මවුබිම සුරකින රණවිරුවන්ට සියලු පහසුකම් ලබා දෙනවා | දිනමිණ

මවුබිම සුරකින රණවිරුවන්ට සියලු පහසුකම් ලබා දෙනවා

 මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන වීරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිරයාමේ උත්සවය ඊයේ (09) පෙරවරුවේ සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ විශේෂ බළකා නිලධාරින් 07 දෙනකු සහ සෙසු නිලයන් 189ක් අද මෙලෙස විසිර ගියහ.

දර්ශනීය සරඹ සංදර්ශන, තූර්යවාදන සහ දර්ශනීය පැරෂුට් සංදර්ශනයකින් ද මෙම විසිරයාමේ උත්සවය වර්ණවත් කෙරිණි.

දක්ෂතම සිසුවා සහ දක්ෂතම ශාරීරික අභ්‍යාස සිසුවා ලෙස දෙවැනි ලුතිනන් ඩබ්. එම්. කේ. ආර්. වනිගසූරිය සහ දක්ෂතම වෙඩිතබන්නා ලෙස ලුතිනන් ඊ. එම්. පී. ඩී. ඒකනායක මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.

මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටුකිරීමේදී සන්නද්ධ විය යුත්තේ ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් සහ නිර්මාණශීලිත්වයෙන් ද ඔවුන් දක්ෂතා පෙන්විය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම සහ වරප්‍රසාදයක්ම ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසල් භූමියේ නා පැළයක් ද රෝපණය කෙරුණු අතර එහි ඔසු උයන නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්. ටී. යූ. මහලේකම් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව මාදුරුඔය ධීවර ගම්මානයේ කතෝලික දේවස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා ද ජනාධිපතිතුමා එක්විය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අනුව රුපියල් ලක්ෂ 60ක පමණ වියදමින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.

ධීවර ගම්මානයේ ජනතාවගේ නිවාස ගැටලු ඇතුළු ගැටලු කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර, එම ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම එහි දරුවන්ගේ අධ්‍යාපන ගැටලු, සෞඛ්‍ය ගැටලු ඇතුළු සෙසු සුබසාධන සේවාවන් සොයා බලා ඉටුකිරීමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ප්‍රදේශයේ පූජකතුමන්ලා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න