රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කුඩාබාලගේට රට යන්න අවසර | දිනමිණ

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කුඩාබාලගේට රට යන්න අවසර

සුභාෂිණී සේනානායක

ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේ දී වෙන්කෙරුණු රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක් නීති විරෝධී ලෙස හම්බන්තොට හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියේ තුන්වන සැකකරු වන අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ මහතාට ලබන 25 වැනිදා සිට ලබන අප්‍රේල් 25 වැනිදා දක්වා විදේශගතවීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (16 ) අවසර ලබා දූන්නාය.

තම දරුවාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා දීමට සහ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමට විදේශගතවීමට අවසර ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

රුපියල් ලක්ෂ පහක අතිරේක ශරීර ඇපයක් මත සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දෙන ලෙස නියෝග කළාය.

සැකකරුට ඇති අපරාධ වගකීමේ අවමභාවය, විදේශ ගතවී නැවත විධිමත් ලෙස අධිකරණයට ඉදිරිපත්වීම සහ දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට විදේශගතවීම යන කරුණු සලකා බලා විදේශගතවීමට අවසර ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

ඔහුගේ දරුවා වැඩිහිටියෙක් බැවින් තනිව විදේශගත විය හැකි බව පවසමින් සැකකරු විදේශගතවීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විරෝධය ප්‍රකාශ කළ අතර, ප්‍රතිකාර සඳහා දරුවා රැගෙන යාම සිදු කළ යුතු බව පවසමින් මහේස්ත්‍රාත්වරිය සැකකරුට විදේශගතවීමට අවසර ලබා දූන්නාය.

සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් 02 වැනිදා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන් තිදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පැමිණීල්ල වෙනුවෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේය.

නව අදහස දක්වන්න