පාවක්කුලම ජලාශයේ ධීවර කර්මාන්තයට නරක දසාවක් | දිනමිණ

පාවක්කුලම ජලාශයේ ධීවර කර්මාන්තයට නරක දසාවක්

මීට වසරකට එකහමාරකට පමණ පෙර වවුනියාව පාවක්කුලම ජලාශයේ ධීවරයන් පැවසුවේ අලුතෙන් හඳුන්වා දුන් මිරිදිය ඉස්සන් නිසා තමන්ගේ කල්ලමරේ බවයි.

එහෙත් ඔවුන් අද පවසන්නේ එම ඉස්සන් නිසා තමන්ගේ මත්ස්‍ය අස්වැන්න කිසිදා නොවූ විදියට පහතවැටී අැති බවයි. මේ තත්ත්වයට බලපා ඇත්තේ එදා හොඳයැයි ධීවරයන්ම පැවසූ කිලෝවක් රුපියල් දහසකට පමණ වැවේදීම අලෙවි කිරීම හැකිවූ ඉස්සන් දෙදෙනකුගෙන් පමණ කිලෝවක් සෑදෙන ඉස්සන්ම ද යන්න ප්‍රශ්නාර්ථයකි.

මේ සම්බන්ධයෙන් අවුරුදු පහළොවක් පමණ ධීවර‍ වෘත්තියේ නිරත ජේ. ප්‍රේමසිරි මහතා මෙසේ පැවැසීය. මේ අවුරුදේ වැස්ස නැති නිසා පාවක්කුලම වැව යටතේ කිසිම වගාවක් සිදුකරන්න අවසර ලැබුණේ මේ නිසා ගොවියාට වී ඇටයක්වත් නෑ. ගොවියා එහෙම අන්ත අසරණ වෙද්දි ධීවරයාටත් අසරණ වෙලා. කලින් දවසකට මාළු කිලෝ පහලව විස්ස අල්ලා ගත්තු අපිට දැන් අහුවෙන්නේ හුගක් වෙලාවට කිලෝවක දෙකක මාළු අස්වැන්නක්. බොහෝ වෙලාවට අහුවෙන්නේ මාළුවෙක් දෙන්නෙක් විතරයි. මෙක අපේ අව­ාසනාව තමයි. මෙහෙම නරක කාලයක් කවදාවත්ම උදාවෙලා නෑ.

පී. බී. වීරකොන් මහතා - අපි හිතන්නේ මිරිදිය ඉස්සන් නිසා තමයි අනෙක් මාළු විනාශ වෙලා තියෙන්නේ. ඉස්සෝ කුඩාමාළු ආහාරයට ගන්නවා මේක සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි තත්ත්වයක්. දැන් හිතෙනවා ඉස්සෝ, අලුත් මාළු වර්ග නැතිව අපේ පාරම්පරික මාළු වර්ගම හිටියානම් හොඳයි කියලා.

නිශ්ශංක විජේදාස මහතා - ඉස්සොත් මාළු අස්වැන්න අඩුවෙන්න හේතුවක්. ඒවගේම වැස්ස නැතිව තියෙන තද නියඟයත් හේතුවක්ද කියලා හිතනවා කොහොම හරි දැන් අපිට අලුත් මාළුත් නෑ. අපේ පාරම්පරික මාළුවෙක් දකින්නවත් නෑ. මේ ගැන කාගේ හරි අවධානය යොමු වෙනවානම් හොදයි වැස්ස වතුර නැති නිසා කුලී වැඩක්හරි කරලා ජීවත්වෙන්න විදියක් නෑ.

කේ. විජේදාස මහතා - මත්ස්‍ය අස්වැන්න අඩු වෙන්න අපේ ධීවරයෝ කිව හැමදේ වගේම කහනම් දැල් භාවිතයත් හේතුවෙලා තියෙනවා මේක දිගුකාලයක් කරගෙන ගියාම අල්ල ගන්න ලොකුමාළු ඉතුරු වෙන්නේ නෑ. නිලධාරින් සමහර වෙලාවල මැදිහත්වෙලා අහනම් දැල් දාන අය අත්අඩංගුවට අරගෙන දඩ ගැහුවත් කොහොමෙන් කොහෙම හරි ඒ වැරැදි දේම සමහර අය කරනවා. මේකත් මේ අවසනාවන්ත තත්ත්වයට හේතුවක් වෙන්න ඇති.

ධීවර නිලධාරි සමීර එදිරිසිංහ මහතා -

මිරිදිය ඉස්සෝ මාංශ භක්ෂක මත්ස්‍ය වර්ගයක් තමයි. සාමාන්‍යයෙන් බොහො මාළු වර්ග මංශ භක්ෂකයි. ඒ නිසා මේ තත්ත්වයට ඉස්සෝ හේතුවක් කියලා කියන්න බෑ. එහෙනම් මේ විදියටම ඉස්සන් හඳුන්වා දුන් බොහෝ වැව් තියෙනවා ඒවගෙත් මාළු අස්වැන්න අඩුවෙන්න ඕනේ . එහෙම තත්වත් උදාවෙලා නෑ. මම විශ්වාස කරන්නේ මෙම තත්වයට හේතුව දිගු කාලයක් පුරාවට නීතියට පිටින් ඇතැම් පිරිස් සිදුකරගෙන යන තංගුස් දැල් ආදී තහනම් දැල් භාවිතය මේනිසා කුඩාමාළු එම දැල්වලට අහුවෙනවා මාළු වර්ධනය වීමට ඉඩක්නෑ බෝවීමට තියෙන ඉඩකඩත් අවමයි. මේ තත්ත්වය ඇතැම් ආත්මාර්ථකාමී ධීවරයින් තේරුම් ගන්නේ නෑ.

වවුනියාව උතුර සමූහ
බන්දුල සෙනෙවිරත්න

නව අදහස දක්වන්න