අඩිගහන අය වෙතට! | දිනමිණ

අඩිගහන අය වෙතට!

 සැර මත්පැන් භාවිතය අතින් ලෝකයේ කප් ගැසූ රටක් හැටියට ශ්‍රී ලංකාව හැඳින්විය හැකි ය. හරියට ම කිවහොත් ලොව සැර මත්පැන් භාවිතය අතින් හතරවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වේ. යුරෝපය හා අමෙරිකාව මත්පැන් භාවිත කරන්නේ සිය සංස්කෘතියේ ම කොටසක් හැටියට ය. නිදසුනක් කිවහොත් අමෙරිකන් ලේඛක අර්නස්ට් හෙමිං වේ කියා සිටින්නේ බීම යනු සංස්කෘතියක් හා චාරිත්‍රයක් බව ය. එහෙත් අපේ සංස්කෘතියට මත්පැන් අයත් නැත. අපේ සංස්කෘතිය විසින් මත්පැන් භාවිතය ප්‍රතික්ෂේප කරනු ලැබේ. එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාව මත්පැන් භාවිතයෙන් කප් ගසා තිබීම පුදුමයට කාරණයකි.

මේ පිළිබඳ වි‍ශ්ලේෂණ ඉදිරිපත් කරන්නෝ විවිධ අදහස් දක්වති. එක අදහසකට අනුව අපට මත්පැන් පුරුදු කළෝ විදේශිකයෝ ය. ශ්‍රී ලාංකිකයාට මත්පැන් හුරුකිරීම සඳහා පළමුව ඒවා නොමිලේ ලබා දුන් බව කියති. සිංහලේ අවසන් රජතුමා හොඳටම මත්පැන් පාවිච්චි කළ බව ද කියති. තව අදහසකින් කියැවෙන්නේ මත්පැන් අලෙවිකරන සමාගම් ප්‍රචාරණය ඔස්සේ පාරිභෝගිකයන් අල්ලා ගත් බව ය. අමෙරිකන් සමාගම් කාන්තාව මතට ලොල් කිරීම සඳහා ප්‍රචාරණය යොදාගත් බව කියති. ඒ සමාජවල කාන්තාවන්ගෙන් 90%ක් පමණම මත්පැන් හා දුම්වැටි භාවිතයට හුරු වී සිටිති.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන කමිටුව විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් පුදුමාකාර තොරතුරු හෙළිදරව් වී තිබේ. ඇතැම් පිටිසර බද කුඩා ගම්මානවල ජනතාව වසරකට මත්පැන් හා දුම්වැටි සඳහා රුපියල් ‍කෝටි දෙකකට වැඩි මුදලක් වැය කරන බව සමීක්ෂණය පෙන්වා දෙයි. මෙලෙස මත්පැන් හා දුම්වැටි සඳහා විශාල මුදලක් වාර්ෂිකව වැයකරන පිරිස අන්ත දුප්පත් වෙති. වැඩි දෙනෙකුට ස්ථිර නිවාස නැත. ස්ථිර රැකියා නැත. ඔව්හු දෛනිකව ඉතා අපහසුවෙන් උපයාගන්නා මුදලින් තුනෙන් දෙකක් පමණ මත්පැන් හා දුම්වැටි සඳහා වියදම් කරති. එවිට පවුලේ වියදම සඳහා ඉතිරි වන්නේ කුමක් ද?

පාසල් මට්ටමින් ගත් කළ දරුවෝ සැලකිය යුතු ප්‍රමාණයක් කුඩු හෙවත් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටිති.මේ පසුපස බලවත් ජාවාරම්කාරයන් සිටින බවද හෙළිදරව් වී ඇත. ඇතැම් වෛද්‍යවරුන්ගේ දරුවන්ද, ඇතැම් පොලිස් නිලධාරීන්ගේ දරුවන් ද ඇතැම් දේශපාලකයන්ගේ දරුවන් ද මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇති බව සමීක්ෂණය පෙන්වා දෙයි. සමහර දරුවෝ කෙළින් ම මත්ද්‍රව්‍ය භාවිත කරති. ඒ සඳහා විවිධ උපායමාර්ග ඔස්සේ මුදල් සොයා ගනිති. ඇතැම් දරුවෝ මත්ද්‍රව්‍ය අලෙවියට හවුල් වී ඒ ඔස්සේ මුදල් උපයමින් මත්ද්‍රව්‍ය භාවිත කරති. මෙය බරපතළ තත්ත්වයකි.

