ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරගාවලිය අද ඇරැඹේ | දිනමිණ

ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරගාවලිය අද ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

වසර සියයකට වඩා පැරැණි කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියේ 2018 ශූරයන් තේරීමේ තරග පෙළ අද (16) නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ කෙරේ.

දශක දෙකකට ආසන්න කාලයක් පුරා ක්ලිෆර්ඩ් කුසලානයේ ආධිපත්‍ය පතුරුවලමින් සිටින මහනුවර ක්‍රීඩා සමාජය වත්මන් ශූරයන් ලෙස තරගාවලියට එක්වී සිටින්නේ පසුගියදා දිනාගත් ලීග් කුසලානය ද ඇතැතිවය. එසේ වුවත් වසර 2014දී ක්ලිෆර්ඩ් කුසලානය ජයගත් නාවික හමුදා කණ්ඩායම අද පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයට පොලිස් කණ්ඩායම සමග එක්වන්නේ ලීග් තරගාවලියේ අනුශූරයන් ලෙසිනි.

වසර 1911දී ආරම්භ වූ මේ තරගාවලියේ වැඩිම වාර ගණනක් කුසලානය දිනූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අපරාජිතව ලීග් ශුරතාව දිනාගත් අතර හෙට (17) ගුවන් හමුදා කණ්ඩායම සමග පල්ලෙකැලේ දී තරග බිමට පිවිසෙයි. ක්ලිෆර්ඩ් කුසලානයේ වත්මන් ශූරයන් වන මහනුවර පිල හෙට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී සිය ජයග්‍රහණ පෙළ තව දුරටත් දීර්ඝ කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

සිය අවසන් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ මහනුවර පිලේ විශිෂ්ට ක්‍රීඩක ෆාසිල් මරිජා ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් පසුව රගර් පිටියෙන් සමුගැනීමට නියමිත බැවින් මෙවර තරගාවලියේදිත් කුසලානය රැක ගනිමින් සිය ආදරණීය සගයාට ජයග්‍රාහී සමුදීමක් ලබාදීමට මහනුවර පිලේ ක්‍රීඩකයෝ බලාපොරොත්තු වෙති.

මේ අතර වසර 2006න් පසුව මෙතෙක් ක්ලිෆර්ඩ් කුසලානය ජයගැනීමට අසමත්වු සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ මෙවර ලීග් තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වූ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර අර්ධ අවසන් පූර්ව තරගය හෙට පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවත්වෙයි. අවස්ථා 14කදී ක්ලිෆර්ඩ් කුසලානය දිනාගැනීමට සමත්වූ සී.ආර්.පිල මෙවර තරගාවලියට එක්වන්නේ අහිමිවූ කීර්තිය නැවත අත්පත් කරගැනීමේ අදිටන ඇතිවය.

වාර 13කදී කුසලානය දිනූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර අර්ධ අවසන් පූර්ව තරගය ද හෙට පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 21 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 25 වැනිදා සී.ආර්.පිටියේදී පැවැත්වීමට නියමිතය. 

නව අදහස දක්වන්න