විනිවිදභාවයෙන් පරිපූර්ණ සාර්ථකම සම්මාන උළෙලක් | දිනමිණ

විනිවිදභාවයෙන් පරිපූර්ණ සාර්ථකම සම්මාන උළෙලක්

ෆවුස් මොහොමඩ්
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න

සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල

ශ්‍රී ලංකාවේ පැරැණිතම පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ලෙස දශක 4ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල මෙරට තිබෙන සාර්ථකම සම්මාන උළෙලක් බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති සහ පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා කියයි.

එය විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස හඳුන්වන පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා පසුගිය කාලයේ පැවැති සෑම සම්මාන උළෙලකටම සංගමයේ සහයෝගය උපරිම අයුරින් ලබා දුන් බව කියා සිටියේය.

‘ඒ සම්මාන උළෙලෙන් ඇගැයීමට ලක් කරන්නේ අපේ පාසල් දරුවෝ. එවැනි සම්මානවලින් දරුවන්ට පිරිනැමෙන ඇගැයීම්, පිලිගැනීම් වගේම ජනප්‍රියත්වයත් ඉහළ යනවා. එවැනි කරුණු කාරණා නිසා මේ සඳහා අපේ උපරිම දායකත්වය ලබා දෙනවා. ’ යැයි ‘දිනමිණ’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔෂාර පණ්ඩිතරත්න මහතා පැවැසීය.

මීට වසර 40කට පෙර එනම් 1979 දී කොළඹ රාජකීය විදුහලේ රන්ජන් මඩුගල්ල වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අභිෂේක ගන්වමින් ආරම්භ කළ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 40 වැනි වරටය. එදා මෙදාතුර ගතවූ දීර්ඝ කාලපරිච්ඡේදයේ පන්නිපිටිය ධර්මපාල විදුහලෙන් ද ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු බිහීවීම කැපී පෙනේ. අනූව දශකයේ අග භාගයේදී පාසල් ක්‍රිකට් පිටිය දිග්විජය කළ පන්නිපිටිය ධර්මපාලයේ තුන්ඉරියව් ක්‍රීඩක චින්තක ජයසිංහ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍රවූයේ 1997 වසරේදීය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළට ඔසවා තබමින් ජාතික තලයේ සුපිරි ක්‍රීඩකයකු වීමේ අධිෂ්ඨානයත්, පෙළඹවීමත් නිරන්තරයෙන් උදාකර දෙන මේ ගෞරවනීය සම්මාන උළෙල පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම දෙගුණ තෙගුණ කරවීමට ද සමත්වූ එකකි.

එසේ වුවත් පාසල් ක්‍රිකට් පිටියෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් එක්වීම අතීතයේදී මෙන් සිදුනොවන බව නම් පාසල් ක්‍රිකට් සභාපතිවරයා පිළිගැනීමට මැළිකමක් දක්වයි.

‘මෙහෙමයි, පාසල් ක්‍රිකට්වලින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ක්‍රීඩකයන් හඳුන්වා දීම සුපුරුදු ලෙසම සිදු වෙනවා. නමුත් අතීතයේ පාසල් ක්‍රිකට්වලින් කෙළින්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට බොහෝ ක්‍රීඩකයන් ඇතුළු වුණා කියලා ඇතැම් දෙනාගේ නොයෙක් අර්ථකථන තියෙනවා. උදාහරණයක් ලෙස අර්ජුන, අරවින්ද, මහේල වගේ එදා පාසලෙන් කෙළින්ම ජාතික කණ්ඩායමට බොහෝ ක්‍රීඩකයන් ආවා. ඇත්ත, නමුත් එවැනි ක්‍රීඩකයන් ලෝකෙටම සිටින්නෙ කීපදෙනයි. ඒ වුණාට වර්තමානයේත් පාසල් ක්‍රිකට් පද්ධතියෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයන් බිහි වෙනවා. වර්තමානයේ හොඳින් ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් වුණත් පාසල් ක්‍රිකට්වලින් ඉතා කෙටි කලකින්ම ජාතික කණ්ඩායමට ඇතුළු වුණු ක්‍රීඩකයන්.’ ඔෂාර පණ්ඩිතරත්න මහතා එසේ සඳහන් කළේය.

පොදුවේ ගත්විට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක ඇතැයි ඔහු පවසයි.

