පොප් රජුගේ දවල් හීන | දිනමිණ

පොප් රජුගේ දවල් හීන

 මියගොස් වසර නවයකට ආසන්න වුවත් අදටත් රසික ආදරය ලබන පොප් ලොවේ කිරුළු පලන් රජු මයිකල් ජැක්සන් ය. ආදරයක් ලබන මයිකල් ජැක්සන්ගේ ආදරය හිමිවූවේ දහඅටවන සියවසේදී ‘අලි මිනිසා‘ ලෙස ප්‍රකට වූ ‘ජෝසප් කැරේ ටෙරික්ටය.‘හිස්කබලේ හා අස්ථිවලවූ අසාමාන්‍ය වර්ධනයන් නිසා අලි මිනිසා විකෘතිකයකු ලෙස කෙතරම් ජනප්‍රිය වූවාද යත්, තම ස්වරූපය ප්‍රදර්ශනය කරමින් මුදල් ඉපයීම ඔහුගේ ජීවනෝපාය බවට පත්ව තිබිණි. මියගිය පසු අලි මිනිසා ඇට සැකිල්ල තැන්පත් කෙරුණේ ලන්ඩන් වෛද්‍ය විද්‍යාලයේ ය. ජැක්සන් ඊට කෙතරම් පෙම් බැන්දාද කියතොත් එය නැරඹීම සඳහාම ඔහු දෙවරක් වෛද්‍ය විද්‍යාලයට ගියා පමණක් නොව ඇටසැකිල්ල මිලදී ගැනීමට ලංසුවක් පවා ඉදිරිපත් කළේ ය. ඩොලර් මිලියනයකට ඉහළ නංවා දෙවන වරටත් ඉදිරිපත් කෙරුණු ලංසුව වෛද්‍ය විද්‍යාලයෙන් දෙවරක්ම ප්‍රතික්ෂේප විය.

මයිකල් ජැක්සන් ස්පයිඩර් මෑන්ගේ ප්‍රබල රසිකයෙකි. කෙතරම් ආදරය කළත් මකුළු මිනිසා ලෙස චිත්‍රපට රංගනයට අවස්ථාවක් හිමිකර ගැනීමට නම් මයිකල් ජැක්සන් සමත් වූයේ නැත. ඒ නිසා ඔහු ස්පයිඩර් මෑන් චිත්‍රපට නිර්මාණ සමාගම වන ‘මාර්වල් කොමික්‘ සමාගම මිලදී ගැනීමට උත්සාහ කළේය. ඒ හරහා මකුළු මිනිසා විමේ තම සිහිනය සැබෑකර ගැනීමට හැකි නමුත් අවාසනාවකට එයද සාර්ථක වූයේ නැත.

පොප් රජු දුටු තවත් සිහිනයක් වූයේ තමාගේ රුව ඇති දැවැන්ත රොබොවකු නිර්මාණය කිරීමයි. 2005 වසරේදී ලාස් වේගාස් නුවර පැවැත්වීමට නියමිතව තිබූ සිය ප්‍රසංගය වෙනුවෙන් මීටර් පහළොවක් උසැති ( අඩි පනහක්) රොබොවකු නිර්මාණය කිරීමට සියල්ල සැලසුම් කර තිබුණද මුදල් අඟහිඟකම්වලින ඊට බාධා එල්ල විය. ජැක්සන්ගේ මුදල් අඟහිඟකම් ගැන අසන්නට ලැබීම පුදුමයක් වුවත්,රොබෝ ව්‍යාපෘතිය ලත් තැනම ලොප් වීමට හේතු වූයේ එයය.

