඉතා වැදගත් බව අප ප්‍රකාශ කරනවා. අපගේ වැඩිහිටි හාමුදුරුවරුන් බොහෝ අවස්ථාවල අපට ප්‍රකාශ කළා මේ විහාරස්ථානයේ ‍ඓතිහාසික තත්ත්වය. අප සංඝ සභාව අලෝකමත් කළ මහා නායක හිමිවරුන්ද මේ සපුගොඩ විහාරස්ථානයේ වැඩ සිටියා. කොයි අංශයෙන් බැලුවත් මෙම සපුගොඩ විහාරස්ථානය අපේ සංඝ සභාවටත් සංඝ පරම්පරාවටත් ඉතා වැදගත් වනවා.

එවන් වටිනාකමක් තිබෙන මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට පාලිත හාමුදුරුවො කටයුතු කිරීම ඉතා අගය කළ යුතු කටයුත්තක්. පාලිත හාමුදුරුවො ආගමික මෙන්ම සමාජ වැඩවලට ඉතාම දක්ෂ හාමුරුනමක්. ඉතා මහන්සියෙන් එම කටයුතු සිදුකරනවා. මේ විහාරස්ථානය අද ඉතාම දර්ශණීයයි. ඒ පිළිබඳව අපගේ සංඝ සභාවේ ගෞරවය උන් වහන්සේට පිරි නමනවා. ආශිර්වාදය උන් වහන්සේට හිමිවනවා. අග්‍රාමාත්‍යතුමාගේ පැමිණිමත් ඉතාම වටිනවා.

තිනියාවල පාලිත නාහිමි-

මේ අවස්ථාවේ ජනාධිපතිතුමත් අප ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. අග්‍රාමාත්‍යතුමාගේ පැමිණීම ඉතාම අඟය කරනවා. මෙම විහාරස්ථානය වත්මන් තත්ත්වයට දියුණු කිරීමේ විශාල සහයෝගයක් එතුමාගෙන් ලැබුණා.

මෙම පළාතේ සිටින මුස්ලිම් ජනතාව මේ විහාරස්ථානයේ දියුණුවට ඉතා සහයෝගයක් දක්වනවා. මම වැඩක් ආරම්භ කළ පසු මට පෙනෙන්නෙ එය අවසන් කර පවත්වන උත්සවයයි. මගේ අධිෂ්ඨානය ජයග්‍රහණයයි. යම් කාර්යයක් කිරීමේදී ඇතිවන කිසිම බාධාවක් මා ගණන් ගන්නෙ නැහැ. මට කුමන හෝ අමාත්‍යාංශයක් භාර දුන්නොත් ඒවා භාර සමහර ඇමැතිවරුන්ට වඩා එය නියමාකාරයෙන් කර පෙන්නවන් මට පුළුවන්.

අප මෙළොව උපදින්නෙ වෛර කරමින් ඇණකොටාගෙන මිය යාමට නොවේ. වැඩකරමින් ඔවුනොවුන්ට ආදරය කරමින් සුහදව අප සියලු දෙනාම ජීවත් විය යුතුයි. බේරුවල මුස්ලිම් ජනතාව සමඟ අපගේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඔවුන් සමඟ ඉතාම සුහදශීලිව වැඩ කරනවා. බේරුවල කවර කවදාකවත් සිංහල, මුස්ලිම් ආරාවුලක් ඇති නොවන පරිදී අපේ රාජිත ඇමැතිතුමාත් මමත් ක්‍රියා කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මුස්ලිම් ජනතාවගේ උත්සවවලට හැකි ආකාරයෙන් අප සහභාගි වෙනවා. වත්මන් රජය උතුරු නැගෙනහිර ඇතුළු රටේ වෙහෙර විහාර ප්‍රතිස්සංකරණය සඳහා ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. සූර්ය බල විදුලිය ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.

සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහා නායක බදුරලියේ ශ්‍රී ධීරානන්ද මහා නාහිමියන් වැඩ විසූ සපුගොඩ පුරාණ ශ්‍රී මහා විහාරය වර්තමානයේ දර්ශණීය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරන්න අතීතයේත් වර්තමානයේත් උදව් උපකාර කළ සෑම දනාටම මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා සිදු කරනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා-

අග්‍රාමාත්‍යතුමා මේ ස්ථානයට පැමිණීම භාග්‍යයක් කොට අප සලකනවා. ජනාධිපතිතුමත් මේ ස්ථානයට පැමිණීමට සූදානම් වෙලා සිටියෙ. අධික වැඩ කටයුතු නිසා එතුමාට පැමිණීමට නොහැකි වුණා.