බැලු බැල්මට සමස්ත ක්‍රිකට්වලම වර්තමානයේ පසුබෑමක් තියෙනවා. අතීතයේ දින දෙකේ පාසල් ක්‍රිකට් තරගයක ජය හෝ පරාජය තීරණය වන්නෙ බොහෝ කලාතුරකින්. මොකද තරගය බොහෝ වෙලාවට ජය පරාජයෙන් තොරවයි විසඳෙන්නෙ. නමුත් වර්තමානයේ දවස් එකහමාරකින් තරගයක් අවසන් වන තත්ත්වයක් තමයි තියෙන්නෙ. හැබැයි අද වන විට එම තත්ත්වය අන්තර්ජාතික තරගවලදීත් බොහෝ වෙලාවට දකින්න ලැබෙනවා. හොඳම උදාහරණය ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය දවස් දෙකහමාරෙන් ඉවරනේ. ඉතින් ඒ තත්ත්වයට හේතුව තිබෙන තරගකාරිත්වය, තරග රටාවේ වෙනස්වීම්, ක්‍රීඩාංගණවල තත්ත්වයන් ආදි කුමක්ද කියා අපිට නිශ්චිතව කිව නොහැකියි.. කොහොම වුණත් පාසල් ක්‍රිකට්වල තත්ත්වය පොදුවේ ගත් විට හොඳ තත්ත්වයක තියෙනවා.’ ඔහු කියා සිටියේය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දායකත්වය ඇගැයීමට ලක් කිරීමට ද පාසල් ක්‍රිකට් සභාපතිවරයා අමතක කළේ නැත.

‘ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉතාම හොඳ සහායක් ලැබෙනවා. කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පාලකයන් ලබා දුන් සහාය එලෙසම වර්තමාන සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ පිරිසත් අපට ලබා දෙනවා. ඒ වගේම අපගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවන් සියලුම දේ කිසිදු ගැටලුවකින් තොරව සපුරන්නටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැම විටම සැදී පැහැදි සිටින බවට මම වගකීමෙන් කියනවා. ඒ වගේම මූල්‍යමය පැත්තෙනුත් අවශ්‍ය සෑම විටම අපට සහාය දෙනවා. එහිදී සුපුරුදු පරිදි අවුරුදු 19න් පහළ තරගාවලියේදී පාසලකට පන්දු 40 ගාණේ වර්ෂයකට ලබා දෙනවා. ඊට අමතරව අනෙකුත් අවශ්‍ය සියලුම දේවල්වලට මුදල් ලබා දෙනවා. ඒ වගේම පාසල් ක්‍රිකට් සංගමයට පරිපාලන දීමනාවක්ද පිරිනමමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාසල් ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන සහය අගය කළ යුතුයි.’ ඔහු පැවැසීය.

මේ වනවිට ආරම්භ වී ඇති පාසල් මහා ක්‍රිකට් තරග (බිග් මැච්) ක්‍රිකට් සැණකෙළියක ස්වරූපයක් ගෙන ඇති අතර මේ බිග් මැච් උන්මාදයෙන් යුතු ක්‍රීඩකයන් මෙන්ම වෙනත් සිසුන් ද ක්‍රීඩාංගණ තුළත්, ඉන් පිටතදිත් සිය සතුට සැමරීම සුලභ දසුනක් බවට පත්වී තිබේ. එවැනි සිදුවීම් සහ බිග් මැච් තරග සිසුන්ගේ විනය පිරිහීමට හේතුවක් දැයි විමසූ විට විදුහල්පතිවරයකු වන පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා මෙසේ කීවේය.

‘පසුගිය තරග වාරයන්හිදී යම් යම් කාරණා නිසා ළමයින්ගේ විනය පිරිහීම් වාර්තා වුණා තමයි. නමුත් සමස්තයක් ලෙස මෙරට වැඩිම පාසල් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන ක්‍රීඩාව වගේම රටේ ලොකු පොඩි සෑම දෙනාගේම අවධානය දිනාගත් ක්‍රීඩාව ලෙසත් ක්‍රිකට්වලට එල්ල වන බලපෑමත් ඉහළයි. ඒ නිසා ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍යයන්, දෙමාපියන් වගේම පුහුණුකරුවෝ නිසාත් යම් යම් විනය විරෝධි කටයුතු ඇතැම් අවස්ථාවලදී වාර්තා වුණා. එහෙත් අපි එවැනි දේ පාලනය කරමින් පාසල් ක්‍රිකට් සංගමය ලෙස පිළියමක් යෙදීමට කටයුතු යොදා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගවලදී අධ්‍යාපන අමාත්‍යාංශයත් මැදිහත්ව පාසල් ක්‍රිකට් තරග අධීක්ෂණය සඳහා නිලධාරියෙක් පත්කොට තිබෙනවා. ඒ හරහා එම විනය කඩකිරීම් බොහෝ දුරට පාලනය වේවි.’ ඔහු විශ්වාසය පළ කළේය. 

අමිල මලවිසූරිය

නව අදහස දක්වන්න