ජය බිමක කිතුගොස රණ බිම රාජකීය විදුහල | දිනමිණ

ජය බිමක කිතුගොස රණ බිම රාජකීය විදුහල

1815 මාර්තු 02 ලක් ඉතිහාසයේ සිහිවටනාත්මක දිනයකි. ඒ 2500 වසරක ඉතිහාසායක් පුරා සුරැකි මව්බිමේ නිදහස හා සෛවරීත්වය එදින ජාතියට අහිමි වීමයි. අහිමි වූ නිදහස නැවත දිනීමට කන්ද උඩරැටියන් දහස් ගණනක් දිවි පරදුවට තබා 1818 හා 1848 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමඟ සටන් වුදුණහ. මෙම නිදහස් අරගලවලිදී දිවි පිදූ කන්ද උඩරට මුතුන් මිත්තන් සටන් කළේ සිය නිදහස දිනා ගැනීමට පමණක් නොව, අධිරාජ්‍ය වාදීන්ගේ පාලනය තුළ තමන්ට අහිමි වු තම පාරම්පරික නිජ බිම්, තම ආර්ථීක ක්‍රියාවලින් සහ සමාජ ප්‍රමුඛත්වයන් නැවත දිනා ගැනීමටය. එහෙත් අධිරාජ්‍යවාදීන් මෙන් ම ඉන් අනතුරුව මෙරට පාලනය භාර ගත් දේශීය ප්‍රභූන්ගෙන්ද කන්ද උඩරැටියන්ට සිදු වූයේ නොසලකා හැරීම්, අසාධාරණකම් හා ප්‍රධාන සංවර්ධන ප්‍රවාහයෙන් හිතාමතාම බැහැර කිරීම්ය.

මෙම පරිසරය තුළ නිදහස ලැබීමෙන් පසුවත් කන්ද උඩරට ප්‍රදේශයෙන්හි සාමාජිය, ආර්ථික හා සංස්කෘතික ‍ක්ෂේත්‍රයන්හි දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව දැක්වූ රාජ්‍ය අවධානය බෙහෙවින් අල්ප විය. එ නිසාම කන්ද උඩරට වාසීන් සමාජයීය, ආර්ථික හා සංස්කෘතික වශයෙන් ප්‍රධාන සමාජ ප්‍රවාහයෙන් ගිලීහී ගොස් ද්විතීය ගණයේ පුරවැසියන් බවට පත් වූහ.

සිය පාරම්පරික ගම්බිම් මුඩුබිම් පනත යටතේ අන්සතු වීමෙන්ද ව්‍යප්ත වූ නාගරිකරණය හා වාණිජ ක්ෂේත්‍රයන් තුළින් ජනිත වූ සමාජ පල පිටස්තර පුද්ගලයන් විසින් ඩැහැගැනීම නිසා අන්ත අසරණ තත්ත්වයට පත් වූ කන්ද උඩරැටියන්ගේ නැති වී ගිය අයිතීන් දිනා ගැනීමට මතු පරපුරට ශක්තියක් හා ධෛර්යයක් ලබාදීමට තිබෙන එකම අවකාශය ඔවුන්ට සමාන අධ්‍යාපනික අවස්ථා ලබා දි ඔවුන් දැනුමෙන් සන්නද්ධ කිරීම පමණි.

ගන්නෝරුව ඓතිහාසික රණබිමේ බිහි කළ “රණබිම රාජකීය විදුහල” මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගත් එක් උත්සාහයකි.

1996 මාර්තු 02 වන දින උපත ලද මෙම විදුහල දැනට වසර 22ක කාලය තුළ විදුහල නිර්මාණය කිරීමේදී පාදක කරගත් අරමුණු කරා සාර්ථකව ඉදිරියට ගමන් කිරීම නිර්මාතෘන්ගේ සතුටට හේතුවකි.

විදුහල නිර්මාණය කිරීමේ වි‍ශේෂයෙwறඅwන් අරමුණු කර ගන්නා ලද්දේ කන්ද උඩරට ගැමි දරුවන් සඳහා ප්‍රධාන ප්‍රවාහයේ ප්‍රමුඛ පාසලක පවත්නා අධ්‍යාපන පහසුකම් හා අවස්ථාවන්ට නොදෙවෙනි පහසුකම් සහිත ගුණාත්මක බවින් ඉහළ විදුහලක් බිහි කිරීමයි.

