ශ්‍රී ලංකාවට වඩා බංග්ලාදේශය ඉදිරියෙන් - update | දිනමිණ

ශ්‍රී ලංකාවට වඩා බංග්ලාදේශය ඉදිරියෙන් - update

හේරත් පළමු පෙළ කඩුලු 1000යි: ෂකීබ්ගෙන් ශතකයක්
මොසඩෙක් මංගල ටෙස්ට් ඉනිමේදී අර්ධ ශතකයක් ලබයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි, අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 10ක් අතැතිව බංග්ලාදේශයට ලකුණු 75ක් පසුපසින් සිටී. පිතිකරුවන්ට පාරාදීසයක්වූ සරා තණතිල්ලේ ඊයේ දිනට කඩුලු 5ක් පමණක් බිඳවැටී දෙපිලෙන්ම ලකුණු 307ක් වාර්තා විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබාගත් ලකුණු 338ට පිළිතුරු ලෙස බංග්ලාදේශය ඊයේ සියලු දෙනා දැවී ලකුණු 467ක් ලබා ගත්තේය. පළමු ඉනිමේ ලකුණු අනුව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 129ක් බංග්ලාදේශය ඉදිරියෙන් සිටි අතර ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 54ක් ලබා සිටී. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හා උපුල් තරංග දෙදෙනාම නොදැවී ලකුණු 25 බැගින් රැස්කර ගෙන සිටිති. කරුණාරත්න ලකුණු 11දී සුභාෂ් රෝයීගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් වෙත උඩ පන්දුවක් ලබා දුන්නද එය ගිලීහී යෑමෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමේ වාසනාව හිමිකර ගත්තේය.

බංග්ලාදේශ පළමු ඉනිම ශක්තිමත් කළ සකීබ් අල් හසන් තම ටෙස්ට් දිවියෙහි 7වැනි ශතකය වාර්තා කළ අතර ටෙස්ට් ලකුණු 3400ක් ඉක්මවීමට සමත් විය. ඔහු බංග්ලාදේශයේ ටෙස්ට් තරගවල වැඩිම ලකුණු ලැබූ දෙවැනි ක්‍රීඩකයා බවට පත්ව සිටී. බංග්ලාදේශ සියවැනි ටෙස්ට් තරගයේදී කුළුදුල් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මොසඩෙක් හොසේන් අගනා අර්ධ ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුනි.

ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රංගන හේරත් පළමු පෙළ කඩුලු 1000ක් සම්පූර්ණ කළ අතර එවැනි දස්කමක් දැක්වූ ශ්‍රී ලංකාවේ දෙවැනි පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් බිහිවූ පන්දු යවන්නන් අතුරින් දෙවැනි වන්නේ ලොව වැඩිම ටෙස්ට් කඩුලු බිඳ හෙලීමේ වාර්තාවට හිමිකම් කියන, පළමු පෙළ කඩුලු 1374ක් බිඳහෙලූ මුත්තයියා මුරලිදරන්ට පමණි.

හේරත් බංග්ලාදේශ ඉනිමේ කඩුලු හතරක් බිඳ හෙලා ගැනීමට සමත් වූ අතර තමීම් ඉක්බාල් පෙරේදා දිනයේ හා මෙහෙඩි මිර්සාගේ හා මුස්ටෆිසුර් රෙහ්මාන්ගේ කඩුලු දෙක පිට පිට ඊයේ දවා ගනීමට සමත් වුණද, කඩුලු ත්‍රිත්වය අහිමිවී ගියේය. කැපී පෙනෙන අර්ධ ශතකයක් වාර්තා කළ මොසෙඩෙක්ගේ ඉනිම නිමා කළේද හේරත් විසිනි. වමත් දඟ පන්දු යැවූ ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් බිඳ හෙලීය.

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඩකා ඩයිනමයිට් පිලට ක්‍රීඩා කරන සකීබ් අල් හසන් හා මොසඩෙක් හොසේන් මනා අවබෝධයකින් යුතුව මේ තරගයේදී 7වැනි කඩුල්ලට ලකුණු 131ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ඔවුහූ බංග්ලාදේශ ඉනිමේ හොඳම ලකුණු එකතුව වාර්තා කළහ.

සකීබ් හතරේ පහර 10ක් සමග පන්දු 159කදී ලකුණු 116ක් හා මොසෙඩෙක් පන්දු 155කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමග ලකුණු 75ක් වාර්තා කිරීමට සමත් විය. කඩුලු එකින් එක දැවී යද්දී එක් අන්තයක හුදකලාවූ මොසෙඩෙක් තව දුරටත් ඉවසා සිටීමට නොහැකිව හේරත්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුලු රකින දික්වැල්ල ස්ටම්ප් කිරීමෙන් අවසන් පිතිකරු ලෙස පිටියෙන් ඉවත් විය. ඔහු ලකුණු 21ක් ලබා තිබියදී එල්ල කළ ‘පුල්’ පහර ‘ස්කුවෙයර් ලෙග්’ හී සිටි ලක්ෂාන් සඳකැන් අතට එල්ල වුවද එම උඩ පන්දුව අත්හැරීම අර්ධ ශතකයට පෙර දවා ගැනීමට තිබූ අවස්ථාවකි.

බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකර් රහීම් තම ටෙස්ට් දිවියේ 17වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර ඔහු ලකුණු 52ක් ලබා ගැනීමට පන්දු 81කට මුහුණදුන් අතර හතරේ පහර 6ක් එල්ල කළේය. දිවා විවේකයට ඕවර් 8ක් තිබියදී ලබාගත් නව පන්දුවෙන් සුරංග ලක්මාල් යැවූ පන්දුවක් මැද ඉන්නේ වැදී රහීම් දැවී ගියේය. රහීම් හා ෂකීබ් එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 92ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. මුෂ්ෆිකර් රහීම් ලකුණු 51ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ යැයි ශ්‍රී ලංකාව කළ ඉල්ලීම රූපවාහිනී පුනරූපණ පරීක්ෂා කිරීමේදී තහවුරු නොවුණි.

බංග්ලාදේශ පිතිකරුවන්ගේ උඩ පන්දු 4ක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් ගිලිහී යෑම මේ තරගයේ ප්‍රබල අවාසියක් විය. අද තරගයේ සිවුවැනි දිනයයි.ශ්‍රී ලංකාව පළමු ඉනිම ලකුණු 338 (ඕවර් 113.3)

උපුල් තරංග 11, දිනේෂ් චන්දිමාල් 138, අසේල ගුණරත්න 13, ධනංජය ද සිල්වා 34, නිරෝෂන් දික්වැල්ල 34, සුරංග ලක්මාල් 35, (මුස්ටෆිසුර් රෙහ්මාන් 50/2, සුබාෂිස් රෝයි 53/2, මෙහෙඩි මිර්සා 90/3, ෂකිබ් අල් හසන් 80/2)

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න