තිම්මක්කාගේ උමතු ආලය | දිනමිණ

තිම්මක්කාගේ උමතු ආලය

චම්පිකා දීපානි රණසිංහ

මඳ නල අතුරිකිලි නළවන හඬට සවන් දීමට තරම් ඉවසීමක්, සංවේදී බවක් අද බොහෝ දෙනකුට නැත. අධිවේගී ජීවන රටාවකට හුරු පුරුදු වී සිටින මිනිසුන් අතර මිහි මවට සෙනෙහස දක්වන දූ පුතුන් ගණන අතේ ඇඟිලි ගණනටද වඩා සීමිතය. එවන් සමාජයක ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ තිම්මක්කා වියලි කතරකට පතිතවුණු මල් වර්ෂාවක් බඳුය.

තිම්මක්කා ඉපදුණේ කර්නාටක ප්‍රාන්තයේ ගුබ්බිතාලුක් ග්‍රාමයේය. ඇයගේ මාපියන්ට දියණිය පාසල් යැවීමට තරම් වත්කමක් තිබී නැත. යාන්තමට අතපය උස් මහත්වූ පසු තිම්මක්කා මාපියන්ට බරක් නොවී පවුලට සවියක් වන්නට ගල් වළක සේවයට ගියාය. වසන්තය එබී බැලුවා පමණි. තිම්මක්කාගේ වගකීමෙන් නිදහස් වීමට මාපියන් ඇය එම පළාතෙම කම්කරුවකු වූ ශ්‍රී බික්කලා චික්කයියාට 1928 වසරේදී සරණ පාවා දුනි.

චික්කයියා, තිම්මක්කා විවාහ වී වසර ගණනාවක් ගත වුණ ද දරු සුරතල් බැලීමට වාසනාව උදාවූයේ නැත. ගම්මු ඇති තැනදීට වඩා නැති තැනදී ඇයට අපහාස උපහාස කළහ. තිම්මක්කා සිතුවේ කලකට ඉහත ළමාවියේදී නයකු දෂ්ටකළ නිසා තමන්ට දරුපල අහිමිවී ඇති බවයි. දෙදෙනා දරුවන් පතා ගම් පළාතේ නොගිය කෝවිලක් නැත. එහෙත් මේ කිසිවක් චික්කයියාගේ සෙනෙහසට බාධාවක් නොවීය. සාම්ප්‍රදායික ගැමියකු මෙන් ඔහු තිම්මක්කා අත්හැර වෙනත් කාන්තාවක ගෙපැලට කැන්දාගෙන ආවේ නැත. පස් විසි වසක් සපිරෙන තුරු දරුවකු වෙනුවෙන් තිම්මක්කා බලා සිටියාය. අවසාන යමක් කමක් තේරෙන වයසේ සිට ජලයේ යට ගිල් වූ රබර් බෝලයක් මෙන් සැඟව තිබූ පාරිසරික හරිත පෙම දලුලන්නට විය. වාසනාවට චික්කයියාද ගහට කොළට පෙම් බැන්දෙකි. දෙදෙනා අවසාන තුරු ලිය දරුවන් බවට පත්කර ගත්හ.

දරු කැක්කුම, තුරු ලිය වෙනුවෙන් රූරා හැළෙන සෙනෙහසක් බවට පත්විය. දෛවයේ උරුම කරුමයක් ලෙස දරුවන් නොමැතිකම සැලකූ චික්කයියා, තිම්මක්කා යුවළ ගමේ මඩ පිරි අවලස්සන මාවතක් නුග සෙවණක් බවට පත් කළහ. 1948 වස‍රේදී දෙන්නා මුලින්ම සිටුවූයේ නුගපැළ දහයකි. දෙවැනි වසරේ පැළ පහළොවක්ද තෙවැනි වසරේ පැළ විස්සක්ද සිටවන ලදී. පැළ ගවයන්ගෙන් රැක ගැනීම සඳහා කටුපඳුරුවලින් වැටවල් බැඳ සෑදුහ. ඔවුන් ගස් හාර සියයකට ආසන්න ගණනක (384) වදුලක නිර්මාණකරුවන් විය. වර්ෂා පතනය අවම දූවිල්ලෙන් තැනුණු පොළොවක එය පහසු කටයුත්තක් නම් නොවිණි.

තහවුරු කිරීමට උප්පැන්න සහතිකයක් නැතත් තිම්මක්කා පවසන්නේ තමන්ගේ වයස අවුරුදු 106ක් වන බවය. සොබා දහමට ඇති උමතුපෙම ඇයට ‘ආයු බෝ’ කර දී ඇත. ඇයට තුරු දරුවන් දකින විට ඇති වන්නේ අසීමාන්තික සතුටකි. ආදරයෙන් රැක බලාගන්නා තුරු දරුවන් නිසා තිම්මක්කාගේ සිත නිහතමානී ආඩම්බරයෙන්, අභිමානයෙන් පිරී ඇත.

කන්නඩ බසින් පණ ඇති තුරු ලිය හඳුන්වන්නේ ‘සාලුමරදා’ ලෙසයි. ගම් වැසියෝ මේ පරිසර වීරවරියට ඒ නම ආරූඪ කළහ.

තිම්මක්කාට තුරු වගාවේ පල නෙළා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එය වියළි පෙදෙසක් නිසා ඇය කිලෝමීටර් ගණනක් දුර ගොස් ජලය රැගෙවිත් පැළවලට ජීවය දීමට සිදුව තිබේ. වැසි නැති කාලවල ඇය සතියකට සිව්වරක් ජලය දමා ඉන්ද්‍ර දෙවිඳුන්ට වර්ෂාව පතා පුද පූජා පවත්වන්නීය. හින්දු බැතිමතුන් වර්ෂාව පතා යාඥා කරන්නේ ඉන්ද්‍රදෙවිඳුන්ටය.