දෙවනුව ඈත එපිට ගම්මානවල දරුවන්ට පැවති සමාජ පරිසරය තුල මුල් බැසගත් අසාධාරණ තරගකාරිත්ව‍යෙන් මිදී උපතින් ගෙන ආ බුද්ධියෙන් පමණක් තරග කර උසස් පාසලකට ඇතුළත් වීමට අවස්ථාව සැලසීමයි. ඒ සඳහා පාසලට ඇතුළත් වීමේ එකම සුදුසුකම ඇතුළත් වීමේ පරීක්ෂණයකින් සමත්වීම පමණි. මෙම පිළිවෙත පසුගිය වසර 22 පුරා අඛණ්ඩව අනුගමනය කර ඇත. මේ සඳහා අවස්ථාව ලබා දී ඇත්තේ මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ පිරිමි පාසල්වල දරුවන්ට පමණි. සමාජ සාධාරණත්වය ඉටු වීම සඳහා 6 වසරට ඇතුළත් කර ගන්නා දරුවන් සංඛ්‍යාව පළාතේ ජන වාර්ගික අනුපාතයට අනුරූප වන පරිදි හා පළාත පුරා සැමට සාධාරණත්වය ඉටු වන පරිදි මෙන්ම ඉහළ කුසලතා ඇති දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි විධිමත් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් තුළින්ය. මෙය පළාත් සභා ප්‍රඥප්තියකින් නිත්‍යානුකූල කර ඇත. පාසලේ පන්ති කාමර ඉඩකඩ, ළමුන් සංඛ්‍යාව යනාදිය හා පාසලේ තිබිය යුතු විෂය ධාරාවන් ද නීතිගත කර ඇත.

පාසල ඇරඹීමේ විශේෂීත අරමුණ වන්නේ දුරාතීතයේ සිට 1815 දක්වා සිය නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන් දිවි කැප කර සටන් කළ මුතුන් මිත්තන් වෙනුවෙන් සිහිවටනයක් නිර්මාණය කිරීමයි. ඒ අනුව පාසල බිහිකිරීමට තෝරා ගනු ලැබුවේ 1638 මාර්තු 28 වන දින පෘතුග්‍රීසි ආක්‍රමණිකයන් හා II රාජසිංහ රජතුමා සටන් වැද කන්ද උඩරට විරුවන් දිනූ ඓතිහාසික ජයබිම වූ ගන්නෝරුව රණබිමයි. එම විරෝදාර කන්ද උඩරට රණවිරුවන් සංකේතවත් කරමින් විදුහලට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස ඉදිකර ඇති ප්‍රතිමාවත්, රණබිම රාජකීය විදුහල යන නමත් විදුහලේ ගොඩනැගිලි ඉදිකිරීමේ දී අනුගමනය කළ කන්ද උඩරට ගෘහ නිර්මාණ අංග ලක්ෂණ තුළින් දකවා ඇති අභිමානයත් දිනා ගත යුතු නැති වී ගිය අයිතිය දරුවන් තුළ තහවුරු කරන සාධකයන්ය.

කන්ද උඩරට ජන සංයුතියේ පවත්නා ආගමික හා වාර්ගික විවිධත්වය හා ඒ ආශ්‍රිතව වර්ධනය කළ යුතු සංහිදියාව මෙම පාසල ආරම්භ කිරීමේදී අවධාරණ කළ අනෙක් කරුණයි. ඒ අනුව සිංහල, දෙමළ හා මුස්ලිම් දරුවන්ට එකම පරිසරයක් තුළ අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව සහෝදරත්වයෙන් අධ්‍යාපනය ලැබීමට සැලැස්වීම සිදුවෙයි. සිංහල, දෙමළ, හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිසු දරුවන්ට ඉගෙනුම ලැබීමට පරිසරයක් විදුහලේ නිර්මාණය කර ඇත.