මයිකල් ජැක්සන් සිනමාව හා රංගනයට දැක්වූ සෙනෙහස ගායනයට නොදෙවැනි වූවකි. එහෙත් සිනමා රංගනයක නියැලීමට ඔහු ගත් එකදු උත්සහයක්වත් සාර්ථක වූයේ නැත. මියෙන තුරුම ඔහු සිය උත්සාහය අත්හැරියේද නැත. ස්පයිඩර් මෑන් හැරුණු කල ජැක්සන් චරිත නිරූපණයක නියැලීමට උත්සාහ කළ අනෙක් චිත්‍රපට ස්ටාර් වෝස්, චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි, හා එක්ස් මෙන් ය. 'ස්ටාර් වෝර්ස් - ද ෆැන්ටම් මෙනෙස්' කථාංගයේ ‘ජා ජා බින්ක්ස්‘ ලෙස රඟපෑමට ජැක්සන්ට අවශ්‍ය වුවත් හරහට සිටියේ ඒ සඳහා සී.ජී.අයි. (පරිගණක ජනිත ප්‍රතිරූපනය) තාක්ෂණය යොදා ගැනීමට අධ්‍යක්ෂ ජෝර්ජ් ලුකස් ගෙන තිබූ තීරණයයි. ජැක්සන්ට අවශ්‍ය වූයේ නිර්මාණාත්මක වේශ නිරූපණය හා කෘත්‍රිම අංග ඇසුරින් චරිතය නිරූපණය කිරීමටයි. අවසානයේදී ජා ජා බින්ක්ස් බවට පත්වූයේ අහමඩ් බෙස්ට් ය. 2005දී තිරගතවූ චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි චිත්‍රපටයේ ඇරඹුණු බව සැලවූ වහාම ජැක්සන් ඊටම ගැලපෙන සංගීත පටයක් නිර්මාණය කර නිමාකළ ජැක්සන් එය වෝනර් බ්‍රදර්ස් සිනමා සමාගම වෙත පිළිගැන්වූයේ හිලව්වට චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑම තමාට දෙන ලෙස ඉල්ලමිනි. ජැක්සන්ගේ සංගීත පටය ලබා ගැනීමට අවශ්‍ය වුවත්, ‘විලී වොන්කාගේ‘ චරිතය රඟපෑම ජැක්සන්ට ලබාදීමට වෝනර් සමාගම කැමති වුයේ නැත. ගීත ඇල්බමයේ හුවමාරුවට ඔවුන් ජැක්සන්ට වෙනත් ගණුදෙණුවක් ඉදිරිපත් කළෝය. සංගීත පටයට ජැක්සන් කැමති ඕනෑම මිලක් ගෙවීමටත්, විලි වෙන්කා හැර වෙනත් ඕනෑම චරිතයක් ලබාදීමටත් වෝනර් සමාගම ඉදිරිපත් විය. නමුත් ප්‍රධාන චරිතය වූ වොන්කා හැර ඊට වඩා පහළ චරිතයක් රඟපෑමට ජැක්සන්ද කැමති වූයේ නැත. අවසානයේදි වොන්කාගේ චරිතය හිමිවූ සුපිරි හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට චෝදනා එල්ල වූයේ ඔහු ජැක්සන්ව අනුකරණය කරමින් වොන්කාගේ චරිතය රඟපෑ බව කියමිනි.

ජැක්සන්ගේ හද දිනු තවත් සුප්‍රකට චිත්‍රපටයක් වන්නේ එක්ස් මෙන් චිත්‍රපටයයි. ජැක්සන්ට අවශ්‍ය වුනේ එහි ‘මහාචාර්ය එක්ස්‘ගේ චරිතය නිරූපණය කිරිමටයි. මයිකල් සමඟ එම චරිතයට තරඟ කරන්නට ටෙරන්ස් ස්ටෑම්ප්ද එක්ව සිටියත්, අවසානයේදි එය හිමිවූයේ ඒ දෙදෙනාගේ එක් අයකුටවත් නොව පැට්‍රික් ස්ටුවර්ට් ය. රිදී තිරයේ තරුවක් වීමට මයිකල් ජැක්සන් ගත් සිව්වන උත්සහයද වැරදී ගියේ එලෙසය.

ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් ජැක්සන්ගේ දිවි ගැලවී ඇත්තේ දෛවයේ හාස්කමකිනි. ප්‍රහාරය සිදුවූ දින උදෑසන ජැක්සන් කලින් යොදාගත් හමුවට එම හමුව වැරදීගියේ එදින උදෑසන අවදිවීමට ඔහුට නොහැකි වීම නිසාය. ඒ පෙරදා රාත්‍රියේ සිය මව සමඟ දුරකථනයෙන් බොහෝ රෑ බෝවන තුරු කතා කරමින් සිටි බැවිනි. හාස්කමකින් මෙන් ජැක්සන්ගේ දිවි ගැලවුණු මෙම සිදුවීම මුලින්ම හෙළි කෙරුණේ මයිකල්ගේ සොහොයුරු ‘ජර්මේන්‘ විසින් 2011 දී පළකල ‘You are not alone Michael – Through a brother’s eyes” නමැති කෘතියෙනි.

තේමා උද්‍යාන කෙරෙහිද මයිකල් ජැක්සන් දැක්වූයේ පුදුමාකාර ආශාවකි. නමුත් තේමා උද්‍යාන ඉදිකිරීමට ඔහු ගත් උත්සහයන් දෙවරක්ම ව්‍යර්ථ විය. ‘නෙවර්ලන්ඩ්‘ යන නමින් ‘පීටර් පෑන්‘ තේමාවේ උද්‍යානයක් ඉදි කිරිමට ජැක්සන් මුලින්ම උත්සාහ ගත්තේ 1997දී ය. සෞදියේ අල් වාලීඩ් කුමරු සමඟ ඒ වෙනුවෙන්ම ‘කිංග්ඩම් එන්ටර්ටේන්මන්ට්‘ මැයෙන් සමාගමක්ද පිහිටුවා ගත් ජැක්සන් ගෘහ නිර්මාණශිල්පීන් ලවා උද්‍යාන සැලසුමක්ද නිර්මාණය කෙරෙව්වේය. නමුත් කිසියම් හේතුවකට එය කිසිදා යථාර්ථයක් වූයේ නැත. යළිත් ඉන් වසරකට පසුව ඩිට්‍රොයිට් නුවර තේමා උද්‍යානයක් සහිත කැසිනෝ සංකීර්ණයක් ඉදි කිරීමට ජැක්සන් අයදුම්පතක් පවා ඉදිරිපත් කර තිබිණි. අයදුම්පත ප්‍රතික්ෂේප වීම නිසා එවරද ජැක්සන්ගේ සිහිනය බොඳව ගියේය.

මයිකල් ජැක්සන් පිළිබඳ තවත් අපුරු කතාවක් වන්නේ ඔහු වැනිම තවත් සුප්‍රකට පොප් ගායකයකු වූ ප්‍රින්ස් ( ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් ) සමඟ පැවති එදිරිවාදීකමයි. පොප් ලොවේ රජවරුන් දෙදෙනකු වූ ප්‍රින්ස් හා ජැක්සන් එකිනෙකා දුටුවේ ප්‍රතිවාදීන් ලෙසයි. නමුත් එක්ව යුග ගීයක් කිරීමේ අවශ්‍යතාව දෙදෙනාටම තිබිණී. ඊට මුලින්ම උත්සාහ දැරුවේ මයිකල් ය. 1987 දී එළි දැක්වුණු ඔහුගේ හත්වැනි ගීත ඇල්බමයට ප්‍රින්ස් සමග යුග ගීයක් ගැයීමට මයිකල්ට අවශ්‍ය විය. නමුත් එම ආරාධනය ප්‍රින්ස් ප්‍රතික්ෂේප කළේය. ඒ ‘බෑඩ්‘ නමැති එම ගියේ ආරම්භක පද පේළිය මුල්කර ගනිමිනි. පසුව බැට්මෑන් චිත්‍රපටයකට සංගීත පටයක් සකස් කිරීමට ප්‍රින්ස්ට ඇරයුම් ලැබුණු කළ ඔහු මයිකල්ද ඊට ඈඳා ගන්නට සිතූ නමුත් එවර ජැක්සන් එම ඇරයුම ප්‍රතික්ෂේප කළේ තමාගේ ප්‍රසංගය වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුව ඇති බව දක්වමිනි.

රුක්ලන්ති පෙරේරා 

නව අදහස දක්වන්න