1991 දී තිම්මක්කාගේ සැමියා මිය යන තුරුම පැළවලට ජලය අදිමින් සතුන්ගෙන් පැළ ආරක්ෂා කිරීමට කටුපඳුරු වැට තනමින් ඇයට උපකාර කළේය.

කුමාකුරු දිස්ත්‍රික්කයේ ගුබ්බි තාලුක් ගම්මානයේ පමණක්නොව මුළු කර්නාටක ප්‍රාන්ත රාජ්‍ය පුරාම අකුරක් නොදන්නා මේ ගැමිලියගේ නාමය මුව මුව රැව්දෙන අකුරු පෙළක් බවට පත්විය.

නුග එම ප්‍රාන්ත රාජ්‍යයට වටිනා තුරු සම්පතකි. ගෘහ භාණ්ඩ තැනීමටත්, දැව සඳහාත් ඒවා ඉතා ප්‍රයෝජනවත්ය. හුලිකර් සහ කුදුර් ගම්මාන දෙක අතර කිලෝමීටර් 4ක දුරක ඇයගේ නුග ගස්යාය සිසිල් සෙවණ සදමින් අතුපතර විහිදා පැතිර ගොස් ඇත. එය දැන් සංචාරක ආකර්ෂණයක්ද වී තිබේ.

බීබීසී හෙවත් බ්‍රිටිෂ් බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් මඟින් 2016 වසරේදී සාලමරදාරා තිම්මක්කා ලොවට වඩාත්ම බලපෑ කාන්තාවන් සිය දෙනා අතරට නම් කර තිබිණි. හය හතර නොදන්නා නමුත් මේ පාරිසරික ප්‍රේමයෙන් සමාජ ගෞරවයක් ලැබෙන බවද ඇය දැන සිටියාය. සමාජයෙන් ආශීර්වාදයක් නොලැබුණත් දරුවන් මෙන් හදාවඩාගත් තුරුලතාවලින් ආසිරි ලැබෙන බව තිම්මක්කා නිතර පැවසුවාය. මේ වන විට භාරත දේශයම පමණක් නොව ලොවම ඇය විශිෂ්ට මෙහෙයක් පරිසරයට සිදුකරන පරිසර වේදිනියක ලෙස හඳුනාගෙන අවසන්ය. එනිසාම ඇයට ලැබෙන ගෞරව සම්මානවලද අඩුවක් නොවීය. බීබීසී අගැයුම කෙනකුට දිවිය පුරාවට ලැබෙන දුලබ සම්මානයකි. 2016 නාමාවලියේ සිටි වයස්ගතම කාන්තාව ඇයය. ඇයගේ දැක්ම වූයේ වසර අසූවකදී ගස් අට දහසක් සිටවීමයි.

සාලුමරදා පටබැඳි නාමයට අමතරව වනමිත්‍ර, නිසාර්ගරත්න, ව්‍රික්ෂාප්‍රේමි, වික්ෂාශ්‍රී නම්ද එක්වී ඇත. ඉන්දියානු රජයෙන් ඇය ජාතික පුරවැසි සම්මානය, ජාතික ඉන්දියා ප්‍රියදර්ශනී ව්‍රික්ෂාමිත්‍රා සම්මානය, කර්නාටක රාජ්‍යෝත්සව සුරස්කාර්, ඉන්දිරාරත්න පුරස්කාර්, පරිසර ප්‍රියදර්ශනී මුරස්කර්, ද ග්‍රීන් මදර් ඇතුළු සම්මාන රැසක් දිනාගෙන සිටියි.

මේ තුරු මවට පෙම් බැඳි තුරු පුත්‍රයකුද සහායට පැමිණීම විශාල සවියක් වී ඇත. ඔහු ඇයට සහාය වන්නේ දාහතර හැවිරිදි වියේ සිටයි. ශ්‍රී උමේෂ් නම් ඔහු දැන් තිම්මක්කාගේම පුතකු වී අවසන්ය.

ඇයගේ පාරිසරික මෙහෙය නුග තුරු යායට සීමාවී නැත. ඇය ප්‍රාන්ත රාජ්‍යයේ ජාතික පරිසර ආරක්ෂක ව්‍යාපාරවලද ක්‍රියාකාරී සාමාජිකාවකි. තිම්මක්කාගේ මෙහෙවර එතැනින් අවසන් නොවේ. ඇය ගමට වැසි ජලය එක්කිරීමට ජල ටැංකියක් ගොඩනැඟීමටද මුල්වී ක්‍රියාකරන්නීය. ආදරණීය සැමියාගේ නාමයෙන් ගමේ රෝහලක් ඉදිකිරීම ඇයගේ තවත් අරමුණකි.

තිම්මක්කා සිතන්නේ සෑම මනුෂ්‍යයකුම මිහිතලයේ ගසක් සිටවිය යුතු බවය. ලෝක පරිසර දිනයට ඇත්තේ තවත් සතියකි. ලොවට තිම්මක්කා වැනි දියණියන්ගේ අගය වඩාත් දැනෙන්නේ එදිනටය. ඒ පරිසරයට සෙනෙහෙ බඳින්නන්ගේ ගණන රතු දත්ත ලේඛනයට ඇතුළත්විය යුතු තරමටම සීමා වී ඇති බැවිනි.

අන්තර්ජාලයෙනි

නව අදහස දක්වන්න