නඩු ප්‍රමාදය අවම කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ සිටින අයගේ යුතුකමක් | දිනමිණ

නඩු ප්‍රමාදය අවම කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ සිටින අයගේ යුතුකමක්

නඩු ප්‍රමාදය අවම කර ගැනීමට කටයුතු කිරීම අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගේ වගකීමක් බවත් සියලු දෙනා එක්ව යහපත් අධිකරණ පද්ධතියක් මේ රටේ ස්ථාපිත කිරීමට කැපවී කටයුතු කළ යුතු යැයි අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය පැවැසුවා ය.

අධිකරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කෙළේ සිතාසි බෙදන්නා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා අධිකරණ ඝෝෂක හා ප්‍රවේශක තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අධිකරණ ඇමැතිවරිය මෙසේ ද පැවසුවාය:

රාජ්‍ය සේවකයින් වන අපි අපේ රාජකාරිය නිසි පරිදි ඉටු කරන්න කැපවී කටයුතු කළ යුතුයි. අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයින් වන ඔබට අනෙක් අයට වඩා වැඩි ඉහළ වගකීමක් තිබෙනවා. ඒ බව ඔබ විශේෂයෙන් අවබෝධ කර ගත යුතුයි. රජයේ සේවකයින් වන අපි ජනතා බදු මුදල් වලින් වැටුප් ලබන බව අවබෝධ කරගත යුතුයි. අනෙක් කරුණ තමයි අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය කියන එකත් මතක තබා ගන්න ඕන. ලෝකයේ කිසිදු දියුණු වෙමින් පවතින රටක අධ්‍යාපනය වෙනුවෙන් මේ විදිහට රජයක් වියදම් කරන්නේ නැහැ. පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් රජය ඔබ වෙනුවෙන් වියදම් කරනවා නිල ඇඳුම් පොත් පත් ටික මේ සියල්ල ලබා දෙනවා. ඒ නිසා නිදහස් අධ්‍යාපනයෙන් වැටුප් ලැබූ ඔබ ජනතා බදු මුදල් වලින් වැටුප් ලබන ඔබ අවංක කාර්යක්ෂම සේවයක් ලබාදීමටත් කටයුතු කළ යුතුයි.

මේ රටට විශාල වශයෙන් ඉදිරියට යාමට නම් අමාත්‍යාංශයක ලේකම්වරයාගේ සිට සනීපාරක්ෂක කම්කරු සේවකයා දක්වාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වාත් තමන්ගේ සේවය නිසි පරිදි ලබාදීම වැදගත් වෙනවා. අපි සියලු දෙනා අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයින් වශයෙන් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතුයි. අධිකරණ සේවකයින් වන ඔබ නිසි පරිදි ක්‍රියා කළහොත් නඩු ප්‍රමාදය අවම කරගැනීමට එය මහත් පි‍‍ටිවහලක්. අපිට වගකීමක් තිබෙනවා නඩු ප්‍රමාදය අවම කිරීමට කටයුතු කිරීමට. නඩුවක් සඳහා සාමාන්‍ය මිනිසුන් පෙනීසිටින්නේ විශාල මුදලක් කැප කරලා. නීතිඥ ගාස්තු සඳහා කොතරම් මුදලක් වැය කරනවා ද මේ පිළිබඳව අධිකරණ සේවකයින් වන ඔබ කල්පනා කළ යුතුයි. නඩුවක් සඳහා පෙනී සිටින පුද්ගලයෙක් කොතරම් කැපකිරීම් කරලා ඒ සඳහා මහන්සි වෙනවාද කියලා ඔබේ ඥාතිවරයෙක් එවැනි දේකට පෙනී සිටින විට ඔබ‍ට වැටහෙයි. ඒ නිසා මේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂම බව නඩු ප්‍රමාදය අවම කිරීමට ඔබේ සහයෝගය අපට ලබා දෙන්න.

අද පත්වීම් ලබන ඔබ කටයුතු කරන ආකාරයට අධිකරණ පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසය වැඩි වෙනවා. මොකද ඔබ තමයි අධිකරණය නියෝජනය කරමින් ගමේ ජනතාවත් සමග වැඩි වශයෙන් සම්බන්ධ වෙන්නේ. ඔබේ වගකීම අනෙක් අයට වඩා වැඩියි කියලා මුලින්ම කිවුවේ ඒ නිසයි. අද උසස්වීම් සමග නවක පත්වීම් ලබන සියලු දෙනාගේ සහාය කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එම්.එම්.ආර්.අදිකාරී, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් කුමාරි යන මහත්මීන් ද මෙහිදී අදහස් පළ කළාය. රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංග මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගිවූහ.

නව අදහස දක්වන්න