අපේ සමාජය තුළ අලුතින් පැතිර යන මතවාද මත්පැන් භාවිතය ඉහළ නැංවීමට හේතුවක් වී ඇත. ඉන් එක මතයක් වන්නේ පුරුෂයකු පොඩි අඩියක් ගැහුවාට කමක් නැත යන්න ය. සමහරු පිරිමිකම පෙන්වීමට ද අඩි ගසති. තව මතයක් වන්නේ මත්පැන් නැති සාද හා උත්සව කුමකට ද යන්න ය. මේ අනුව ඉහළම මත්පැන් වර්ගය ඇති සාදය හා උත්සවය හොඳම සාදය හා උත්සවය බවට පත් වේ. ශ්‍රී ලංකාවේ මංගල උත්සවවල මත්පැන් සාද සඳහා විශාල වියදමක් දරන බව කව්රුත් දනිති. මේ බෞද්ධ රටේ මත්පැන් නැති මංගල උත්සවයක් සොයා ගැනීම ඉතා අපහසු ය. මත්පැන් නැතොත් මංගල උත්සවය ප්‍රතික්ෂේප කරන ගතියක් ද පවතී.

වෛද්‍ය මතයට අනුව කසිප්පුවල සිට මිල අධික විස්කි දක්වාම සියලු මත්පැන් වර්ගවලම ඇත්තේ මනුෂ්‍ය ශරීරය ප්‍රතික්ෂේප කරන රසායනික සංයුතියකි. විස්කි පානය කිරීමෙන් ශරීරයට සිදුවන යහපතක් නැත. කසිප්පු, විස්කි, අරක්කු යන සියල්ලම එක ය. මේවා දිගටම පානය කිරීමෙන් අක්මාව, වකුගඩු, ආමාශ යන සියල්ල විනාශ වෙයි. දියවැඩියාව, හෘද රෝග උත්සන්න කරයි. මෑතක සිට අපේ සමාජය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස්වලටද ප්‍රධාන හේතුවක් ලෙස මත්පැන් භාවිතය පවතී. සමහරු රෝග සඳහා ප්‍රතිකාර ලබන අතරම මත්පැන්ද පාවිච්චි කරති. එය ඉතා භයානක බව වෛද්‍ය මතය යි.

මත්පැන් භාවිතය තුළ දුම්වැටි භාවිතය තුළ ද, සතුටු විය හැකි තත්ත්වයක් ද අපට තිබේ. එනම්; අපේ කාන්තා පරපුරෙන් 2%ක්වත් මත්පැන් හා දුම්වැටි භාවිතය සඳහා පෙළැ‍ඹී නැති බව ය. එහෙත් මෙය වෙනස් විය හැකි ය. කාන්තාවන්ගේ අයිතියක් ලෙස සලකා මත්පැන් භාවිතයට හා දුම්වැටි භාවිතයට ඉඩ දිය යුතු යැයි මතයක් පවතී. ඉහළ සමාජයේ කාන්තාවන් මත්පැන් හා දුම්වැටි භාවිත කළ යුතු යැයි මතයක් ද පවතී. මත්පැන් සමාගම් මෙන්ම දුම්වැටි සමාගම් ද මේවායින් ප්‍රයෝජන ගන්නට පුළුවන. ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල දුම්කොළ වගාව ප්‍රචලිත වූයේ දුම්වැටි සමාගම්වල අනුග්‍රහය යටතේ බව මතක තබා ගත යුතු කාරණයකි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන කමිටුව මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සැලැකියයුතු වැඩ කොටසක් ඉටු කරමින් සිටී. එය ගම් මට්ටමින් ද, පාසල් මට්ටමින් ද වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මේ සඳහා උපයෝගී කරගෙන ඇති අනෙක් කණ්ඩායම වන්නේ ප්‍රජා පොලිස් සේවයයි. ප්‍රජා පොලිස් සේවය යුද සමයේ දී ගම්මාන ආරක්ෂා කිරීම සඳහා යොදවාගෙන තිබිණි. එය සාර්ථක හා කාර්යක්ෂම බළකායක් බවද සනාථ කර ඇත. සෑම ගමකටම පුද්ගලයන් විසිපහකගෙන් යුතු බළකායක් නිර්මාණය කිරීම මේ මඟින් සිදුවේ. ඔවුන් කෙළින් ම මත්ද්‍රව්‍ය නිවාරණයට කටයුතු කරනු ඇත.

ගම්මානවල ක්‍රියාත්මක වන මේ කමිටුව පළමුව මතට හා දුමට ඇබ්බැහි වූ පිරිස හඳුනාගනී. දෙවනුව මත්පැන් අලෙවි කරන හා නිෂ්පාදනය කරන පුද්ගලයන් හා සංවිධාන හඳුනා ගනී. රටේ ප්‍රකට මත්පැන් සමාගම්වල ක්‍රියාකාරිත්වය මේ කමිටුවට නැවැත්විය නොහැකි ය. එහෙත් හොර මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය මේ කමිටුවට අවසන් කළ හැකි ය. මේ කර්මාන්තයේ යෙදෙන අයට විකල්ප රැකියා සොයා දීමට ද කමිටුව ක්‍රියා කරයි. බොහෝ දෙනා නොදන්නේ වුව; මතට තිත තැබීම සඳහා රට තුළ විශාල වැඩ කොටසක් ඉටුවෙමින් පවතී. 

නව අදහස දක්වන්න