තිනියාවල පාලිත නායක හාමුදුරුවො මෙහි විහාරාධිපති වහන්සේ ලෙස මේ විහාරස්ථානය දියුණුවට පත් කරමින් සිටිනවා. උන් වහන්සේ මෙම විහාරස්ථානය භාරගත් පසු අක්‍රමවත්ව පැවැති මේ අවට ප්‍රදේශය පවා ක්‍රමවත් කිරීමට කටයුතු කළා. වනාන්තරක් වගෙයි අවට පැවැතියේ. අද තිබෙන ආකාරයට ධවල වර්ණ තාප්ප තිබුණෙ නැහැ. තිනියාවල පාලිත හාමුදුරුවන්ට හැකි වුණා විහාරස්ථානය පමණක් නොවෙයි මුලු පළාතම ඒකාලෝක කරන්න. උන් වහන්සේ ඒ සඳහා විශාල දායක සභාවක් ඇතිකර ගත්තා. මේ ප්‍රදේශයේ සිටින මුස්ලිම් ජනතාවද විහාරස්ථානයේ දියුණුව සඳහා සහභාගි කර ගත්තා.

පසුගිය කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ ස්ථානයට පැමිණියා. එතුමාට එදා ඇතැමුන් ප්‍රකාශ කර තිබුණෙ පාලිත හාමුදුරුවො එක්සත් ජාතික පාක්ෂකයෙක් නිසා විහාරස්ථානයට නොයන ලෙස. හැබැයි මම හිටපු ජනාධිපතිවරයාට ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ, විහාරස්ථානයට දේශපාලනය නොමැති බවයි. බුද්ධ චීවරයට ගරු කළ යුතු බවද මම පැවසුවා. හැබැයි අවසානයේ එතුමා පැමිණියා.

මෙවර අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය අප පවත්වනවා. මෙම මුලු ප්‍රදේශයම ධවල වර්ණ වන්නෙ මුස්ලිම්වරයෙකු ගේ තීන්තවලින්. මම මේ ප්‍රදේශයේ තිබෙන බොහෝ විහාරස්ථානයන් ප්‍රතිසංස්කරණය කිරීමේදී අදාළ මුස්ලිම් ජාතිකයාගේ තීන්තවලින් තමා ධවළ වර්ණ ඇති කළේ.

මේ ප්‍රදේශවල ඉතාම සමගියෙන් සහෝදරත්වයෙන් සිංහල, මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. මෙම විහාරස්ථානයේ පැවැත්වෙන උත්සව වලදී මුස්ලිම් ජනතාව විශාල ලෙස සහයෝගය ලබා දෙනවා. මෙවැනි දේ නොදන්නා ඇතැමුන් ජාතිවාදය වපුරවමින් රට ගිනි තියන්න උත්සාහ කරනවා. අපි මෙම ප්‍රදේශයේ ක්‍රියා කරන්නෙ සියලු ජාතීන් එකතුකර දියුණුවක් ඇති කරන්න. පාලිත නායක හාමුදුරුවන් මෙම විහාරස්ථානය දියුණු කිරීම පිළිබඳව උන් වහන්සේට ස්තුතිවන්ත විය යුතුයි. එම කටයුත්ත මේ ප්‍රදේශයේ ජාතික සමගිය ගොඩ නැගීමට රුකුලක් වෙනවා.

මෙම උත්සවයේදී විහාරස්ථානයේ දියුණුවට විවිධ අන්දමින් උපකාර වූ පුද්ගලයන්ට අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන පිරි නැමුණු අතර විහාරස්ථ දායක සභාව විසින් අග්‍රාමාත්‍යවරයාට උපහාර තිළිණයක්ද මෙහිදී පිරි නමන ලදී.

නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන්, දේශපාලන නියෝජිතයයින්, රජයේ උසස් නිලධාරීන්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්, ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

උපාලි කරුණාරත්න සහ බී.එම් මුක්තාර්
(බේරුවල විශේෂ)
ඡායාරූප- හිරන්ත ගුණතිලක 

 

නව අදහස දක්වන්න