මිහින්තලේ සාංචි ස්ථූපය ගරා වැටීමේ අවදානමක | දිනමිණ

මිහින්තලේ සාංචි ස්ථූපය ගරා වැටීමේ අවදානමක

වසර ගණනක් කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවීම නිසා වවුලන්ගේ ලැඟුම්හලක් බවට පත්ව ඇති මිහින්තලේ සාංචි ස්ථූපය වැසි ජලයද කාන්දු වෙමින් ගරා වැටෙන තත්ත්වයට පත්ව ඇත. 1992 වර්ෂයේදි මෙම සාංචි ස්ථුපය ඉදි කරනු ලැබීය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අභාවයට පෙර මිහින්තලයේ පිහිටවූ අවසාන ගම්උදාවේදී මිහිඳු මා හිමියන් වැඩම කර වසර 2300 සපිරිම නිමිති කර ගෙන මෙය ඉදි කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ මෙසේ පැවැසූහ.

ප්‍රේමදාස ජනාධිපතිතුමා ජාතියට දායාද කළ මේ මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අද වනවිට යකඩ පෑදිලා කම්බි කඩාගෙන වැටිලා. මේකෙ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙනවා. බංගලාදේශයෙන් පේමදාස ජනාධිපතිතුමාට ලැබුණු එම සර්වඥ ධාතුන් වහන්සේ පසුව 1992 වර්ෂයේ නිදන් කරනු ලැබුවා. අද වන විට මේ චෛත්‍ය ජරා ජීර්ණ වෙලා. බොහෝම ඉක්මනින් මේක කඩාගෙන වැටිලා අනතුරු රැසකට මුහුණ දීමට සිදුවෙයි.

ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අරමුණ වුයේ මෙය පුස්තකාලයක් බවට පත් කරන්න. එහෙත් අද එය වවුල්ලුන්ගෙන් පිරිලා නාස්ති වෙලා. බොහෝම අබලන් තත්ත්වයේ පවතින්නේ. වර්තමානය වන විට මෙය ඊ පුස්තකාලයක් බවට පත් කිරීමට හැකියි. එසේ කරනවා නම් එය ප්‍රදේශයට ඉතා වැදගත්. මේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේ නම් එය මහඟු පින්කමක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

අනුරාධපුර මධ්‍යම සමූහ
අමිල ප්‍රභාත් වනසිංහ

නව අදහස දක්වන්න