පදක්කමක් දිනා ගැනීම සතුටක් | දිනමිණ

පදක්කමක් දිනා ගැනීම සතුටක්

බොක්සිං ක්‍රීඩිකා අනුෂා

කාන්තා බොක්සිං ඉසව්වෙන් පළමු වරට මෙරටට පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් ගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටු වන බව ලෝකඩ පදක්කම් ලාභී බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු ගුවන් තොටුපොලේදී පැවැසුවාය.

ඔස්ට්‍රේලියාවේ පැවැති 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං ක්‍රීඩාව සඳහා සහභාගී කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී ඇය මේ බැව් කීවාය.

විශේෂයෙන් තරගාවලිය පුරාවට ඉතාම සාර්ථක ලෙස තරග කිරීමට හැකි වූ බවද තමන් මුහුණ දුන් අවසන් තරගයේදී උණුසුම් තරගයක් ප්‍රතිවාදී ක්‍රීඩිකාවට ලබා දීමට හැකි වූ බවද ඇය පැවැසීය.

ශ්‍රී ලංකාවට මෙවනි ජයග්‍රහණයක් ගෙන ඒමට හැකි වීම තනි පුද්ගයකු ලැබූ ජයක් නොවන බවත් එය සමස්ත ජාතියම ලැබූ ජයග්‍රහණයක් බවත් හෙතෙම කීය.

මීළග ආසියානු ක්‍රීඩා උළෙලේදී උපරිම දක්ෂතා දක්වමින් ඉහළම පදක්කමකට යාම සිය මීළග ප්‍රමුඛ අරමුණ බව ඇය පැවැසුවාය.

**************

ඔලිම්පික් පදක්කමක් ඊළග බලාපොරොත්තුවයි

තිවංක රණසිංහ

වසර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙළේදී ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන ඒම සිය මීළග එකම බලාපොරොත්තුව බව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් ලාභී බොක්සිං ක්‍රීඩක තිවංක රණසිංහ පවසයි.

මේ සඳහා වන පුහුණුවීම් වඩාත් උනන්දුවෙන් හා කැපවීමෙන් කරමින් නිවැරිදි ඉලක්කය කරා ගමන් කරන බවද හෙතෙම පෙන්වා දෙයි.

වසර හැට අටකට පසු බොක්සිං ක්‍රීඩාවෙන් මෙරටට පදක්කමක් ගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටුවන බවත්, එහෙත් ඉන් රන් පදක්කමක ඉහළ අපේක්ෂාවෙන් සිටි බවත් රණසිංහ කීය.

රට වෙනුවෙන් දිනා දිමට හැකි වූ මේ පදක්කම පිළිබද සෑහීමකට පත්වන බවද විශේෂයෙන් තමා මෙන්ම බොක්සිං කණ්ඩායම ඉන් ඉහළ මට්ටමින් මේ උළෙළේදී ක්‍රීඩා කළ බවද ඔහු පැවසීය.

ඔලිම්පික් උළෙලේදී පදක්කමක් ගෙන ඒමේ අපේක්ෂාවට මේ ක්‍රීඩා උළෙල මහා ශක්තියක් බවද හෙතෙම කීය.

********************

අපි ගියේ පදක්කම් 7ක් අපේක්ෂාවෙන්

බොක්සිං පුහුණුකරු හර්ෂ

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙලට සහභාගි වීමෙන් පසු රන් පදක්කම් දෙකක් සහිතව පදක්කම් පහක් බොක්සිං ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වූ බව ශ්‍රී ලංකා බොක්සිං පුහුණුකරු ටී.බී. හර්ෂ කුමාර මහතා පවසයි.

ඒ එම තරගාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනාටම පදක්කම් අපේක්ෂාවෙන් බවද ඔහු පැවසීය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වීමෙන් පසු ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම සමග මෙරටට පැමිණිමෙන් පසු හෙතෙම මෙසේ කීය.

සියලුම ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පදක්කම් අපේක්ෂාවෙන් කණ්ඩායම මෙරටින් පිටව ගියත් එහිදී කළ සැළැසුම් අනුව පදක්කම් පහක් නියත ලෙසම ලබා ගත හැකි බව පෙනී ගිය බවද පැවැසු ඒ මහතා එහෙත් අවසනාවකට ඉන් පදක්කම් දෙකක් මෙරටට අහිමි වී ගිය බවද පෙන්වා දුන්නේය. 

ඉන්දික පොල්කොටුව

නව අදහස දක්වන්න