මගේ හඬ අහලා නැති කෙනෙක් අපේ රටේ නෑ | දිනමිණ

මගේ හඬ අහලා නැති කෙනෙක් අපේ රටේ නෑ

ප්‍රගීත් විජේසූරිය

l මේ දවස්වල මොකද කරන්නෙ?

මේ දවස්වල ඉතිං සියත ටීවි එකේ යන “පත්තරේ” වැඩසටහන ඉදිරිපත් කරනවා. සියත ටීවි එකේ උදේ 6.30 ඉඳලා 7.30 වෙනකල්. සියත රේඩියෝ එකේ 7.45ට හැම දවසක ම විකාශය වෙනවා. දවස පටන් ගන්නෙ මම එතනින්. ඒ වගේ ම ස්වර්ණවාහිනියෙ විකාශය වන “මහරජ කන්සා” ටෙලි නාට්‍යයේ විශ්ණු දෙවියන්ගෙ චරිතයට හඬකැවීමත් මේ දවස්වල කරගෙන යනවා.

l ඒ අතර නිවේදන පුහුණු පාසලකුත් පටන් ගත්තා නේද?

ඔව්. “ටෝක් ස්ටූඩියෝ මීඩියා ඉන්ස්ටිටියුට්” නමින් නිවේදන පුහුණු පාසලක් පටන්ගත්තා. ඒකෙන් දැන් අපි පාඨමාලා දෙකක් හඳුන්වා දීලා තියෙනවා. එකක් හඳුන්වා දීලා තියෙන්නෙ ඉස්කෝලෙ ළමයි වෙනුවෙන්. ඒකෙන් කරන්නෙ ඉස්කෝලෙ යන වයසේ ළමයින් හඬකැවීමට සහ ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන්වලට සූදානම් කිරීම. අනිත් එක මාධ්‍ය ප්‍රවේශ ප්‍රායෝගික පාඨමාලාව. ඒකෙන් කරන්නෙ මාධ්‍ය ක්ෂේත්‍රයට පය තියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් තරුණ ළමයින්ට අවස්ථාව හදලා දෙන එක. මේ නිවේදන පාඨමාලා දෙකෙන් ම ප්‍රවෘත්ති, හඬකැවීම්, සමාජජාල මාධ්‍ය වගේ විද්‍යුත් මාධ්‍ය පැත්ත ගැන අපි කතා කරනවා. මේ පාඨමාලාවන්වලට යොදාගෙන ඉන්න දේශකයන් සියලු දෙනා ම මාධ්‍ය ක්ෂේත්‍රයේ අවම වශයෙන් අවුරුදු 15ක වත් අත්දැකීම් තියෙන පරිණත අය. මේක අතිශය ප්‍රායෝගික වැඩක්. මේ වෙද්දි පාඨමාලා කණ්ඩායම් දෙකක් මුදාහැරලා තියෙනවා.

ඒ ශිෂ්‍යයන් මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශවලින් ඉදිරියට යමින් ඉන්නවා. මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න කැමැත්තෙන් ඉන්න අයට ඕන කරන මූලික දැනුම තමයි අපි මෙතනින් හදලා දෙන්නෙ. මේ පාඨමාලාවන්වලට උපදේශකත්වය සපයන්නෙ මහාචාර්ය ෆැට්‍රික් රත්නායක. ඒ අධීක්ෂණය සහ උපදේශකත්වය ගොඩක් වටිනවා මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට. මේ රටේ මාධ්‍ය නාලිකාවලට නියාමනයක්, වැඩසටහන්වලට ප්‍රමිතියක් වගේ ම නිවේදක නිවේදිකාවන්ට විනයකුත් අවශ්‍යමයි. මම නිවේදක පුහුණු පාසලක් ආරම්භ කළේ මා පසුපසින් එන පිරිසක් බිහි කරන්න නෙවෙයි. මා පසුකර යන පිරිසක් නිර්මාණය කරන්නයි.

l “පත්තරේ” වැඩසටහනේ දී මාධ්‍යවේදිනී සුමුදු චතුරාණිගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?