අධ්‍යාපනය තුළින් ශිල්පීය හා ශාස්ත්‍රීය කුසලතා මෙන්ම වර්තමාන ජාතික හා ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපල ඉල්ලුමට සරිලන ලෙස විෂය ධාරාවන්ට නැඹුරුවක් දැක්විය යතුය යන අරමුණ මත උසස් පෙළ විෂය ධාරාවන් විද්‍යා, වාණිජ හා තාක්ෂණික අංශවලට සීමා වී ඇත. ආරම්භයේ සිටම පරිගණක අධ්‍යාපනය සිසු දරුවන්ට අනිවාර්ය වූ අතර ඊට අවශ්‍ය පහසුකම් විදුහය නිර්මාණයේදීම සැලසිණ. විද්‍යාගාරයක් හා තාක්ෂණික විද්‍යාගාරයක් ඉදිකර ඇත. මෙම විදුහලේ දරුවන්ගෙන් පහසුකම් ගාස්තු හැර කිසිදු මුදලක් අය නොකිරීමත් විශේෂයකි. සිසු දරුවන් 300කට නේවාසික පහසුකම් සළසා ඇත. විද්‍යාලයේ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා විශේෂ අවධාරණය යොමු කරන අතර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් මේ වන විට විදුහලෙන් බිහි කර ඇත.

පසුගිය වසර 22ක කාලය තුළ අරමුණු කර ගන්නා ලද දිශානතියන් කරා විදුහල ගමන් ගන්නේද යන්න පිළිබඳව මෑතකදී ඇගයීමක් කරන ලද අතර, පසුගිය වසර කීපය තුළ ම අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පිරමි පාසල් අතුරින් ප්‍රථම ස්ථානය නොකඩවා දිනා ගැනීමට රණබිම රාජකීය විදුහල සමත් වී ඇත්තේ දිවයිනේ ප්‍රමුඛ ජනප්‍රිය පාසල් වන කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද, ධර්මරාජ, ත්‍රිත්ව වැනි විදුහල් ද අභිබවමින් වීම විශේෂ කරුණකි.

2016 වන විට විදුහලින් වෛද්‍යවරුන් 120කට වැඩි සංඛ්‍යාවක් ද, ඉංජිනේරුවන් 300කට වැඩි සංඛ්‍යාවක් ද දේශීය හා විදේශීය විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධි අධයාපනය ලබන විද්‍යාඥයින්ද රැසක්ද ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ 6 දෙනෙක් ද බැංකු හා වාණිජ ක්ෂේත්‍රවල ප්‍රමුඛ තනතුරු දරන සැනලකිය යුතු සංඛ්‍යාවක්ද පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන් රැසක් ද මෙම විදුහලින් බිහි වී ඇත. මෙහි දී විශේෂ කරුණ වන්නේ මෙම සියලු දරුවන් මෙතෙක් අධ්‍යාපන අවස්ථා නොලැබ සිටි, නොසලකා හරිනලද ඈත එපිට ගම් දනව්වල ගැමියන්ගේ දරුවන් වීමය.

විදුහල විවෘත කිරී‍මේ දී විශේෂිත ආරාධිතයෙක් නොවූ අතර ඒ සඳහා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ සියලුම පක්ෂවල ප්‍රභූන්ගේ සහභාගිත්වය ලැබිණි. කිසිදු පුද්ගල නාමයක් විවෘත කිරීමේ ඵලකයේ නොවීම වර්තමාන ශ්‍රී ලංකා දේශපාලන සංස්කෘතියට ආදර්ශයකි.

1996 මාර්තු 02 දින මෙම විදුහල විවෘත කරන ලද්දේ 1815 මාර්තු 02 අපේ මාතෘභූමියේ නිදහස වැළලී ගිය දිනය සිහිපත් කිරීමට හා නැවත ඒ අහිමි වූ නිදහස දිනාගත යුතු බව වත්මන් හා අනාගත පරපුර තුළ සනිටුහන් කිරීමටය. කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා මෙම විදුහලෙන් බිහිවෙන ගැමි දරුවන් හෙට දින පෙරමුණ ගනු ඇත.

පාලිත ඇල්කඩුව
විදුහලේ නිර්මාතෘ හා කන්ද උඩරට සුරැකීමේ ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති 

නව අදහස දක්වන්න