ජාතිවාදය වැපුරූ මූලස්ථානය කුණ්ඩසාලෙන් සොයා ගැනේ | දිනමිණ

ජාතිවාදය වැපුරූ මූලස්ථානය කුණ්ඩසාලෙන් සොයා ගැනේ

විජයානි එදිරිසිංහ

පෝස්ටර් පෙට්‍රල් බෝම්බ භාණ්ඩ රැසක් අත්අඩංගුවට

ජාතිවාදය ඇතිකරවන සංවිධානාත්මක කල්ලියේ මූලස්ථාන කාර්යාලය කුණ්ඩසාලෙන් සොයාගත් ත්‍රස්තවාදී විමර්ශන ඒකකය එහි තිබී ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය වපුරවා හරින වාග්ශීර්ෂ පාඨ ඇතුළත් පෝස්ටර් දහස් ගණනක් පෙට්‍රල් බෝම්බ සහ වෙනත් ලිපි ලේඛන සහිත භාණ්ඩ රැසක් සොයාගෙන තිබේ.

පසුගිය සතියේ මහනුවර ප්‍රදේශයේ එම ගැටුම ඇතිකරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ජාතිවාදී කල්ලියේ ප්‍රධානියා වූ ඩබ්ලිව්. පී. අජිත් ජීවන්ගෙන් ප්‍රකාශ සටහන් කැර ගැනීමේදී හෙළිවූ තොරතුරු මත ත්‍රස්ත විමර්ශන ඒකකය ඊයේ අලුයම මෙම ස්ථානය සොයාගෙන තිබේ.

මෙම මධ්‍යස්ථාන කාර්යාලය පිහිටා ඇත්තේ කුණ්ඩසාලේ නාත්තරන්පොත ප්‍රදේශයේ බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

ප්‍රචණ්ඩත්වය, ජාතිවාදය, අසමගිය, කෝපය, සහ ආගම්භේද ඇතුළු විවිධ ආකාරයෙන් පුද්ගලයන්ගේ මනස විකෘති කරන ආකාරයේ පෝස්ටර් දහසකට වැඩි ප්‍රමාණයක් රට පුරා බෙදාහැරීම සඳහා සූදානම් කර තිබී ඇත. ඊට අමතරව එවැනිම ලිපි ලේඛන ඒවාට අදාළ කටයුතුවලට යොදාගත් පරිගණක යන්ත්‍ර, බෝතල්වලට දමා සකස් කරන ලද පෙට්‍රල් බෝම්බ 7ක්, සී.පී.යූ. යන්ත්‍ර 7ක් සහ බැංකු ගිණුම් හා එම ගිණුම්වලට එවන ලද මුදල්, ජංගම දුරකතන සහ මෙම සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන්ගේ දුරකතන අංක සිය ගණනක්ද ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මඟින් මෙසේ සොයාගෙන තිබේ. තවද ජාතීන් අතර ප්‍රචණ්ඩත්වය පතුරුවා හැරීම පිණිස කරනු ලබන රැස්වීම්වලදී ඇමතීමට යොදාගත් මයික්‍රෆෝන්, වාහන බලපත්‍ර,විවිධ පුද්ගලයන්ගේ විසිටින් කාඩ්, මුදල් ලැබුණ රිසිට් පත් ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක්ද මෙසේ සොයාගත් භාණ්ඩ අතර වෙයි. මෙම භාණ්ඩ තොගය සමඟ සොයාගත් ජංගම දුරකථන අංක සහ පරික්ෂණවල දත්ත පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක්ද එම පරීක්ෂණවලට යොදවා ඇත.

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ පදිංචි එම ප්‍රධාන සැකකරු මෙම ජාතිවාදී සංවිධානයට සහාය වූයේ යැයි සැකකරන පුද්ගලයන් ගණනාවක් සමඟ සබඳතා පවත්වා ඇති බවටද තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත. මොවුන් ඉතාමත් රහසිගතව මාධ්‍ය සාකච්ඡා පවා පැවැත්වූ බවට තොරතුරු ලැබී ඇත. මෙම ප්‍රධාන සැකකරු ඩබ්ලිව්.පී. අජිත් ජීවන් වන අතර සෙසු සැකකරුවන් වන්නේ නාසනාරන් විට්ටච්චිගේ සුමේද සුරවීර, දඹුල්ලේ සම්පත් අනුර කුමාරසිංහ, අට්ටිකුඹුරේ සෝභිත හිමි (බංගදෙණිය) , හලාවත ආසිරි චතුරංග, ඉසුරු ප්‍රියංකර, සුමිත් චමින්ද, අසංග ප්‍රගීත්, ජගත් අසංක සෙසු සැකකරුවෝ වෙති. මොවුන් මහනුවරට පැමිණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරවනු ලැබූවත් ඔවුන් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් සියලු දෙනාම රැඳවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කරගෙන යන අතර වටලන ලද එම ප්‍රධාන කාර්යාලයට සීල් තබා තිබේ.

මෙම ස්ථානය සොයා ගැනීම සහ එම ජාතිවාදී සංවිධානයේ තොරතුරු හෙළි කරගැනීම පිණිස පොලිස් ත්‍රස්තවාදී කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් බුද්ධි අංශ විශේෂ කාර්ය බළකාය, ආරක්ෂක බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශ නොනවත්වා මෙහෙයුම් කර තිබිණි.

නව අදහස දක්වන්න