අති ඉහළයි. ඇත්තටම සුමුදු මට වඩා පත්තර කලාව පැත්තෙන් ප්‍රවීණයි. මම දන්නෙ පත්තර ගැන බොහොම අල්පයක්. සුමුදු එයාගේ පත්තර කලාව ගැන තියෙන අත්දැකීම් එකතු කරලා, ඒ වැඩසටහන රහ කරනවා. එයාගෙ තියෙන සාහිත්‍ය දැනුම වගේ දේවල් අපි හරියට පාවිච්චි කරනවා මේ වැඩේට. ඉරිදා දවසෙ සුමුදුයි මමයි තමයි ටැබ්ලොයිඩ් කියවන එක කරන්නෙ. විශේෂයෙන් කියන්න ඕනෙ, සියත ආයතනයේ පාලන අධිකාරියෙ සංකල්පයක් විදිහට අපි එක්කත් කතා කරලා, පටන් ගත්තු වැඩක් මේක. ලංකාවේ වෙන කවුරුවත් කරන්නෙ නෑ රේඩියෝ චැනල්වල එහෙමත් නැත්නම් ටීවි චැනල්වල ටැබ්ලොයිඩ් පත්තර කියවන එක. ප්‍රධාන පත්තරේ එක්ක එන ටැබ්ලොයිඩ් එක ඉස්සෙල්ලා අරගෙන තමයි අපි ඊළඟට කලා තොරතුරු වගේ දේවලට යන්නෙ. ඉරිදා සියත “පත්තරේ” වැඩසටහනට වෙන ම පිරිසක් හැදිලා ඉන්නවා මේ වෙද්දි. ඒ නිසා ඒක වෙන ම පොඩි හැඩයක් අරන් තියෙනවා.

l මොකද හිතන්නෙ මේ රූපවාහිනියෙන් ටැබ්ලොයිඩ් කියවන වැඩේ ගැන?

අපිට මුල ඉඳල ම ඒ ගැන තිබුණා විශ්වාසයක්. අපි අත්දැකීම් තියෙන මිනිස්සු විදිහට අපිට මැනේජ්මන්ට් එකකින් වුණත් කියන හැම දෙයක් එක්ක ම අපි සියට සීයක් ම එකඟ වෙන්නෙ නෑනෙ. සමහර දේවල් අපිට ම හිතෙනවනෙ අපි මේක කළොත් හරියන්නෙ නෑ කියලා. එහෙම කිසි ම අඩමානයක් අපිට මේ ගැන තිබුණෙ නෑ, කියපු ගමන් ම මම ඒකට ඉහලි න් ම කැමති වුණා. ඒක නියම වැඩක් කියලා හිතුණා. ඒ කවුරුවත් නොකරන නිසා විතරක් ම නෙවෙයි.

මම කියන්නෙ ලොකු ම හේතුව, මම පත්තර ටික අතට ගත්තොත් ඉස්සෙල්ලම අතට ගන්නෙ ටැබ්ලොයිඩ් එක. නිකම් යාළුවො යාළුවො අතර පොඩි සමීක්ෂණයක් කරලා බැලුවත් දැනගන්න ලැබුණෙ අනිවාර්යෙන් ම ටැබ්ලොයිඩ් එක අතට අරන් තමයි පත්තර කියවන්න පටන් ගන්නෙ කියලා. එතනින් දෙන උත්තේජනයෙන් තමයි අපි ලොකු පත්තරේට යන්නෙ. ඔන්න ඔය හේතුව හින්දා තමයි මම හිතුවෙ මේක බොහොම සාර්ථක වෙන වැඩක් කියලා. හිතුවා වගේ ම ඒක සාර්ථකයි.

l නිවේදකයෙක් විදිහට ආව ගමනෙ ඔබේ පටන්ගැන්ම කොතනද?

මේ ගමනට දැන් අවුරුදු 15ක්. රේඩියෝ ප්‍රවර්ධන කටයුතු නිවේදකයෙක් විදිහට ගුවන් විදුලි මාධ්‍යයට ඇවිලා තමයි පෞද්ගලික නාලිකාවලින් මම මගේ ගමන පටන් ගන්නෙ . ඊට පස්සෙ වැඩසටහන් නිවේදකයෙක් විදිහට ප්‍රධාන ම ගුවන්විදුලි නාලිකා හැම එකක ම වගේ වැඩ කරලා තියෙනවා. මම පෞද්ගලික නාලිකාවක වැඩසහටහන් අංශ ප්‍රධානියා දක්වා ඇවිල්ලා මේ පූර්ණ කාලීන මාධ්‍ය කලාවට විරාමයක් තියලා, මාධ්‍යවල ඕන ම නාලිකාවක ඕන ම කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහෙ ගමනකයි දැන් ඉන්නෙ. එහෙම තීරණයක් ගන්න මගේ හිතට මට හයිය එන්නෙ මගේ හඬ නිසා.

