එෆ්. බී. අයි නිලධාරීන්ට ට්‍රම්ප්ගෙන් දොස් | දිනමිණ

එෆ්. බී. අයි නිලධාරීන්ට ට්‍රම්ප්ගෙන් දොස්

 එෆ්. බී. අයි නිලධාරීන් විසින් තම නීතිඥයාගේ කාර්යාලය හදිසියේ සෝදිසි කිරීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. එය රටට එල්ල වූ ප්‍රහාරයක් ලෙස ද නින්දා සහගත ක්‍රියාවක් ලෙස ද ඔහු හඳුන්වා තිබේ. තමන් පසු පස වෛරී සහගත ලෙස එළවීම තවදුරටත් සිදු වෙමින් පවතින බව ට්‍රම්ප් විසින් ධවල මන්දිර මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර ඇත.

මේ සෝදිසි කිරීමේ දී තමන් හා ඔහුගේ සේවාදායකයන් අතර හුවමාරු වූ වරප්‍රසාදිත සන්නිවේදන එම නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබූ බව නීතිඥ මයිකල් කොහෙන් පැවසීය. මේ සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කරන්නේ වැඩිහිටි චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමට අදාළ ලේඛන ද නිලධාරීන් භාරයට පත්ව ඇති බවයි.

නිලධාරීන් විසින් මෙසේ කටයුතු කර ඇත්තේ 2016 ජනාධිපතිවරණයේදී පැවතී යැයි සැකකෙරෙන රුසියානු සබඳතාව විමර්ශනය කරන විශේෂ නීති නිලධාරී රොබට් මියුලර්ගේ අනු දැනුම මතය. එම කණ්ඩායම වඩාත් පක්ෂග්‍රාහී කණ්ඩායමක් ලෙස ට්‍රම්ප් පවසයි.

2016 ජනාධිපතිවරණයට දින කීපයකට මත්තෙන්, ස්ටෝර්මි ඩැනියෙල්ස් අන්වර්ථ නාමයෙන් හඳුන්වා ගනු ලබන ස්ටෙෆනි ක්ලිෆර්ඩ් නම් වූ වැඩිහිටි චිත්‍රපට නිළියට ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දහසක මුදලක් ගෙවූ බව නීතිඥ කොහෙන් පිළිගැනීමත් සමඟ ඔහු කෙරෙහි මහජන අවධානය වැඩිවන්නට විය.

තමන් හා ට්‍රම්ප් අතර ලිංගික සබඳතාවක් පැවති බව පවසන ස්ටෝර්මි ඩැනියෙල්ස්, එය පිළිබඳ කිසිවක් පැවසීමෙන් වැළකීම සඳහා තමන්ට මුදල් ගෙවූ බව කියා සිටින්නීය. 

නව අදහස දක්වන්න