මට දැනෙනවා මගේ හඬට ඉල්ලුමක් තියෙනවා කියලා. අපි එක ම නාලිකාවකට කොටු නොවී හැම නාලිකාවක ම වැඩ කරන්න පුළුවන් විදිහෙ ස්වාධීන කෙනෙක් වුණොත් අපිට පුළුවන් විශාල පිරිසකට ආමන්ත්‍රණය කරන්න. මං දැකලා තියෙනවා ඒ විදිහට අනන්‍යතාවක් ඇති කරගෙන මේ ක්ෂේත්‍රයේ ගමනක් හදාගත්ත මිනිස්සුන්ව. නිවේදකයෙක් විදිහට හිට්වෙන කෑල්ලක් කියලා, එක රැයින් ප්‍රසිද්ධ වෙන්න මට ඕනෙ නෑ. කොහොමටත් ලේසියෙන් මහ ලොකුවට ප්‍රසිද්ධ වෙනවට වඩා හොඳ නැද්ද අමාරුවෙන් පොඩ්ඩක් හරි ජනප්‍රිය වෙන එක? අපි බෙදිලා ගිය මිනිස්සු නිසා එක තැනකින්වත් හරියට මතුවෙලා නැති වෙන්න පුළුවන්. ඒත් හඬ භාවිත කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන් අතළොස්සක් අතර අපි ඉන්නවා. නිවේදකයෙක් වුණා ම හොඳ හඬක් තියෙන්න ඕනෙ.සමහර කෙනෙකුට තමන්ගෙ කටහඬින් වැඩසටහන් විතරක් කරන්න පුළුවන්. තව සමහර පිරිසකට වැඩසටහන් අතරිනුත් තෝරගත්ත වැඩසටහන් විතරයි කරන්න පුළුවන් තමන්ගෙ හඬ පාවිච්චි කරලා. ඒත් මට පුළුවන් වෙලා තියෙනවා වෙළෙඳ දැන්වීම්, ඕන ම වැඩසටහනක්, ප්‍රසංග නිවේදන වගේ හැම තැනකට ම මගේ හඬ පාවිච්චි කරන්න. ඉතිං මට මගේ හඬ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.

l පවුලෙ විස්තර ටිකකුත් කියමු නේද?

මම විවාහකයි. මගේ බිරිඳ හංසි විජේසූරිය. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා එකලු නිතින් විජේසූරියට දැන් අවුරුදු හතක්. එයා දැනටමත් සිරස FM එකේ යන “සමනල සිරස” වැඩසටහනේ ළමා නිවේදකයෙක් විදිහට වැඩ කරනවා. පොඩි පුතාට නම් තාම වයස අවුරුද්දයි.

l නිවේදකයෙක් විදිහට රැකියාව කරන්න ලැබීම මොන වගේ අත්දැකීමක්ද?

බොහොම කලාතුරකින් ලබන්න පුළුවන් භාග්‍යක් වගේ ම හරි දුර්ලබ අවස්ථාවක්. මං මේ කියන්නෙ වෘත්තීයමය, පිළිගත් නිවේදකයෙක් ගැන. එහෙම කෙනෙක්ට මේ සමාජයේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ගොඩක් දේවල් ඇති කරන්න සහ නැති කරන්න පුළුවන්. ඒ නිසා ම ඒක හරි තීරණාත්මක චරිතෙකුත් වෙනවා. මේ ලෝකේ තියෙන විෂයන් සියල්ල එක්ක බැඳුණු විෂයක් විදිහට තමයි මම මාධ්‍ය දකින්නෙ. ඒ හැමදෙයක් ගැන ම යම් යම් මට්ටමක දැනුමක්, අවබෝධයක් තිබුණෙ නැත්නම් මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පය ගහලා ඉන්න අපිට අයිතියක් නෑ. මේ වගේ ක්ෂේත්‍රයක අනවබෝධයෙන් වැඩ කරනවට වැඩිය ස්වාධීනව ම ඉවත්වීම තමයි වඩාත් හොඳ. ඉතිං නිවේදකයෙක් විදිහට වැඩකරන්න ලැබෙනවා කියන්නෙ අපිට ලැබෙන විශාල අවස්ථාවක් වගේ ම අපි මේ අතට ගන්නෙ විශාල වගකීමක්. ඒ වගකීම අවබෝධ කරගත්තු සන්නිවේදකයො හැටියටයි අපි මිනිස්සු අතරට යන්න ඕනෙ.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න